Skip to content

තායි තරුණයෝ "අන්කල්ලාට" පයින් ගසති

වසර 50 කට පෙර​, 1973 ඔක්තෝබර් 14 වනදා බැංකොක් නගරයේ විශාල ශිෂ්‍ය විරෝධතාවයකට පොලිසිය වෙඩි තැබූහ​. එහිදී විරෝධතාකරුවන් 77 දෙනකු මියගිය බව නිල සංඛ්‍යාලේඛන​ පවසයි. එම සිදුවීමෙන් අනතුරුව ඇතිවූ තත්ත්වය මත එවකට තායිලන්තය පාලනය කළ අගමැති තනොම් කිටිකචෝර්න් බලයෙන් පහ වූ අතර ඔහු රටින් පළා ගියේ ය​.

තුන් වසරකට පසු කිටිකචෝර්න් නැවත තායිලන්තයට පැමිණීමත් සමග ශිෂ්‍ය විරෝධතා යළි ඇරඹිණ​. ඒ සමගම මර්ධනය ද ළඟාවූයේ ය​. 1976 ඔක්තෝබර් 6 වනදා ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කරනු ලැබ තායිලන්තය නැවත හමුදා පාලනයක් කරා ගියේ ය​.

1973 ඔක්තෝබර් තායි සිසු විරෝධතා

වර්තමාන තායි දේශපාලනය තුළ දකින්නට ලැබෙන "අන්කල්ලා" හෙවත් වයෝවෘද්ධ නායකයින් කිහිප දෙනකු සහ ඔවුන් නියෝජනය කරන​ ගතානුගතික පාලක පැළැන්තියත්,  තරුණ පරපුරත් අතර වන ඝට්ඨනය අද ඊයේ පටන් ගත් යමක් නොවන බව මෙම සිද්ධීන් අපට පෙන්වා දෙයි. 1970 දශකයේ සිද්ධීන්ගෙන් අඩ සියවසක් ගතවී ඇතත් තවමත් තායිලන්තයේ පවතින බෙදීම්වල වෙනසක් නොමැත​. අදටත්, ගතානුගතික සහ ඒකාධිපති පාලක පැළැන්තියට එරෙහිව තරුණ ප්‍රජාව සිය විරෝධය දක්වති. වෙනසකට ඇත්තේ ඔවුන් පිළිගන්නා දේශපාලන දර්ශනයෙහි ය​. හැත්තෑව දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ සැලකියයුතු වාමාංශික නැඹුරුවක් වූ නමුත් වර්තමාන ශිෂ්‍ය ව්‍යාපාරයෙහි එම යල්පැනගිය අදහස් නොමැත​. ඔව්හු ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව නිදහස මූලික කරගත් සටනක නිරත වෙති. අනෙක් අතට​, 1970 දශකයේ වඩා සංවිධානාත්මක ලෙස පැන නැගුණු අරගල වෙනුවට මෑත කාලීනව දක්නට ලැබුණේ ස්වාධීනව විවිධ පාර්ශවයන් දායකත්වය දක්වන සිසු අරගලයන් ය​.

තායිලන්තයේ ගතානුගතික රාජාණ්ඩුවාදීන් සහ ප්‍රජාතන්ත්‍රවාදීන් අතර දශක ගණනක් තිස්සේ වන අනවරත අරගලයක් වෙයි. මෙහිදී  දශක දෙකක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය සඳහා නායකත්වය දුන්නේ තක්සින් ශිනවාත් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ය​. 2001 සිට 2019 දක්වා පවත්වන ලද සියළුම මැතිවරණවලදී ජයග්‍රහණය ලබාගත්තේ ද ඔවුන් විසින් මෙහෙයවූ දේශපාලන පක්ෂයන් ය​. ඔවුන්ගේ බලකොටු වන්නේ තායිලන්තයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි පළාත් ය​. එම ප්‍රදේශයන් හි දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට ආර්ථික සමෘද්ධිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ද ඔව්හු පොරොන්දු වූහ​. කෙසේ වෙතත් ශිනවාත්ගේ පක්ෂයන් විශේෂයෙන්ම රාජාණ්ඩුව ප්‍රතිසංස්කරණය කිරීම සහ රාජාපහාස නීතිය වැනි කරුණු පිළිබඳව ඉතා රැඩිකල් ප්‍රතිසංස්කරණ සඳහා යොමුවන බවක් නොපෙණින​.

