Skip to content

ආණමඩුව O.I.C කථාවේ ඇත්ත කථාව මෙන්න.

පුරප්පාඩුව පැවති ආණමඩුව පොලිස් ස්ථානාධිපති ධූරය පත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.ඒ.අබේනායක  පත්වීම පැය කීපයක් යාමට මත්තෙන් අවලංගු වීම මේ දිනවල සමාජයේ මහත් කථා බහක් ඇති කරන මාතෘකාවක් බවට පත්ව ඇත.අබේනායක නිලධාරියාව එම තනතුරට පත් කර නිවේදනය නිකුත් කර ඇත්තේද,එම නිවේදනය අවංගු කර තිබෙන්නේද පොලිස්පතිවරයා විසින්මය.ඒ 2023 අප්‍රියල් මස 18 වෙනිදාය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.ඒ.අබේනායක අණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කිරීමට විරෝධය පළ කර ඇත්තේ රාජ්‍ය ඇමතිවරයෙකු වන සනත් නිශාන්ත පෙරේරා විසින් බවටද ඒ සමගම හෙලි වන්නේය.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා 2023 අප්‍රියල් මස 18 වෙනිදා මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය ටිරාන් අලස් වෙත ලිපියක් යෙමු කර ඇත.එම ලිපියට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.ඒ අබේනායක යනු දුෂිත නිලධාරියෙකි.අබේනායක නම් නිලධාරියා කලක් මාදම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කළේය. යහපාලන රජය කාලයේ මාදම්පේට ස්ථානාධිපතිවරයා ලෙස පැමිණි අබේනායක මහතා ගෝඨාභය පාලන සමයේද කාලයක් එම තනතුරේම සේවය කළේය.

මාදම්පේ පොලිසීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ අබේනායක නම් ස්ථානාධිපතිවරයා කුකුළන් කෙටීම,මුදල් ඔට්ටුවට සූදු කෙලීම,දැව ජාවාරම් කිරීම,නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ එමෙන්ම ජනතාවගෙන් කප්පම් ලබා ගත් පුද්ගලයෙකු බවටද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත තම ලිපියෙන් චෝදනා කර සිටී.

ඒ.ජේ.ඒ.අබේනායක පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙස පුත්තලම දිස්ත්‍රික්කයට පැමිනෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේය.ඒ සාලියවැව පොලිස් ස්ථානාධිපතිවරයා 2010 වර්ෂයේ පෙබරවාරි මස 08 වැනිදාය.එම කාල වකවානුවේ සාලියවැව ප්‍රදේශය අයත් වන ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ සංවිධායකවරයා වූයේ ප්‍රියංකර ජයරත්නටය.වසර කීපයක් සාලියවැව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අබේනායක මහතා ප්‍රියංකර ජයරත්න මහතාගේ ඉතා හොද හිතවතෙකු විය.යහපාලන රජය පැමිණ ටික කාලයක් ගත වන විට අබේනායක මහතා සාලියවැව පොලිස් ස්ථානාධි ධූරයෙන් විසිවී වෙනත් පැත්තකට මාරුවී යන්නේය.ඒ 2016 ජූනි මාසයේදීය.නුවරඑළිය කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබා ගිය අබේනායක  වැඩි කාලයක් යන්නට පෙර පුත්තලම දිස්ත්‍රික්කයේම කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්වීමක් ලබා පැමිනෙන්නේය.ඒ 2015 මුල් කාලයේදීය.

වැඩි දවසක් යන්න පෙර පොලිස් පරීක්ෂක අබේනායකට කල්පිටියද අහිමි වන්නේ හදිසියේම ලැබුණු ස්ථානමාරුවීමක් හේතුවෙනි.කල්පිටියෙන් විසි වී ගිය අබේනායක 2019 වර්ෂයේදී මාදම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්වීමක් ලබා පැමිනෙන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණමඩුව ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන ප්‍රියංකර ජයරත්නගේ නිජ බිම වන්නේ මාදම්පේ ප්‍රදේශයයි.ඒ මහතාගේ දිවංගත  මව සහ පියාගේ ඥාතීන් සියළුම දෙනා පදිංචිවී සිටින්නේද මාදම්පේය.එමෙන්ම ප්‍රියංකර ජයරත්න තම දේශපාලන කටයුතු ආරම්භ කරන්නේද මාදම්පෙන්ය.මේ නිසා ආණමඩුව ආසනයේ සංවිධායක ධූරය ලැබීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ පදිංචිය සදහා ගියත් ප්‍රියංකර ජයරත්නට මාදම්පේ අමතක කරන්නට කුමන හේතුවක් නිසා හෝ හැකියාවක් නැත.

