Skip to content

ආදායම් බද්දෙන් නිදහස් මන්ත්‍රීවරු!?

පසුගිය දිනවල ඉතා ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත් වූ නව ආදායම් බදු ප්‍රතිපත්තිය මේවන විට ක්‍රියාත්මක වන අතර එමඟින් මාසික ආදායම රු.100,000 ඉක්මවන විට,ඉක්මවන අදායම මත 6% සිට 36% දක්වා ආදායම් කාණ්ඩ 6ක් යටතේ බදු අය වේ. මේ පිළිබඳව වෛද්‍ය, විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් තම විරෝධතාවය පළ කරන ලද අතර ඉන් සෘජු බලපෑමකට ලක් නොවූ ගුරු, හෙද වෘත්තීය සංගම් පවා ඊට විරුද්ධත්වය පළ කරේ එමඟින් පොදු ජනතාව පීඩනයට පත්වන බවත් හා එය වර්තමානයේ සිදු වෙමින් පවතින බුද්ධි ගලනය ඉහළ නැංවීමට හේතු වන බවත් සඳහන් කරමිනි.

තත්ත්වය මෙසේ පවතින අවස්ථාවකදී srilankamirror.com වෙබ්අඩවිය ඊයේ (2) වාර්තා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉතා ඉහළ බදු සහනයකට යටත්ව ආදායම් බදු ගෙවා ඇති බවයි. එම වෙබ්අඩවි වාර්තාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජනවාරි මස රු.70,000ත් රු.75,000ත් අතර ආදායම් බද්දක් අයවී තිබුණද, එකී ආදායම් බද්ද පෙබරවාරි මස වනවිට රු15,000කට අඩුවී ඇත. එලෙසම ජනවාරි මස අය කරගත් ආදායම් බදු මුදලෙන් රු.55,000ක් නැවත ඔවුන්ට මාර්තු මස ගෙවා ඇති බවද එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

මන්ත්‍රීවරයෙකුට රු54,000කට ආසන්න වැටුපකට අමතරව දීමනා කිහිපයක් මාසිකව හිමිවේ. මෙම දීමනා අතරට රු.50,000ක දුරකථන දීමනාවක්, කාර්යාලයක් පවත්වාගෙන යාම වෙනුවෙන් රු.100,000ක දීමනාවක්, රු.170,000ක ඉන්ධන දීමනාවක්, රු.15,000ක ප්‍රවාහන දීමනාවක් හා සහභාගි වූ එක් පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා රු.2,500ක දීමනාවක් අයත් වේ. මේ අනුව සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික ආදායම රු.400,000ක් ඉක්මවන අතර එවිට නව බදු ප්‍රතිපත්තිය අනුව එක් මන්ත්‍රීවරයෙකු විසින් රු.70,000කට ආසන්න මුදලක් ආදායම් බදු ලෙස ගෙවිය යුතු වේ.

මාසික ආදායම රු.400,000 වනවිට මාසික ආදායම් බද්ද සකස් වන අයුරු
මාසික ආදායම රු.400,000 වනවිට මාසික ආදායම් බද්ද සකස් වන අයුරු (simplebooks.com)

එහෙත් මෙකී වාර්තාව සත්‍ය නම් ඔවුන් නියමිත ආදායම් බදු මුදල ගෙවා නොමැති බව පෙනී යයි. කෙසේ වෙතත් රජයේ ආදායම වැඩි කරගත යුතුයැයි කියා තමන් විසින්ම සම්මත කරගත ආදායම් බදු මුදල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම නොගෙවා සිටීම අධික බදු බරෙන් මිරිකී, ඉහළ යන ජීවන වියදමත් සමඟ පොරබඳින සාමාන්‍ය ජනතාව දෙසට කළ කෙළ ගැසීමක් වැනිය. එසේ කෙළ ගසන්නට ඉඩ දී ඔවුන්ව මහජන මුදලින් නඩත්තු කරනවාද නැද්ද යන්න ඔබ විසින් තීරණය කළ යුතු වේ.

srilankamirror වාර්තාව - PAYE tax slapped on MPs, reimbursed! – Sri Lanka Mirror – Right to Know. Power to Change

Latest