විදෙස් මාධ්‍ය විසින් ඉකුත් දා (27) වාර්තා කර තිබුණේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාල සීමාව තුලදී අධික උෂ්ණත්වය හේතුවෙන් මරණ 200කට අධික ප්‍රමාණයක් මෙක්සිකෝවෙන් වාර්තා වී ඇති බවයි. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති වාර්තා වල දැක්වෙන්නේ අධික උණුසුම නිසා පසුගිය මාස 04ක කාලය තුල පමණක් මියගිය සංඛ්‍යාව 249 ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි.
ඔවුන්ගේ වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇති ආකාරයට මාර්තු 19 සහ ජූලි 22 අතර කාලසීමාවේදී Nuevo León හි මරණ සියයක්, Tamaulipas හි මරණ 28, Veracruz හි මරණ 26 සහ Sonora හි මරණ 26ක් ද වශයෙන් වාර්තා වී තිබේ. ඉතිරි මරණ වෙනත් ප්‍රාන්ත 12කින් සිදුවී ඇති බවට එම වාර්තාවේ දක්වා ඇත.
විශේෂඥයින් ගේ අදහස වී ඇත්තේ මෙය "හීට් ඩෝම්" ආකාරයේ කාලගුණ සංසිද්ධියක් බවත් උෂ්ණත්වය ඉහළ යාම හමුවේ උණුසුම් වාතය ඉහළ පීඩනයකින් සිර කර ගැනීම නිසා මෙම තත්වය දිගින් දිගටම ඇති වන බවත් ය.
පසුගිය මාසය අගදී, මෙක්සිකානු ප්‍රාන්තවල ඇතැම් ස්ථානයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක පමණ අගයක් පෙන්නුම් කර ඇත. දක්වා ඇති ආකාරයට තත්වය මෙලෙසම පැවතුණහොත් Baja California සහ සොනෝරා යන ප්‍රාන්ත වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා වුවද යනු ඇති බවට සඳහන් වේ. තවත් ප්‍රාන්ත පහක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ත් 45 ත් අතර පරාසයක පවතිනු ඇතැයි ද වාර්තාවන් හි වැඩිදුරටත් දැක්වේ.