යහපාලන රජය අවසන් කරමින් මහා මැතිවරණයක් පැවැත්වුණි.මෙම මහා  මැතිවරණයට ප්‍රියංකර ජයරත්න මෙන්ම සනත් නිශාන්ත දේශපාලකයින්ද එකම පක්ෂයකින් ඉදිරිපත් වී තිබුණි.ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙනි.ඔය කියන මැතිවරණ සමගේ මාදම්පේ - සුදුවැල්ල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් හට ගත්තේය.ඒ ප්‍රියංකර - සනත් පාර්ශවයන් දෙක අතරය.මෙම ගැටුමට මැදිවී සිටි ප්‍රියංකර ජයරත්න මහතාගේ ඥාති පුතෙකුව කුදලාගෙන විත් කූඩුවට දමන්නට අබේනායක පොලිස් නිලධාරිය කටයුතු කරන්නේය.එම සිද්ධියෙන් අබේනායක නිලධාරියා සමගම එතෙක් කලක් තිබූ හොද හිත ප්‍රියංකර ජයරත්න මහතාගෙන් බිදී යන්නේය.

එම සිද්ධියෙන් අනතුරුව අබේනායක නිලධාරියා ඉතාමත්ම හොදින් තම රාජකාරිය සිදු කර ඇති බවත්, තවත් ගුණ ගායනා රැසක්ද සමග ලිපියක් ලබා දෙන්නටද සනත් නිශාන්ත කටයුතු කර තිබුනේ ලිපියක්ද නිකුත් කරමිනි.

ඔය කාලය අතර තුර මෙරට ජනාධිපතිවරයා වී සිටියේ ගෝඨාභය රජපක්ෂ මහතාය.ජන හමු නොපැවැත්වුවත් තමන්ට සහාය දුන් ජනතාව මුණ ගැසී ස්තූති කිරීම සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පුත්තලමට පැමිනෙන්නේය.මුලින්ම ආණමඩුවට ගිය ගෝඨාභය ජනාධිපතිවරයා අනතුරුව ආරච්චිකට්ටුවට පැමිණ සවස් වන්නට පෙර මාදම්පේ ප්‍රදේශයටද පැමිනෙන්නේය. අබේනායක නිලධාරියාට එරෙහිව සකස් කර තිබූ පෙත්සමක් ජනාධිපතිවරයා අතට පත් වන්නේ මාදම්පේදීය.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු වන අතර තුර අබේනායක මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සදහා ස්ථානමාරුවක් ලැබෙන්නේය.වසර කීපයක් පැවති එම පෙත්සම් විභාගයෙන් අබේනායක මහතා නිර්දෝෂීකරුවෙකු බවට පත්ව ඇති බව මෙම ලියුම්කරු විසින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.

ආණමඩුව පොලිස් ස්ථානාධිතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලංග බණ්ඩාරව පසුගිය මාර්තු මස 29 වෙනිදා සිට වහාම ක්‍රිත්මක වන පරිදි කොළඹ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කරන ලදි. පොලිස්පතිවරයා විසින් එදින නිකුත් කර තිබූ නියෝගයට අනුව වයඹ පළාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,පුත්තලම දිස්ත්‍රික්කය බාර නියෝජ්‍ය පොලිස්පති,පුත්තලම කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සහ ආණමඩුව කොට්ඨාසය බාර පොලිස් අධිකාරීවරයාටද ස්ථාන මාරුවීම් ලැබී තිබුණි. පොලිස් නිලධාරියෙකුව පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් සිව්(04) දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියක් එම ස්ථාන මාරුවීම් වලට හේතුව වී තිබුණි.

