Skip to content

මන්නාරමේ ජයටම කෙරුණ මහපරිමාණ වැලි ජාවාරම මාට්ටු

මන්නාරමේ බලපත්‍ර නොමැතිව වැලි ගොඩදැමීම සහ ප්‍රවාහනය මහා පරිමාණයෙන් සිදුකෙරෙන බවට ලැබුන තොරතුරක් මත කොළඹ භූවිද්‍යා සහ පතල් කැනීම් නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම් මාන්තෙයි බටහිර ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී ජාවාරම් කරුවන් වැලි පවාහනය කරන ලද වාහන දමා පලා ගොස් ඇත.

කොළඹ භූවිද්‍යා සහ පතල් කැනීම් කාර්යංශ නිලධාරීන් පිරිසක් සහ මන්නාරම් භූවිද්‍යා හා පතල් කැනීම් අංශ නිලධාරීන් පිරිසක් විසින් මාන්තෙයි බටහිර තෙත්තාවාඩි ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකරනු ලැබීය..

එහිදී ජාවාරම් කරුවන් වැලි ජාවාරම් සඳහා යොදාගත් ට්‍රැක්ටර් සහ බැකෝ යන්ත්‍ර දමා පලා ගොස් ඇති අතර එහි තිබී ට්‍රැක්ටර් 10 ක් බැකෝ යන්ත්‍ර 3 ක් නිලධාරීන්ගේ බාරයට ගනු ලැබීය.

පසුව අත්අඩංගුවට ගත් ට්‍රැක්ටර් සහ බැකෝ යන්ත්‍ර වල අයිතිකරුවන් හඳුනාගැනීමේ සිදු කිරීමට කටයුතු කර ඇති අතර අදාල ට්‍රැක්ටර් ඉලුප්පකඩවායි පොලීසියට භාරදීමට භූවිද්‍යා හා පතල් කැනීම් නිලදාරීන් පියවර ගන්නා ලදි. වැලි ගොඩදැමීම සහ වැලි ප්‍රවාහනය කිරීම සඳහා ලබා බලපත්‍ර ලබා දී ඇති ඇතම් සැකකරුවන් හඳුනාගෙන ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමටද පියවර ගෙන ඇත.

මන්නාරම් දිස්ත්‍රීක්කයේ අනවසර වැලි ගොඩදැමීම් හේතුවෙන් ස්වාභාවික ජලය ගලාබසින් ඇල මාර්ගයන් විශාල වශයෙන් හානි සිදුවී ගොවීන්ට ජලය ලබාගැනීමට නොහැකිව දැඩි පීඩාවන්ට පත්වන අතරම වැලි ගොඩදැමීම් හේතුවෙන් ඇල මාර්ග දෙපසස පිහිටි ගස් කඩාවැටීමෙන්ද ජලය ගලායාමට බාධා එල්ල වී අතැයිද මන්නාරමේ ගොවීහු වැඩිදුරටත් පවසා සිටිති.

Latest