පියු තායි නායිකා පේතොංග්තාන් ශිනවාත්

2023 තායිලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙහි වැදගත්කම තවත් ඉහළ යන්නේ එහිදී ආණ්ඩුවේ පක්ෂ අන්ත පරාජයකට ලක්වීම හේතුවෙන් පමණක් නොවේ. තක්සින් ශිනවාත්ගේ දියණිය විසින් මෙහෙයවන ලද පියු තායි පක්ෂය, නව දේශපාලන පක්ෂයක් වන "පෙරට යමු" පක්ෂය හමුවේ පරාජය වීම ද වැදගත් සිදුවීමක් වෙයි. මේ අනුව තායිලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ප්‍රධාන පක්ෂය ලෙස පියු තායි පක්ෂයට තිබුණු ස්ථානය එම නව පක්ෂය විසින් ලබාගෙන ඇත​. එය එක්තරා ලෙසකින් පවුල්වාදය පරාජය වීමක් යයි ද සැලකිය හැකිය​.

කඳවුරු දෙකක ගැටුම​

තායිලන්තයේ පවතින දේශපාලනික බෙදීම් හේතුවෙන් නිරන්තරයෙන් එහි අස්ථාවර තත්ත්වයන් මතුවේ. සන්නද්ධ හමුදාවන් අදහස් කරනුයේ රට ස්ථාවර කිරීමට ඔවුන් බලය ලබාගත යුතු බව ය​. නමුත් ඔවුන්ගේ පාලනය පිළිබඳ ද ප්‍රබල ප්‍රතිවිරෝධතා මතුවන අතර නිරන්තර උද්ඝෝෂණ මතුවේ.  කලකදී හමුදා පාලනයක් බිඳවැටී යළි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ස්ථාපිත වුව ද වැඩිකල් යන්නට මත්තෙන් නැවත හමුදාව පාලනය අතට ගනී. මෙම චක්‍රය තායිලන්තය තුළ නැවත නැවත සිදුවනු පෙනේ.

තායිලන්ත ඉතිහාසයේ වැදගත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස 1997 දී සම්මත කරන ලද "මහජනතාවගේ ව්‍යවස්ථාව​" හඳුන්වාදිය හැකිය​. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ජනතාව තුළින් ලැබුණු සහභාගීත්වය එලෙස එය හැඳින්වීමට හේතු වේ. 1992 උද්ඝෝෂණවලින් අනතුරුව එවකට පැවති හමුදා පාලනය බිඳවැටුණ පසුබිමක මෙම නව ව්‍යවස්ථාව සම්මත කරන ලදී. කෙසේ වෙතත් 2006 දී තක්සින් ශිනවත් බලයෙන් නෙරපන ලද හමුදා කුමන්ත්‍රණයෙන් පසු මෙම ව්‍යවස්ථාව අහෝසි වූයේ ය​. නැවත 2022 දී ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තක්සින්ගේ සහෝදරිය වන යිංග්ලක් ශිනවත් අගමැති ධුරයට පත්වූවා ය​. 2014 දී ජෙනරල් ප්‍රයූත් චාන්-ඕ-චා නායකත්වය දුන් කුමන්ත්‍රණයකින් ඇය ද බලයෙන් පහ කරන ලදී.

