Skip to content

මහනුවර මහා මැණික් කොල්ලය

මහනුවර පේරාදෙණිය පාරේ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සැලක් වෙත පැමිණි පිරිසක් එහි තිබූ රුපියල් ලක්ෂ 80 කට මිල නියම කර තිබූ නිල් මැණිකක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සොරාගත් නිල් මැණිකේ පෙනුමට සමාන ලෙස වීදුරු වලින් සකස් කර නිල් මැණිකක් සේ වර්ණ ගැන්වූ වීදුරු ගලක් රැගෙන පැමිණ තිබෙන අදාළ පුද්ගලයින් ඉතා සූක්ෂම ලෙස එම ගල මාරුකර නිල් මැණික සොරාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

නිල් මැණික පරීක්ෂා කළ පුද්ගලයින් එය මිලට ගැනීමට යළි පැමිණෙන බව දන්වමින් පිටව ගොස් පැය කිහිපකට පසු වෙළෙඳ සැල් හිමියා පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් මතුවූ සැකයක් මත වෙළෙඳ සැලේ තිබූ නිල් මැණික පරීක්ෂා කිරීමේ දී එය ව්යාජ එකක් බව දැන වහා ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලකර කර තිබේ.

පැමිණි පුද්ගලයින් තිදෙනා අතරින් එක් අයෙකු ගැනුම්කරු ලෙසත් අනෙක් දෙදෙනා බ්රෝකර්වරු ලෙසත් පෙනී සිට ඇත.

සී.සී.ටි.වී දර්ශන ඔස්සේ සැකකරුවන් පිළිබඳව හා ඔවුන් පැමිණි වාහනය සම්බන්ධව පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙයි.

Latest