Skip to content

ග්‍රීක පුරාවෘත්තයන්ගෙන් පැවත එන මෙඩූසා.

Phorcys මුහුදු දෙවියන්ට සහ Ceto නම් මුහුදු දෙවගනට දාව උපන් දියණියන් තිදෙනාගෙන් රූමත්ම දියණිය ලෙස මෙඩූසා ව හැදින්වීම නිවැරදියි. මොවුන් තිදෙනාව හදුන්වනු ලබන්නේ ගෝගන් සහෝදරියන් වශයෙන්. මෙඩූසාගේ අනෙක් සහෝදරියන් දෙදෙනා වන්නේ Stheno සහ​ Euryale. ග්‍රීක පුරාවෘත්තයන්ට අනුව ඇයගේ කතාව සැබවින්ම ශෝකජනක එකක් බව කිවීමට පුලුවන්. එය දිගහැරෙන්නේ මෙලෙසින්..

නව යෞවනියක් වන්නම මෙඩූසා රූමත් බවින් වඩ වඩාත් අගතැන්පත් වූ බව සැලකෙනවා. මේ හේතුව නිසාවෙන්ම ඇතීනා දෙවගන ඇය පිලිබදව යම් ඊර් ෂයාවකින් පෙලුණු බව තමයි පුරාවෘත්තයන්ගේ සදහන් වන්නේ. ඇතීනා දෙවගන විසින් මෙඩූසා ව ඇයගේ පූජස්ථානයේ පූජකවරියක් බවට පත් කර ගනු ලබනවා. පූජකවරියක් වශයෙන් ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් සහ භක්තියකින් යුතුව ඇය ඇයගේ කටයුතු කරගෙන යනු ලබනවා. නමුත් පූජකවරියක් ලෙස ඇය ගෙවන මෙම ජීවිතය නිමා වන්නේ මුහුදට අධිපති දෙවියන් වූ Poseidon හේතුවෙනුයි. එකළ දේව නීති රීතීන් වලට අනුව පූජකවරියක් කන​‍යාවියක් වීම අනිවාර් ය කරුණක් වුණා. මෙඩූසාගේ රූමත්බවින් වශී වී සිටි Poseidon ඇය පිලිබදව දිගින් දිගටම අවධානයෙන් පසුවීමේ ප්‍රතිඵලය වූයේ ඇතීනාගේ පූජස්ථානය තුලදීම මෙඩූසාව අපහරණයට ලක් කිරීමයි.

Poseidon - God of the Sea

ඉන් පසු සිදු වන්නේ මෙඩූසා සිහිනෙකින් වත් නොසිතන ආකාරයේ දඩුවමකට ලක්වන්නියක් වීම​යි. Poseidonට මෙම නොමනා ක්‍රියාව සම්බන්ධයෙන් දඩුවම් කල යුතු වූවත්, දෙවිවරුන් වශයෙන් ඔවුන් එකිනෙකාට දඩුවම් කරනවාට වඩා ඇතීනා මෙම කඩකිරීමේ කෝපය ක්‍රියාවට නංවනු ලබන්නේ මෙඩූසා තුලිනුයි. ඇතීනා මෙඩූසාගේ සුන්දර කෙස් කළඹ විෂ සහිත සර්පයන්ගේ කූඩුවක් බවට පත් කළ අතර ඇගේ දෑස් දෙස කෙලින්ම බලන ඕනෑම කෙනෙකුව ගල් පිලිම​ බවට පත් කිරීමට බලය ඇති ශාප ලත් ඇස් දෙකක උරුමකාරියක් බවටත් මෙන්ම ඇගේ ඉනෙන් පහල කොටස සර්පයෙකුගේ මෙන් වන ආකාරයටත් ඇයට ශාප කරනු ලැබූවා. තම ආදරණීයයන් කිසිවෙකුත් නැවත දැක ගන්නට නොලැබෙන නිසාම ඇය තීරණය කරනු ලබනවා කිසිවෙකුත් නොමැති පාලු ස්ථානයක (අතහැර දැමූ පූජස්ථානයක බව කියැවේ) සිය ජීවිතය ගෙවා දමන්න​.

විවිධ රණකාමීන් ඇයව දඩයම් කර ගැනීම සදහා පැමිණියත් ඒ සියල්ලන්ටම සිදුවුණේ මෙඩූසාගේ දෑස් ඉදිරියේ ගල් පිලිම බවට පත් වීමට​. පුරාවෘත්තයන්ගේ දැක්වෙන ආකාරයට Perseus මෙඩූසාගේ හිස කදින් වෙන් කිරීමේ අභියෝගය බාරගනු ලබන්නේ සිය මව් දෙවගන පොලිඩෙක්ටීස් නම් කෘර පාලකයාගෙන් බේරා ගැනීම සදහා මෙම සටනින් ජයග්‍රහණය කිරීම ඉතාම වැදගත් වන හෙයිනුයි. Perseus යනු Zeus ගේ පුතෙකු වන අතරම ඇතීනාගේ සහෝදරයෙකු ද වනවා. සදහන් වන ආකාරයට මෙඩූසා දඩයම් කිරීමේ මෙම ගමන සදහා බොහොමයක් දෙවිවරුන් විසින් Perseus හට දිව්‍යමය ත්‍යාගයන් කිහිපයක්ම ලබා දෙනවා. හේඩීස් විසින් මෙඩූසාගේ බැල්මෙන් ගැලවීම සදහා හිස්වැසුමක්, හර්මීස් විසින් තටු සහිත පාවහන් යුගලක්, ඇතීනාගෙන් මෙඩූසාගේ බැල්ම පරාවර්තනය කල හැකි ලෝකඩ පලිහක් මෙන්ම අවසාන වශයෙන් ඇයගේ හිස කදින් වෙන් කිරීම සදහා මුවහත් කඩුවක් ද ලබා දෙනවා.මෙම ආයුධ වල උපකාරීත්වයෙන් ඇයගේ හිස කදින් වෙන් කිරීම සදහා අවසානයේ Perseus සමත් වෙනවා.