ප්‍රයුත් චාන් ඕ චා

ඇතැම් හමුදා පාලකයෝ ලෝකාපවාදයෙන් මිදීම සහ වෙනත් කරුණු අරභයා සිය පාලනයට කිසියම් ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ආරෝපණය කිරීමට උත්සාහ කරති. තායිලන්තයේ ද 2017 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වන්නේ ඒ අනුව ය​. එම ව්‍යවස්ථාවෙහි ප්‍රතිපාදන අනුව තායි ජාතික සභාවේ පහළ මන්ත්‍රණ සභාවට (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය​) මන්ත්‍රීන් 500 ක් ද ඉහළ මන්ත්‍රණ සභාව හෙවත් සෙනට් මන්ත්‍රණ සභාවට මන්ත්‍රීන් 250 ක් ද වෙති. එහි සෙනට් මන්ත්‍රීන් මහජන ඡන්දයෙන් පත් නොවන නම් කළ මන්ත්‍රීන් ය​. රටේ අගමැතිවරයා තෝරාගනු ලබන්නේ මන්ත්‍රණ සභා දෙකෙහිම මන්ත්‍රීන් සියල්ලන්ගේ ඡන්දයෙනි. එහිදී සෙනට් සභාවේ මන්ත්‍රීන් 250 දෙනාගේ සහය හමුදාවේ සහය ඇති අපේක්ෂකයා වෙත ලැබීම අපේක්ෂා කෙරේ. පහළ මන්ත්‍රී මණ්ඩලයේ හමුදාවට පක්ෂ වන දේශපාලන පක්ෂවල ද සහය ඇතිව අගමැතිවරයකු පත්කරගැනීමට එම පාර්ශවයට අවකාශය ලැබේ. අනෙක් අතට​, හමුදාවට විරුද්ධ පාර්ශවයට අගමැති ධුරය ලබාගැනීමට නම් පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 376 ක් ලබාගත යුතු ය​. සෙනට් මන්ත්‍රීන් 250 දෙනා බොහෝවිට ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ අපේක්ෂකයකුට සහය දේ යයි අපේක්ෂා කළ නොහැකි වීම ඊට හේතුවයි.

මෙවන් ආකාරයකින් සිය බලය තවදුරටත් තහවුරු කරගත් ප්‍රයූත් චාන්-ඕ-චා 2019 මහමැතිවරණයෙන් ද පසු නැවතත් අගමැති ලෙස පත් වූයේ ය​. එම මැතිවරණයේදී ඔහුගේ පලංග් ප්‍රචාරත් පක්ෂය ආසන 116 ක් ලබාගත්තේ ය​. පියු තායි පක්ෂය ආසන 136 දිනාගන්නට සමත් වූ අතර Future Forward (අනාගතය කරා පෙරට) නම් වූ නව පක්ෂයක් තුන්වන ස්ථානයට පැමිණියේ ආසන 81 ක් දිනාගනිමිනි.

2020 අරගලය​

2020 දී කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පොදුවේ ආර්ථිකයට වූ බලපෑමත්, විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයට වූ බලපෑමත් හේතුවෙන් තායිලන්ත ආර්ථිකය පල්ලම් බැස්සේය​. මේ අතර එම වසරේදීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවක් මත එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් Future Forward පක්ෂය තහනම් කරන ලදී. මෙය රටේ ලිබරල්, ප්‍රජාතන්ත්‍රවාදී තරුණයින් දුටුවේ තමන්ගේ නියෝජනයට කළ පහරක් ලෙස ය​. මේ කරුණු මත 2020 දී තායිලන්තයේ ආණ්ඩු විරෝධී තරුණ සිසු උද්ඝෝෂණ මතුවිය​. දිගු කලක් පැවති එම උද්ඝෝෂණ පසුව යටපත් වුව ද එමගින් තායි සමාජය වෙත ඇති කළ බලපෑම සුවිශේෂී ය​.

