Skip to content

මිහිදු ගමන රකින්න මිහින්තලෙන් පිණ්ඩපාතේ යයි.

මිහින්තලා ආලෝක පූජාව හා මිහිඳු පෙරහැර සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට මහා සංඝරත්නය පාත්‍රය රැගෙන හෙට දිනයේ සිට පිඬු සිඟා වැඩීමට කටයුතු කරන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි.

විහාරාධිපති හිමියන් මේ බව පවසා සිටියේ මිහින්තලා රජමහා විහාර භූමියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. එහිදී අදහස් පලකරමින් උන්වහන්සේ පවසා සිටියේ,

‘‘මිහිදු මහරහතන් වහන්සේ මෙරටට වැඩමකර වසර දෙදහස් තුන්සීය තිස් එකක් ගතවන මෙවර රාජ්‍ය පොසොන් පොහොය සැමරීම මෙරට වත්මන් නායකයින් විසින් හිතාමතාම පැහැර හැරීමට කටයුතු කරලා. ජනාධිපතිවරයා විසින් මූල්‍ය කළමනාකරණය සිදු කරමින් මෙවර පොසොන් පොහොය වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් ලබා නොදීමට කටයුතු කර ඇති බවත් අනෙකුත් විහාරස්ථාන මෙන් මිහින්තලා විහාරස්ථානයට ද බැතිමතුන්ගේ දායකත්වය ලැබුණත් එය ජනතාවගේ සුභ සිද්ධිය සඳහා වැයකරන බැවින් පොසොන් පොහොය සැමරීමට අවශ්‍ය මුදල් විහාරස්ථානය සතුව නැහැ.

2018 වර්ෂයෙන් පසුව මේ දක්වා මෙවැනි සංස්කෘතික මංගල්‍යයක් සිදුකිරිම නොහැකි වුණා. එම නිසා  මෙවර පොසොන් පොහොය වෙනුවෙන් බැතිමතුන් ලක්ෂ 20 කට වැඩි පිරිසක් අනුරාධපුරයට පැමිනෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඒ සඳහා පහසුකම් සැපයීම සිදුකළ යුතුයි.

රජයේ ආර්ථික කළමනාකරණය හේතුවෙන් භික්ෂූන් වහන්සේලාගේ දානය ලබා ගැනීම සඳහා භාවිතා කළ පාත්‍රය ගෙනයමින් පොසොන් උත්සවය පැවැත්වීමට මුදල් සොයා ගැනීමට  පිණ්ඩපාතයේ වැඩීමට හෙට දිනයේ සිට කටයුතු කරනවා. හැකි අයෙක් රුපියලක් හෝ ලබාදෙන්න.

මෙහිදී එම විහාරස්ථානයේ දායක සභාවේ සාමජික උපාලි ආනන්ද මහතාද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පොසොන් මංගල්‍යය සඳහා මුදල් එකතු කිරීමට කැට රැගෙන නගර වල සංචාරය කරන බවය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මෙවර පොසොන් උත්සවයේදී මිහින්තලා පුදබිම වෙනුවෙන් පමණක් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 31 ක් මේ වන විට නිකුත් කර ඇති බවය.

නමුත් පොසොන් උත්සවයේ විදුලිබල මණ්ඩලය සහ ජලසම්පාදන මණ්ඩලයන් විසින් ඇස්තමේන්තුකර ඇති මුදලම රුපියල් ලක්ෂ 100 කට අධික හෙයින් අදාල මුදල් සහ පොසොන් උත්සවයන් වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ අනෙකුත් පහසුකම් සැපයීමේ කටයුතු ආදි සියල්ල වෙනුවෙන් රුපියල් ලක්ෂ 200 කට අධික මුදලක් වැයවෙනු ඇති බවටද මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් වැඩිදුරටත් පැවසීය.

Latest