ඒ අනුව මාර්තු මස 29 වෙනිදා සිට ආණමඩුව පොලිස් ස්ථානාධිපති ධූරය පුරප්පාඩු වී තිබුණි.අප්‍රියල් මස 18 වෙනිදා ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.ඒ.අබේනායකව ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කිරීමේ නියෝගය පොලිස්පතිවරයා විසින් නිකුත් කරන්නේ මේ අතර තුරදීය. එම පත් වීම සදහාද පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල දේශපාලකයෙකු තම නිර්දේශයන් නිකුත් කර තිබූ බවද අප විසින් කරන ලද සොයා බැලීමේදී අනාවරණය විය.නමුත් පැය කීපයකට පෙර තමන් අත්සන් තබන ලද නියෝගය හකුළා ගන්නට පොලිස්පතිවරයාට සිදු වන්නේ තවත් නිවේදනයක් නිකුත් කරමිනි.ඒ අබේනායක මහතාගේ පත්වීම අවලංගු කරමිනි.

දෙබරයට ගල් පහර වදින්නේ ඉන් අනතුරුවය.දේශපාලකයෙකුගේ නිර්දේශයක් මත තමන් විසින් කරන ලද පත් වීමක් තවත් දේශපාලකයෙකුගේ ඉල්ලීමක් මත පැය කීපයක් තුළ ආපසු හැරීමට තරම් පොලිස්පතිවරයා ක්‍රියා කළේ කුමන හේතුවක් නිසාද යන්න බොහෝ දෙනෙකු ප්‍රශ්ණ කර සිටියේ මේ අවස්ථාවේදීය.

මේ අතර තුර මාධ්‍ය සංදර්ශණ කීපයක්ද කරළියට එන්නට විය.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා කියා සිටින්නේ "අබේනායක කියන නිලධාරියාට එරෙහිව පොලිස්පතිවරයා විසින්ම කරන ලද පරීක්ෂණයකදී වැරදි කරුවෙකු බවට පත් වෙලා තියනවා.මාදම්පෙට හොද නැහැ කියන නිලධාරියා මම නියෝජනය කරන ආණමඩුව ආසනයට එවන එක හොද නෑ කියන එකයි මම කියන්නේ.කිසිම නිලධාරියෙකු පත් කිරීම් සම්බන්ධයෙන් මම බලපෑම් කරන්නේ නෑ.නමුත් කිසිම දුෂිත නිලධාරියෙකුට එන්න මම ඉඩ තියන්නෙත් නෑ."

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරද මාධ්‍ය හමුවක් පවත්වමින්  ප්‍රකාශයක් සිදු කර තිබුණි."ජඩ වැඩ කරන අයට,නොහික්මුණු දේශපාලකයින්ට පොලීසිය සහ අනෙකුත් නිලධාරීන් තමන්ගේ අතකොළු කරලා තියා ගන්න අවශ්‍යතාවයන් ඇති.නමුත් ශීලාචාර,හික්මීමක් ඇති දේශපාලකයින්ට එවැනි අවශ්‍යතාවයක් නෑ.මේ සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ ජනාධිපතිවරයා නෙමෙයි.රටේ පොලිස්පතිවරයායි.පොලිස් නිලධාරියෙකුට ඇවිත් තනතුරක් බාර අරගෙන වැඩ කරන්න බැරි නම් රටේ අනෙක් සාමාන්‍ය ජනතාවටත් ජීවත් වෙන්න බැරි වෙයි.එවන් වටපිටාවක් නම් නිර්මාණය වන්නේ ඒ සම්බන්ධයෙන් වන වගකීම පොලිස්පතිවරයා විසින්ම දැරිය යුතු වනවා."දේශපාලනයට එන්නට පෙර පාලිත රංගේබණ්ඩාර මහතාද පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකි.හිටපු පොලිස්පතිවරයෙකු වූ මහින්ද බාලසූරිය  වයඹ පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අවධියේ රංගේබණ්ඩාර කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැල්ලව පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග කරට කර හැපුප්පුණු රංගේ බණ්ඩාර නැවතුනේ පොලීසියට අයුබෝවන් කියා නිල ඇදුම උනා දමා දේශපාලනයට අත් පොත් තබමිනි.

සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා කියා සිටින්නේ තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ආණමඩුව ආසන සංවිධායකවරයා බවත්,දුෂිත නිලධාරීන්ට තමන්ගේ කොට්ඨාසයට පැමිණීමට ඉඩ දෙන්නට හැකියාවක් නොමැති බවත්ය.වත්මන් ජනාධිපතිවරයා නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි.එම පක්ෂයේ මහා ලේකම් වන්නේ පාලිත රංගේබණ්ඩාරය. එක්සත් ජාතික පක්ෂයේ ආණමඩුව ආසන සංවිධායක වන්නේද පාලිත රංගේබණ්ඩාරය.දැන් ඉතිං හැප්පිල්ල තියෙන්නේ රටකරවන ජනාධිපතිගේ පක්ෂයේ මහා ලේකම්වරයා සහ රට කරගෙන යාමට සහාය දෙන පක්ෂයක ආසන සංවිධායකවරයෙකු අතරවීම විශේෂත්වයක් වන්නේය.

මෙම ලිපිය අවසන් කරන්නට පෙර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත යවා ඇති ලිපියේ අංක 03 ජේදය සම්බන්ධයෙන් අවදානය යොමු කරන්නට කැමැත්තෙමු.උපුටා ගැනීම."පුත්තලම දිස්ත්‍රික්කයේ අනෙකුත් කිසිදු ආයතනයක පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් මා විසින් කිසිදු අවස්ථාවක අනිසි බලපෑම් සිදු කර නොමැති බවත්,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණමඩුව ආසන සංවිධායක හා දිස්ත්‍රික් නායක ලෙස මා කටයුතු කරමින් සිටියදී, ආණමඩුව පොලිස් ස්ථානයට පත් කර ඇති මෙම දුෂිත නිලධාරියාගේ සේවය කිසිසේත් ආණමඩුව පොලීස් ස්ථානයට සුදුසු නොවන බව ඔබ තුමන් වෙත කාරුණිකව සදහන් කරමි."උපුටා ගැනීම අවසන්. යනුවෙන් එහි සදහන් වේ.ඒ අනුව මේ නොකියා පවසා ඇත්තේ තම තමන් නියෝජනය කරන කොට්ඨාස වල නිලධාරීන් පත් කිරීමේදී ඒ සම්බන්ධයෙන් වන නිර්දේශයන් දේශපලකයින්ගෙන් ලබා ගත යුතුද යන්න සිතා බැලීම වටින්නේය.

පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වලට ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී තමන් අනියම් බලපෑම් කර නොමැති බව ටිරාල් අලස් අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ සදහන් කර ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එක් දෙයක් අමතක වී ඇති බව අපි මතක් කර දෙමු.මාදම්පේ පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේනායක වහාම මීගමුව කොට්ඨාසයට මාරු කර ඇති බව දැන ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එවකට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් සරත් වීරසේකර වෙත ලිපියක් යොමු කළේය.2019 සැප්තැම්බර් මස 15 වෙනිදා යවා ඇති එම ලිපියේ සදහන් වන්නේ අබේනායක යනු අවංක,සාධරණ අපක්ෂපාතී නිලධාරියෙකු බවය.ඒ අනුව ලබා දී ඇති ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා සිටීමටද රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර ඇත.

එතනින් නොනවතින සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා 2021 මැයි මස 09 වෙනිදා එවකට මහජන ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළ සරත් වීරසේකර අමතා තවත් ලිපියකට අත්සන් ලබා ඇත.එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ මාදම්පේ සිට ස්ථාන මාරුවීම් ලබා ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.ඒ.අබේනායකව මාරවිල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස පත් කරන ලෙසය.

එමෙන්ම සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා පවසන ආකාරයට පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිදු ආයතනයකට පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී තමන් විසින් බලපෑමක් සිදු කර නැත.නමුත් නොරචෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලංග බණ්ඩාරව හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස පත් කිරීමත්,වනාතවිල්ලුව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක අරුණ ශාන්තව ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කිරීමත් පිටුපස සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා සිටින බව බොහෝ දෙනෙකු කියා සිටී.

