"ටිබෙට් මළවුන්ගේ පොත (Tibetan Book Of Dead) කියන්නේ ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායේ තියෙන ඉමහත් ගෞරවයට පාත්‍ර වුන පුරාණ සාහිත්‍ය ග්‍රන්ථයක්. ටිබෙට් භාශාවෙන් මේ ග්‍රන්ථය හදුන්වන්නේ "බාර්ඩෝ තෝඩෝල්" කියලා. විඥානයේ ස්වභාවය ගැන විතරක් නෙමෙයි මරණය සහ නැවත ඉපදීම අතර තිබෙන "අතරමැදි තත්වයේදී (Intermediate State)" විඥාණය විසින් විදින අත්දැකීම් පිළිබඳ පැහැදිලි අදහසක් ටිබෙට් මළවුන්ගේ පොත අපට ලබා දෙනවා.
"විඥාණය ශරීරයට පමණක් සීමා නොවන අතර මරණය යනු අවසානයක් නොවෙයි. එය ජීවයේ නව තත්වයකට සංක්‍රමණය වීමකි."
"Consciousness Is Not Limited To The
body And The Death Is Not An End. But
Rather A Transition To A New State Of
Being."

8 වන සියවසේදී ටිබෙටයේ රජතුමා වුන "ට්‍රිසන්ග් ඩෙට්සෙන්ගේ (Trisong Detsen)" ආරාධනාව පිළි අරගෙන ඉන්දියානු ජාතික බෞද්ධ ගුරුවරයෙකු වුන "පද්ම සම්භව" ටිබෙටයට බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීම් අරගෙන යනවා.

"ගුරු රින්පොචේ" යන නමින්ද හදුන්වන පද්ම සම්භව ඉන්දියාවේ ඉදන් අරගෙන ආපු බෞද්ධ ඉගැන්වීම් අතර තිබුණ වැදගත් සංකල්පයක් තමයි බාර්ඩෝස් එහෙමත් නැති නම් මරණය සහ නැවත ඉපදීම අතර තිබෙන අතරමැදි තත්වය කියලා කියන්නේ. අන්න ඒ සංකල්පය පිළිබඳ කරපු ඉගැන්වීම් වලින් තමයි අද අපි දන්න ටිබෙට් මළවුන්ගේ පොත කියන ග්‍රන්ථය සම්පාදනය කරලා තියෙන්නේ.

වජ්‍රයාන බුද්ධාගම අනුගමනය කරන ආර්‍යන් වහන්සේලා මේ ග්‍රන්ථය සලකන්නේ සැඟවුණු නිධානයක් එහෙමත් නැති නම් "ටෙර්මා (Terma)" එකක් විදිහට. ටෙර්මා එකක් ඇතුළේ ටිබෙට් සංස්කෘතික සන්දර්භය සඳහා විශේෂයෙන් ගැලපෙන ඉගැන්වීම් අඩංගු වෙලා තියෙනවා කියන එක බොහෝ දෙනා විශ්වාස කරන කාරණාවක්. හැබැයි ටිබෙට් මළවුන්ගේ පොත ගැලපුනේ ටිබෙට් සංස්කෘතික සන්දර්භය සමඟ විතරක් නෙමෙයි. ටිබෙට් මළවුන්ගේ පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරාට පස්සේ තමයි ලෝකය පුරා තිබුණ අනික් සංස්කෘතික සන්දර්භ සමඟත් මේ ග්‍රන්ථයේ තියෙන ඉගැන්වීම් මනාව ගැලපෙනවා කියන කාරණාව මිනිසුන්ට අවබෝධ වුනේ.
1927 වර්ශයේදී ඩබ්ලිව්. වයි. එවන්ස් වෙන්ට්ස් කියන ඇමරිකානු ජාතික මානව විද්‍යාඥයා තමයි ටිබෙට් මළවුන්ගේ පොත මුලින්ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නේ.


1975 වර්ශයේදී භාවනාව සම්බන්ධව කමටහාචාර්‍යවරයෙකු වුන චෝග්‍යාම් ටෘන්ග්පා එයාගේ ගෝලයා වුන ෆ්‍රැන්චෙස්කා ෆර්මැන්ටල් එක්ක එකතු වෙලා එවන්ස්ගේ මේ පරිවර්තනය සංශෝධනය කරලා නැවත වරක් පරිවර්තනය කරනවා.



