Skip to content

කුඩාවැව තව කුඩා වුනානම් ගොඩම තමයි...!

පුත්තලම දිස්ත්‍රික්කයේ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩාවැව වැවේ තැම්පත් වී තිබූ ජලජ ශාඛ ඉවත් කිරීම සදහා රජය විසින් රුපියල් 1,923,000 ක මුදලක් වැය කර ඇතත් එය නිශ්කාර්ය වියදමක් බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාව සදහන් වේ.

මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කුඩාවැව වැව පෝෂණය වන්නේ කඩුපිටිඔයෙන් සහ හැමිල්ටන් ඇලෙනි.ඊට අමතරව වැසි කාලයේදීද කුඩාවැව වැව පිරී යයි.අක්කර 47 ක් විශාල කුඩා වැව වැව යටතේ කුඹුරු අක්කර 135 ක් වගා කටයුතු කළ හැකි නමුත් මේ වන විට වගා කටයුතු සිදු කරණු ලබන්නේ අක්කර 90 ක පමණ ප්‍රමාණයක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කරයි.වැවේ සිට කුඹුරු දක්වා ජලය ගෙන යන ඇල මාර්ග විවිධ පුද්ගලයින් විසින් වසා දමා තිබීම ඊට හේතුව වී ඇත.

පසුගිය "යහපාලන"රජය යටතේ ක්‍රියාත්මක වූ "ගම්පෙරළිය"වැඩ සටහන යටතේ කුඩාවැව වැව පිරිසිදු කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇත. නාත්තන්ඩිය ප්‍රාදේශීය සභික චන්දි ප්‍රජා තෙන්නකෝන් මෙනවියගේ ඉල්ලීමක් අනුව එවකට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වරයාව සිටි නිරෝෂන් පෙරේරා මහතා විසින් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සිදු කර ඇත.වැවේ එකතුවී තිබූ ජලජ ශාඛ ඉවත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ අඩප්පරගම - පහල කුඩාවැව "ගංතෙර යාය" ගොවි සංවිධානයටය.ඒ කුඩාවැව ගොවිජන සංවර්ධන කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේය.

ජලජ ශාඛ ඉවත් කිරීම ආරම්භ කර ඇත්තේ 2019 ජූලි මස 01 වැනිදා බව වැව ආසන්නයේ ස්ථාපනය කර ඇති පුවරුවක සදහන් වේ.එම පුවරුවට අනුව වැවේ ජලජ ශාඛ ඉවත් කිරීම සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 02 කි.

මේ අතර රජයේ විගනන නිලධාරීන් විසින් 2020 ජනවාරි මස 04 වැනිදා කුඩාවැව පරීක්ෂාවට ලක් කර ඇත.ඊට මාස 05 කට පෙර එනම් 2019 ජූලි 01 වැනිදා වැවේ ජලජ ශාඛ ඉවත් කිරීම සිදු කිරීම ආරම්භ කර ඇතත් විගනන නිලධාරීන් විසින් පරීක්ෂා කරන විට නැවත වතාවක් වැව ජලජ ශාඛ වලින් පිරී ගොස් ඇති බවක් දක්නට තිබී ඇත.ඒ අනුව කුඩාවැව වැවේ ජලජ ශාඛ ඉවත් කිරීම සදහා රජය විසින් වැය කර ඇති රුපියල් 1,923,000 ක මුදල නිශ්කාර්ය වියදමක් බව විගනන නිලධාරීන් විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් කර ඇත.

විගනන නිලධාරීන්ට පිළිතුරු සපයා ඇති ගොවිජන සංවර්ධන නිලධාරීන් පවසා ඇත්තේ ඇස්තමේන්තු කර තිබුනේ අක්කර 17 ක ජලජ ශාඛ ඉවත් කිරීමට පමණක් ඇස්තමේන්තු සකස් කර තිබූ බවය.නමුත් ගොවියන්ගේ ශ්‍රම දායකත්ව ඇතිව අක්කර 20 ක ජලජ ශාඛ ඉවත් කිරීමක් සිදු කර ඇති බවය. අක්කර 47 ක් විශාල වැවක අක්කර 17 ක් පමණක් ජලජ ශාඛව ඉවත් කිරීමේ ප්‍රයෝජනයක් තිබේද යන්න සහ ඉවත් කරන ලද ජලජ ශාඛ මාස 05 ක් වැනි කෙටි කාලයක් තුළ නැවත වැව පුරා පැතිර ගොස් ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි කිරීමට ගොවිජන සංවර්ධන නිලධාරීන් කටයුතු කර නැත. අක්කර 47 ක් විශාල වැවකින් අක්කර 17 ක පමණක් ජලජ ශාඛ ඉවත් කිරීමෙන් පළක් නොවන ඕනෑම පුංචි දරුවෙකුට වුවත් තේරුම් ගත හැකි කරුණකි.නමුත් මුදල් වෙන් කළ දේශපාලකයින්ට හෝ අධීක්ෂණ කටයුතු කළ රජයේ නිලධාරීන්ට ඒ බව තේරුම් නොයාම නම් පුදුමයට කරුණකි.

අප මේ සම්බන්ධයෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී චන්දි ප්‍රභා තෙන්නකෝන් මෙනවියගෙන්ද විමසා සිටියෙමු."ගම්පෙරළිය වැඩ සටහන යටතේ මා විසින් වෙන් කර ගත් මුදල් යෙදවිය යුත්තේ කුමන කටයුත්තක් සදහාද කියා මම ගම්වාසීන්ගෙන් විමසා සිටියා. ගම්වාසීන් කියා සිටියේ කිසිදාක පිරිසිදු කිරීමක් කර නොමැති කුඩාවැව වැවේ ඇති ජලජ ශාඛ ඉවත් කිරීම සුදුසු බවයි. ඒ අනුව තමයි අදාල මුදල් වෙන් කිරීම සිදු කළේ. වෙන් වී තිබූ මුදල් ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක වැඩ අපි කලා. ඒත් දැන් නැවතත් කුඩාවැව වැව ජලජ ශාඛ වලින් පිරී ගිහිං තියන බව ඇත්ත. ඒක මගේ වරදක් නම් නෙමෙයි."ඇය කියා සිටියාය.

Latest