පසුගිය වසරේ මැයි මස 09 වැනිදා පැවති අරලගයෙන් පසුව රට පුරා ගිනි දැල් ඇවිලී ගියේය.මෙම ගිනි දැල් නිවා දමන්නට හෝ තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් පොලිස් ස්ථානාධිපතිවරුන් 30 කුට වැඩි ප්‍රමාණයකට සාමාන්‍ය රාජකාරි සදහා යාමට සිදු විය.එසේ ස්ථාන මාරුවීම් ලද පොලිස් නිලධාරීන් විසින් ගොණු කර ඇති පෙත්සමක් මේ වන විටත් අධිකරණයේ විභාග වෙමින් පවතී.එසේ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් අතරට හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපතිවරයාද වන්නේය.අනෙක් සියළුම ස්ථානාධිපතිවරුන්ට තමන් එතෙක් දැරූ පුටුව අහිමිවී ගොස් සාමාන්‍ය රාජකාරි කරන්නට සිදු වුවත්, හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක නිලංග බණ්ඩාර ස්ථාන මාරුවීම් ලබා ගියේ ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසය.

ඒ අනුව සිදුවී ඇත්තේ කුමක්ද යන්න වටහා ගැනීම ඔබ සතු කටයුත්තක් වන්නේය.

අපේ රට තුළ ස්වාධීන කොමිෂන් සභා කීපයක්ම ස්ථාපනය කර ඇත.ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීමත් සමග සියළු රටවැසියන් හිතුවේ "දැන් ඔක්කොම හරි"කියාය.එසේත් නැත්නම් "දේශපාලන ඇගිලි ගැසීම් නැතිව දැන්වත් රටේ වැඩක් කෙරෙයි"කියාය.එසේ ස්ථාපනය කරන ලද ස්වාධීන කොමිෂන් සභා අතරින් පොලිස් කොමිෂමට සහ මැතිවරණ කොමිෂමට ඇත්තේ ප්‍රධාන තැනකි.පසුගිය දින වල අවස්ථා කීපයකදීම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදු වූ බව නොරහසකි. එය සිදුවූයේ කුමන ආකාරයකටද යන්න අමුතුවෙන් කියන්නට අවශ්‍යතාවයක් නොමැත්තේ සිදුවී ඇත්තේ කුමක්ද යන්න රටම නොව ලොවම දන්නා කරුණක් නිසාවෙනි.

පොලිස් කොමිෂමද ස්වාධීන බව කියති.ඒ අනුව කිසියම් පොලිස් නිලධාරියෙකු ස්ථාන මාරු කිරීම,ස්ථාන මාරු අත්හිටුවීම,පොලිස්පතිවරයාට හෝ මහජන ආරක්ෂක ඇමතිවරයාට හෝ ලේකම්වරයාට හිතුවක්කාරී ලෙස සිදු කිරීමට හැකියාවක් නැත.එවන් රාජකාරියක් කරන්නට පෙර පොලිස් කොමිෂමේ අනුමැතිය ලබා ගත යුතුවම ඇත.නැත්නම් ස්වාධීන යැයි පවසා පොලිස් කොමිෂම පිහිටුවා ඒ සදහා සාමාජිකයින් පත් කර ඔවුන් නඩත්තු කරන්නේ කුමකටද යැයි කිසිවෙකු ප්‍රශ්ණ කළහොත් එහිද වරදක් නැත.

නමුත් අවාසනාවට සිදු වෙමින් පවතින්නේද එයම බව සිදු වී ඇති බව සිදු වෙමින් පවතින කරුණු කාරණා වලින් පසක් නොවන්නේද?රාජ්‍ය නිලධාරීන් පත් කිරීම,ඔවුන්ට ස්ථානමාරු වීම් ලබා දීම වැනි කටයුතු වලදී දේශපාලකයින් තවමත් අත පොවන්නේ නම් ස්වාධීන කොමිෂන් සභා අපේ රටට කුමකටද යන්න විමසිය යුතුව ඇත.

Latest