ටිබෙට් මළවුන්ගේ පොත මේ වෙනකොට ගොඩක් භාෂාවලට පරිවර්තනය වෙලා තියෙන නිසා ලෝකය පුරා ඉන්න ඕනෑම කෙනෙකුට මේ ග්‍රන්ථය ලේසියෙන්ම පරිශීලණය කරන්න පුලුවන්. ටිබෙට් බුද්ධාගමේ අධ්‍යාත්මික ප්‍රධානියා වන දලයි ලාමා ටිබෙට් මළවුන්ගේ පොත ගැන මෙහෙම කියලා තියෙනවා.
"මරණයෙන් පසු මරණය සහ නැවත ඉපදීම අතර තිබෙන අතරමැදි තත්වයට මුහුණ කෙසේද යන්න පිළිබඳව සෑම කෙනෙකුටම ඉතා ප්‍රයෝජනවත් මාර්ගෝපදේශයකි."

ඒ විතරක් නෙමේ මේ මොහත තුළ සිහිය පවත්වා ගැනීම සිදු කරන විට අවශ්‍ය වෙන ආශ්වාදය සහ මග පෙන්වීම පිළිබඳ මනා අවබෝධයක් අපට ලබා දෙන වැදගත් මුලාශ්‍රයක් විදිහටත් උන් වහන්සේ මේ ග්‍රන්ථය හදුන්වලා තියෙනවා.
1960 ගණන්වල දී ක්‍රියාත්මක වුන "බටහිර ප්‍රතිසංස්කෘතික ව්‍යාපාරය" (Western Counterculture Movement) සමඟ සම්බන්ධ වෙලා හිටපු අය ටිබෙට් මළවුන්ගේ පොතේ තිබුණ විඥානය සහ යථාර්ථයේ ස්වභාවය පිළිබඳ ඉගැන්වීම් වලට ගොඩක් ආකර්ෂණය වෙලා හිටියා.

මේ කාලයේදී පින්ක් ෆ්ලොයිඩ් සංගීත කණ්ඩායමේ "ද ඩාර්ක් සයිඩ් ඔෆ් ද මූන් (The Dark Side Of The Moon)" සහ බීටල්ස් සංගීත කණ්ඩායමේ රිවෝල්වර් (Revolver) ඇල්බම් එකේ තියෙන ටුමාරෝ නෙවර් නෝස් (Tomorrow Never Knows) වගේ කලා නිර්මාණ වලට ඍජුවම බලපෑමක් එල්ල කරන්නත් මේ ග්‍රන්ථයට පුලුවන් වුනා.