Perseus

මෙඩූසාගේ හිස යොදාගනිමින් පසුකාලීනව​ ආක්‍රමණ බොහොමයකින්ම ජය ලබා ගැනීමට Perseusට හැකිවූ බවද මෙම ග්‍රීක පුරාවෘත්තයන්ගේ සදහන් වනවා. එයට අමතරව ඇතීනා විසින් ලබා දුන් පරාවර්තිත පලිහේ ඉදිරිපස මෙඩූසාගේ හිස රදවා තබා ගැනීමට Perseus විසින් ඇයගේ හිස ඇතීනා හට තෑගි කිරීමට​ කටයුතු කල බවට ද දැක්වෙනවා. එමෙන්ම ඇයගේ මරණයෙන් පසුව සිදුවන අනෙත් කාරණය වන්නේ ගලායන රුධිරය තුලින් දරුවන් දෙදෙනෙකු බිහි වීම​. Poseidon ගේ නොමනා ක්‍රියාව හේතුවෙන් ඇය ගැබිණියක්ව සිට ඇති අතර දරුවන් ප්‍රසූත කිරීම වැලකී යනුයේ ඇතීනාගේ ශාපය හේතුවෙනුයි. රන් අසිපතෙහි වීරයා ලෙස හදුන්වන chrysaur සහ අත්තටු සහිත අශ්වයා වන pegasus මෙම දරු දෙදෙනා වන අතර ඔවුන් පිලිබදව ඉදිරියේ තවත් ලිපියක් හරහා ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමි. (pegasus ග්‍රීක පුරාවෘත්තයන්ගේ පාරිශුද්ධම සත්වයා වශයෙන් සැලකේ.)

මෙඩූසාගේ චරිතය පිලිබදව ග්‍රීක පුරාවෘත්තයන් ගේ දැක්වෙන කරුණු හරහා ලබාදෙන පණිවුඩයන් බොහොමයකි. යුවතියකගේ සුන්දරත්වය ඇයට ආශිර්වාදයක් මෙන්ම විටෙක ශාපයක් ද වන බව මේ හරහා කියාපානු ලබන්නකි. මෙඩූසා යනු ස්ත්‍රීත්වයේ ප්‍රබල සංකේතයකි. ඇය ශක්තිමත් මෙන්ම ස්වාධීනව කටයුතු කල තැනැත්තියකි. ඇයද හිංසනයට ගොදුරු වූ තැනැත්තියක් වන අතර එය අපට මතක් කර දෙන්නේ කාන්තාවන් මෙවැනි ප්‍රචණ්ඩත්වයන්ට තවමත් ගොදුරු වන බවයි. වඩාත් භයානක ලෙස නැගී සිටිනුයේ කලකදී ඉතාමත්ම සාමකාමී වූ පුද්ගලයන් වන අතරම ඇයට සිදුවූ අසාධාරණය පැවති යහපත් ගුණාංග එකිනෙක මකා දැමීමටත් වඩාත් දරුණු චරිතයක් වීමටත් මග පෑදුවාය​. ග්‍රීක පුරාවෘත පිලිබද ගැඹුරින් අධ්‍යයනය කරන බොහෝ දෙනාගේ මතය වන්නේ පර් සියස් ගේ මෙම වික්‍රමය එක්තරා ආකාරයකින් මෙඩූසාව සිය වේදනාකාරී ජීවිතයෙන් මුදවා ගැනීමක් ලෙසය​. මෙඩූසා ඇගේ පෙනුම නිසා බියට හා අපහාසයට ලක් විය. කෙසේ වෙතත්, ඇය සැබවින්ම කරුණාවන්ත හා මෘදු ආත්මයක් විය. මින් අපට උගන්වන්නේ අප අන්‍යයන්ව ඔවුන්ගේ පෙනුම මත විනිශ්චය නොකළ යුතු බවයි. අපි මිනිසුන් ගැන උපකල්පන කිරීමට පෙර ඔවුන්ව දැන හඳුනා ගත යුතුමය යන්නයි. ග්‍රීක දේව පුරාණය පිලිබදව Vinayaka පළ කරන ලද ලිපිය පහතින් කියවන්න​.

ග්‍රීක දේව පුරාණය
ලෝකය ආරම්භ වූයේ ප්‍රාථමික ජීවීන් කිහිප දෙනෙකුගෙන් ය. මුලින්ම අවුල් (Chaos) නිර්මාණය විය. ඊළගට පෘථිවිය නොහෙත් ගයියා (Gaia) නිර්මාණය

Latest