සෞඛ්‍ය අමාත්‍යවරයාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙක්,ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනෙක් සහ ඖෂධ සංස්ථාවේ නිලධාරීන් කිහිපදෙනෙක් ඇතුළු මාෆියාවක් නිසා සෞඛ්‍ය සේවය මේ වන විට අර්බුදයට ගොස් තිබෙන බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි.
එහි ජාතික විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ ඖෂධ නියාමන අධිකාරියේ පරීක්ෂණාගාර තුළ සාම්පල් පරීක්ෂා කිරීම සිදුවුවද එම කටයුත්ත 100%ක විනිවිදභාවයකින් සහ පාරිශුද්ධභාවයකින් සිදුවන බවට පිළිනොගන්නා බවත් ජාවාරම්කරුවන්ට රිංගා යාමට එහිම මාර්ග ඇති බවත්ය.
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 109 වැනි වගන්තිය යටතේ රටේ යම් හදිසි තත්වයක් මතු වුවහොත් සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැරව ඖෂධ ගෙන්වීමේ බලය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ඇති අතර හදිසි තත්ත්වයට මුහුණ දීම සඳහා ලියාපදිංචි නොවූ සමාගම්වලටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් කමිටුවක අනුමැතිය සහිතව අවස්ථාව ලබාදෙන බව ජයතිස්ස මහතා පවසයි.
එම තත්ත්වය උපයෝගී කරගෙන ලියාපදිංචි නොවූ සමාගම්වලින් කමිටුවකු හෝ නොමැතිව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සනින් පමණක් කිසිදු පරීක්ෂා කර බැලීමකින් තොරව ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වමින් තිබෙන බවටයි ඔහු චෝදනා කරන්නේ.
“පහුගිය දිනෙක වයස අවුරුදු 21ක තරුණියක් උදරාබාධයකට ප්‍රතිකාර ගන්න පේරාදෙණිය රෝහලට ඇතුළත් වීමෙන් පසුව ලබාදුන් ඖෂධය නිසා අසාත්මිකතා කම්පනයක් ඇති වී මියගියා. ඖෂධ නියාමන අධිකාරියේ සහායකවරයෙක් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී මියගියා. ඊට පෙර පේරාදෙණිය රෝහල ආශ්‍රිතවම නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් මරණ කිහිපයක් සිදුවුණා. ඊටත් පෙර නුවරඑළිය රෝහලේ අක්ෂි රෝගීන්ට ප්‍රතිකාර ගැනීමෙන් පසු අන්ධභාවයට පත්වුණා. කොළඹ අක්ෂි රෝහලේ අක්ෂි රෝගයකට ප්‍රතිකාර ගැනීමෙන් පසු මරණයක් සිදුවුණා.
මේ මරණ සියල්ලක්ම ජනතාවට යම් කුකුසක් ඉතිරි කරන ආන්දෝලනාත්මක මරණ කිහිපයක්. මේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය විදිහට අපි විශේෂ අවධානය යොමුකර තිබෙනවා. රටේ ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් ලබාදීම වෙනුවෙන් කටයුතු කරන අපි මේ කරුණු කිසිසේත්ම සුළුකොට සලකන්නේ නැහැ.
සෞඛ්‍ය අමාත්‍යවරයාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙක්, ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනෙක් සහ ඖෂධ සංස්ථාවේ නිලධාරීන් කිහිපදෙනෙක් ඇතුළු මාෆියාවක් නිසා සෞඛ්‍ය සේවයට මේ තත්වය ඇතිවී තිබෙනවා. ලංකාවට රජයෙන් හෝ පෞද්ගලික අංශයෙන් ඖෂධ ගෙන්වූවත් පුරවැසියන්ට ඒවා ලබාදීම සම්බන්ධයෙන් අවසාන වගකීම පැවරෙන්නේ රජයට. ආහාර ගෙන්වීමටත් වඩා ඖෂධ ගෙන්වීමේදී නීතිරීතිවල දැඩිකමක් තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියෙන් බලවත් නියාමනයකට ඖෂධ ගෙන්වීම යටත්කර තිබෙන්නේ ඒ නිසයි. විදේශීය සමාගමකින් ඖෂධ ගෙන්වීමේදී ලංකාවේ ලියාපදිංචි කරන නියෝජිතයෙක්ගෙන් පමණයි ඖෂධ ගෙන්වන්නේ.
කාර්යක්ෂමතාවය, ආරක්ෂිතභාවය, ගුණාත්මකභාවය වගේ ප්‍රධාන කරුණු සහ සැපයිය හැකි ප්‍රමාණය මූලිකව සලකා බලා අවශ්‍යතාවය මත නියාමන අධිකාරියේ පරීක්ෂණාගාර තුළ සාම්පල් පරීක්ෂාවකුත් සිදුකරනවා. පුරවැසියාට නිසි ඖෂධ ලබාදීමට රජය මැදිහත්වන ක්‍රියාවලිය මේක.
මේ ක්‍රියාවලියත් 100%ක විනිවිදභාවයකින් සහ පාරිශුද්ධභාවයකින් සිදුවන බව අපි කියන්නේ නැහැ. ජාවාරම්කරුවන් රිංගන්න පාරවල් කපාගෙන තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපත් කළ වාර්තාවක් අනුව සමහර සමාගම් ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ සාම්පල් වෙනුවට වෙනත් ඖෂධ ගෙනත් ඇති බව දත්ත සහිතව හෙළිකර තිබෙනවා. මෙය ඉතාම බරපතල තත්වයක්. සමහර විට නිෂ්පාදකයාගේ ලිපිනයක් වත් නැති තැන්වලින් ඖෂධ ගෙනත් තිබෙනවා. මෙවැනි ඖෂධ නිසා මරණයක් සිදුනොවුවහොත් අතුරු ආබාධ සම්බන්ධයෙන් අවධානයක් යොමු වෙන්නේ වත් නැහැ.
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 109 වැනි වගන්තිය යටතේ රටේ යම් හදිසි තත්වයක් මතු වුවහොත් සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැරව ඖෂධ ගෙන්වීමේ බලය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා තිබෙනවා. හදිසි තත්වයට මුහුණ දීම සඳහා ලියාපදිංචි නොවූ සමාගම්වලටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් කමිටුවක අනුමැතිය සහිතව අවස්ථාව ලබාදෙනවා. මේ තත්ත්වය උපයෝගී කරගෙන ලියාපදිංචි නොවූ සමාගම්වලින් කමිටුවකුත් නැතිව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායකගේ අත්සනින් පමණක් කිසිදු පරීක්ෂා කර බැලීමකින් තොරව ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වමින් තිබෙනවා.
මෑතදී සිදුවන මරණ පිටුපස තිබෙන ඇත්ත තත්ත්වය මේක. දූෂිත ගනුදෙනු නිසා මේ මරණ සිදුවී ඇති බව අපට තහවුරු කරන්න පුළුවන්. නිර්වින්දන ඖෂධ නිසා පේරාදෙණිය රෝහලේ මරණ තුනක් සිදුවී ඇත්තේ හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගත් නිර්වින්දන ඖෂධ නිසයි. මෙම ඖෂධය සාමාන්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලියෙන් බැහැරව ගෙන්වීම නිසා ඒ මරණ වාර්තා වී තිබෙනවා. . ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන ආණ්ඩු පිළිබඳව දේශපාලන තීන්දුවක් ගැනීමට ජනතාව ක්‍රියා කළ යුතුයි” යනුවෙන් ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කරයි.