යෝග සහ භාවනාව පිළිබඳ මේ ග්‍රන්ථයේ තියෙන ඉගැන්වීම් නිසා මේ වෙනකොට බටහිර ලෝකයේ අවධානය දිනා ගන්නත් ටිබෙට් මළවුන්ගේ පොතට හැකියාව ලැබිලා තියෙනවා.
භෞතික විද්‍යාවට අනුව ශක්තිය (Energy) කියන දේ විනාශ කරන්න බැහැ. ඒ නිසා අපේ මරණයෙන් පස්සෙත් අපි "මනස (Mind) හෝ විඤ්ඤාණය (Consciousness)" කියලා හදුන්වන ශක්ති රටාව දිගටම මේ විශ්වයේ පවතිනවා. තවත් විදිහකට කියනවා නම් මරණයෙන් පස්සේ අපේ ශරීරය දිරාපත් වුනත් විඥාණය කියන ශක්තිය මේ මොහොත තුළ ඉතුරු වෙනවා. මේ වෙනකොට විඥාණය සහ අපේ ශරීරය අතර තියෙන සම්බන්ධය නැති වෙලා ගිහින් තියෙන්නේ. ශරීරයෙන් නිදහස් වුන විඥාණය පාවෙමින් තියෙන දෙයක් විදිහටත් අර්ථකථනය කරන්න පුලුවන්.
"ජීවිතයේදී ඔබ මනස නිර්මාණය කරයි. මරණයේදී මනස ඔබව නිර්මාණය කරයි."
"In Life You Make The
mind. In Death The Mind Makes You."
ඔයා ජීවත් වෙලා ඉන්න කොට ඔයාගේ විඥාණය භෞතික ශරීරයේ සීමාවන් වලට කොටු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාට කරන්න පුලුවන් දේවල් සීමා වෙනවා. මෙහෙම හිතන්නකෝ. ඔයාට අයිෆල් කුළුණ බලන්න ප්‍රංශයට යන්න ඕනේ. ඒ දේ කරන්න නම් ඔයාට ටිකට් එකක් අරන් ප්ලේන් එකකට නැගලා ප්‍රංශයට යන්න වෙනවා. මේක ගොඩක් වෙලාවක් යන ක්‍රියාවලියක්. හැබැයි ඔයාගේ මරණය සහ නැවත ඉපදීම අතර තියෙන අතරමැදි තත්වයේදී ඔයාට පුලුවන් ප්‍රංශය ගැන හිතනකොටම ප්‍රංශයට යන්න. මේක ගොඩක් විනෝදජනක අත්දැකීමක් වගේ පෙනුනට ඇත්තටම මේක ගොඩාක් භයානක අත්දැකීමක්.
ජීවත් වෙලා ඉන්න කොට ඔයා හිතපු ආකාරය අනුව තමයි මරණය සහ නැවත ඉපදීම අතර තියෙන අතරමැදි තත්වය තුළ අපට මුහුණ දෙන්න වෙන යථාර්ථය නිර්මාණය වෙන්නේ. නිකන් හිතලා බලන්න කෙනෙක් මරණයට පත් වෙන වෙලාවේ ඒ කෙනා අසිහියෙන් මැරුණොත් එයාගේ මරණය සහ නැවත ඉපදීම අතර තිබෙන අතරමැදි තත්වයේ යථාර්ථය මොන විදිහකට නිර්මාණය වෙයිද කියන එක. වජ්‍රයාන බුද්ධාගමේ ඉගැන්වෙන "ජීවත්ව සිටියදී මනස පිරිසිදු කිරීම" කියන සංකල්පය පුද්ගලයෙකුට කොතරම් වටිනවාද කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ හේතුව නිසා. මෛත්‍රිය, කෘතඥතාව, දයාව, කරුණාව, ආදරණීය සිතුවිලි සහ සිහිය පවත්වා ගැනීම කියන අංග එක්ක තමයි මනස පිරිසිදු කිරීමේ පුහුණුව පදනම් වෙලා තියෙන්නේ.
ටිබෙට් මළවුන්ගේ පොතේ මරණය සහ නැවත ඉපදීම අතර තිබෙන සංක්‍රාන්ති අවධිය හදුන්වන්නේ "බාර්ඩෝස්" කියලා. මෙම ග්‍රන්ථය අධ්‍යයනය කිරීමෙන් බාර්ඩෝස් හරහා පුද්ගලයාගේ විඥාණය ගමන් කරන ආකාරය පිළිබඳ අවබෝධයක් අපට ලබා ගන්න පුලුවන්. ටිබෙට් මළවුන්ගේ පොතට අනුව පුද්ගලයෙකුගේ මරණය සහ නැවත ඉපදිම අතර වෙන මේ ක්‍රියාවලිය සදහා දවස් 49 ක් ගත වෙනවා.
මැරුණ පුද්ගලයාගේ විඥාණය මේ සංක්‍රාන්ති අවධිය හරහා ගමන් කරන කොට "හැලූසිනේෂන් මාලාවක් සහ දර්ශන (Vision)" රාශියක් අත් විදින්න වෙනවා. ඒ පුද්ගලයා ජීවත් වෙලා ඉන්න කාලයේදී රැස් කර ගත්ත කර්ම ශක්තිය අනුව තමයි මේ හැලූසිනේෂන් සහ දර්ශන නිර්මාණය වෙන්නේ. ඒ විදිහට නිර්මාණය වෙන හැලූසිනේෂන් සහ දර්ශන හොද සහ නරක ලෙස පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂව වෙනස් වෙනවා. ටිබෙට් මළවුන්ගේ පොතේ අවසාන ඉලක්කය වෙන්නේ මේ හැලූසිනේෂන් සහ දර්ශන වල සැබෑ ස්වභාවය හදුනාගෙන ශුන්‍යතාව අවබෝධ කර ගන්න උදව් වෙන එක. මේ හැලූසිනේෂන් සහ දර්ශන වල සැබෑ ස්වභාවය හදුනා ගෙන ඒවා අත හරින්න පුලුවන් නම් බුද්ධත්වය අවබෝධ කර ගැනීමට හැකියාවක් තිබෙන වඩා හොද උපතක් ලබා ගැනීමට පුද්ගලයෙකුට හැකියාව ලැබෙන බව වජ්‍රයාන බුද්ධාගම අනුගමනය කරන ආර්‍යන් වහන්සේලා විශ්වාස කරනවා.
බටහිර සංස්කෘතිය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කරපු ග්‍රන්ථයක් තමයි ටිබෙට් මළවුන්ගේ පොත කියලා කියන්නේ. විඥාණයේ ස්වභාවය සහ මිනිස් අත්දැකීම් පිළිබඳව මෙම ග්‍රන්ථයන් ලබා දෙන අවබෝධය නිසා බටහිර සංස්කෘතියට අයිති වුන කලාකරුවන්, ලේඛකයින්, චින්තකයින් සහ සංගීතඥයන් බොහොමයක් දෙනා මේ ග්‍රන්ථය අධ්‍යයනය කරලා තියෙනවා.
ටිබෙට් මළවුන්ගේ පොතේ තියෙන තවත් ප්‍රධාන සංකල්පයක් තමයි "මමත්වය නැති කිරීම (Ego Death)" කියන සංකල්පය. මමත්වය කියන්නේ මායවක් නිසා ගොඩ නැගුණ තාවකාලික හැඟීමක්. මමත්වය කියන්නේ යථාර්ථවාදී දෙයක් නෙමෙයි කියන එක බෝධිසත්වයන් වහන්සේ කෙනෙකු බුද්ධත්වය කරා යන ගමනේදී මුලින්ම අවබෝධ කර ගන්න ඕනේ කාරණාවක්. ටිබෙට් මළවුන්ගේ පොත කියන්නේ නිර්මාණශීලීත්වය, ආශ්වාදය සහ මග පෙන්වීම ලබා දෙන වටිනා මුලාශයක් කියන අදහස බටහිර චින්තකයන්ට සහ කලාකරුවන්ට ඇති වුනේ මෙන්න මේ මමත්වය නැති කිරීම කියන සංකල්පය නිසා.
බටහිර ප්‍රතිසංස්කෘතික ව්‍යාපාරයේ කැපි පෙනෙන සාමාජිකයෙකු වුන තිමොති ලියරි, රැල්ෆ් මෙට්ස්නර් සහ ආධ්‍යාත්මික ගුරුවරයෙකු වුන රාම් දාස් කියන මනෝවිද්‍යාඥයින් තුන් දෙනා එකතු වෙලා "LSD සහ Psychedelics" පිළිබඳ කරපු පරීක්ෂණයට මාර්ගෝපදේශයක් විදිහටත් මේ ටිබෙට් මළවුන්ගේ පොත යෙදාගෙන තියෙනවා.