මෙහිදී සිසු විරෝධය යොමුවූ තවත් එක් පාර්ශවයක් වූයේ රාජාණ්ඩුවයි. 1932 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තායිලන්තය ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් බවට පත්වූයේ යයි සැලකෙන නමුත් එහි රජු යුරෝපීය ව්‍යවස්ථාපිත රාජාණ්ඩු හෝ ජපානයේ අධිරාජයා මෙන් හෝ සම්පූර්ණ දේශපාලන බලය රහිත අයකු නොවේ. වර්තමාන රජු මහා වචිරලොංග්කෝර්න් ගේ පියා වූ භූමිබෝල් අදුල්යාදෙජ් රජු ජනතාවගේ ගෞරවයට පත්වූවකු වුව ද වර්තමාන රජු පිළිබඳ ඇතැම් පාර්ශවයන්ට බරපතල විවේචන තිබේ. එහෙයින් රාජාණ්ඩුව වෙත එල්ලවන විවේචන ද ඉහළ ගොස් ඇත​.

"තායිලන්තය රජුගේ බූදලයක් නොවේ"

තායිලන්තයේ රාජාපහාස නීතිය යටතේ රජු, රැජිණ​, කිරුළ හිමි කුමරු ආදීන් විවේචනය කිරීම වසර 15 ක් දක්වා සිරගත කළහැකි වරදක් සේ සැලකේ. තරුණ දේශපාලන ක්‍රියාධරයින් චෝදනා කරන්නේ ඇතැම්විට ඔවුන් මර්ධනය සඳහා ව්‍යාජ චෝදනා ගොනු කිරීමට ද මෙම නීතිය යොදාගන්නා බවයි. ඒ කෙසේ වෙතත්, මෙම නීතිමය අවදානම තිබියදී ද රාජාණ්ඩුව විවේචනය කරන්නෝ සිටිති. මෙය 2020 විරෝධතා තුලින් මතුවූ දේශපාලන පරිසරය තුළ වඩාත් ප්‍රකටව දිස් වූ කරුණකි.

තරුණ ව්‍යාපාරයේ නැගීම​

2023 මහ මැතිවරණයේදී වැඩිම ආසන ප්‍රමාණයක් දිනාගත් තනි පක්ෂය ලෙස පිටා ජම්ජරන්රත්ගේ නායකත්වයෙන් යුක්ත Move Forward (පෙරට යමු) පක්ෂය මතුවීම මෙම සමාජ පරිවර්තනයෙහි එක් පැතිකඩකි. එම පක්ෂය තායි ආණ්ඩුක්‍රමය වෙනස් කිරීම​, රාජාණ්ඩුවේ බලපෑම අඩු කිරීම​, ලෝක ආර්ථිකය සමග එරට වඩාත් සම්බන්ධ කිරීම වැනි අදහස් සමග පැමිණි පක්ෂයකි. මැතිවරණයට පෙර පළ වූ සමීක්ෂණ වාර්තා සියල්ලක්ම පාහේ අනාවැකි පළ කළේ පියු තායි පක්ෂය පළමු ස්ථානය දිනාගනු ඇති බව ය​. නමුත් පක්ෂය ආසන 151 ක් දිනා පළමු ස්ථානයට පැමිණෙද්දී පියු තායි පක්ෂය ආසන 141 ක් පමණක් දිනාගත්තේ ය​. ප්‍රයුත් චාන්-ඕ-චා විසින් වර්තමානයේ මෙහෙයවනු ලබන එක්සත් තායි ජාතිය පක්ෂය ආසන 36 ක් පමණක් දිනාගත්තේ ය​.

Move Forward පක්ෂය බැංකොක් අගනුවර තුළ පාර්ලිමේන්තු ආසන සියල්ලම පාහේ දිනාගත් අතර වඩාත් වැදගත් කරුණ වන්නේ පියු තායි පක්ෂයේ සම්ප්‍රදායික බලකොටු වන ප්‍රදේශයන් හි ද Move Forward පක්ෂයට ආසන හිමිව තිබීමයි.

සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ හඬක් නැති තරුණයාට හඬක් වීමයි. රට කරන වයෝවෘද්ධ සහ "අන්කල්ලාට​" මෙන්ම රට බාර ගන්නට බලාපොරොත්තු වූ ශිනවත් පවුලට ද​ නව වෙනස සමග අනුගත වන ලෙස මෙම තරුණයෝ පණිවිඩයක් දී තිබේ.

Latest