ප්‍රංශ ජාතික මියුසික් කොම්පෝසර් කෙනෙක් වුන පියරේ හෙන්රි 1967 වර්ශයේදී එළිදක්වපු "ලේ වොයේජ් (Le Voyage)" කියන එයාගේ ඉලෙක්ට්‍රො ඇකෝස්ටික් බැලේ (Electro Acoustic Ballet) එකේ පදනම නිර්මාණය කරන්න යොදා ගෙන තියෙන්නේ ටිබෙට් මළවුන්ගේ පොත.


1960 දශකයේ අග භාගයේදී ප්‍රසිද්ධියට පත් වුන "තර්ඩ් බාර්ඩෝ (Third Bardo)" කියන සංගීත කණ්ඩායම එයාලගේ නම අරගෙන තියෙන්නේ ටිබෙට් මළවුන්ගේ පොතෙන්.

1969 වර්ශයෙදී පිලිප් කේ. ඩික් රචනා කරපු "උබික්" කියන පොතටත් ආභාශය ලැබුනේ ටිබෙට් මළවුන්ගේ පොතෙන්.


1974 වර්ශයේදී ෆින්ලන්ත ජාතික කොම්පෝසර් කෙනෙක් වුන එරික් වැල්ඩෙමාර් බර්ග්මෙන් "බාර්ඩෝල් තෝඩෝල්" කියලා කලා නිර්මාණයකුත් එළිදක්වලා තියෙනවා.

වජ්‍රයාන බුද්ධාගම අධ්‍යනය කරන කෙනෙක් අනිවාර්‍යෙන්ම කියවන්න ඕනේ පොත් දෙකක් තියෙනවා. ටිබෙට් මළවුන්ගේ පොත ආශ්‍රයෙන් තමයි මේ පොත් දෙකම රචනා කරලා තියෙන්නේ. පළමුවැනි පොත තමයි 1992 වර්ශයේදී සොග්‍යාල් රින්පොචේ ලියපු "ජීවත්වීම සහ මිය යාම පිළිබඳ ටිබෙට් පොත" (Tibetan Book Of Living And Death) කියන පොත.


දෙවැනි පොත තමයි 2017 වර්ශයේදී ඇමරිකානු ජාතික ලේඛකයෙක් වුන ජෝර්ජ් සෝන්සර්ස් ලියපු "ලින්කන් ඉන් ද බාර්ඩෝ (Lincoln In The Bardo)" කියන පර්යේෂණාත්මක නවකතාව. මරණය සහ නැවත ඉපදීම අතර තිබෙන සංක්‍රාන්ති අවධියෙදි තමන්ගේ දරුවාගේ මරණය ගැන ශෝක වෙන ඒබ්‍රහම් ලින්කන්ගේ කතාව තමයි බෙස්ට් සෙලර් එකක් වුන මේ නවකතාවේ තියෙන්නේ.

තිර රචකයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් වුන බෲස් ජොයෙල් රූබින් 1990 වර්ශයේදී එළිදක්වපු "ජේකොබ්ස් ලැඩර් (Jacob's Ladder)" කියන චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙත් ටිබෙට් මළවුන්ගේ පොත ආශ්‍රයෙන්.


විඥාණයේ ස්වභාවය සහ ජීවිතයේ අරුත පිළිබඳව තිබෙන ආධ්‍යාත්මික සහ දාර්ශනික ගැටළු ගවේශණය කරන්න උනන්දුවක් දක්වන අය සඳහා අවශ්‍ය අවබෝධය සහ ගැඹුරු ප්‍රඥාව ලබා දෙන්න ටිබෙට් මළවුන්ගේ පොතට හැකියාව තියෙනවා. ටිබෙට් මළවුන්ගේ පොත අධ්‍යනය කිරීමෙන් පුද්ගලයෙකුට ලැබෙන වැදගත්ම ප්‍රයෝජනය තමයි මරණය සහ නැවත ඉපදීම අතර තිබෙන අතරමැදි තත්වය පිළිබඳ ප්‍රායෝගික මග පෙන්වීමක් ලබා ගන්න පුලුවන් වෙන එක.
ටිබෙට් මළවුන්ගේ පොත කියන්නේ සංස්කෘතික සහ සාහිත්‍යමය විශාල වටිනාකමක් තියෙන ග්‍රන්ථයක්. ආධ්‍යාත්මික පුහුණුව (Spiritual Practice) තුළ ටිබෙට් සංස්කෘතිය පුළුල් විදිහට වර්ධනය වෙන්න එක හේතුවක් තමයි මේ ටිබෙට් මළවුන්ගේ පොත. මේ ග්‍රන්ථය කියවන කෙනෙක්ට ටිබෙටයේ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන විතරක් නෙමෙයි පුළුල් ලෙස විහිදිලා තියෙන බෞද්ධ සම්ප්‍රදායන් ගැන අවබෝධයක් ලබා ගන්න පුලුවන්. ටිබෙට් මළවුන්ගේ පොත මේ "මොහොත තුළ සිහිය පවත්වා ගැනීම (Mindfullness)" සහ "මෛත්‍රිය" කියන සංකල්ප දෙකේ වැදගත්කම ගැනද අවධාරණය කරනවා.
"ජීවත් වීම, මරණය සහ නිර්වාණ ධර්මය කියන අංශ තුන ගැනම ඉගැන්වීම් ඇතුළත් ටිබෙට් මළවුන්ගේ පොත කියන්නේ විඥාණයේ ස්වභාවය සහ ජීවිතයේ අරුත පිළිබඳව ගවේශණය කරන අය අනිවාර්‍යෙන්ම කියවන්න ඕනේ ග්‍රන්ථයක්"




