Skip to content

IMF කොන්දේසි රාශියක් ඉටුකර අවසන් - ඇමති බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන කොන්දේසි වලින් රාශියක් මේ වන විට ඉටුකර තිබෙන අතර දෙවන වාරිකය ලබා ගැනීමට එය බෙහෙවින් බලපාන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මේ වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පළමු වාරිකය පමණක් ලැබී ඇති අතර දෙවන වාරිකය මෙරටට නිකුත් කරන්නේ ඔවුන් ඉදිරිපත් කර ඇති කොන්දේසි කවර ප්‍රමාණයකට ඉෂ්ට කළේ ද, ඒ සඳහා සද්භාවයෙන් උත්සාහ ගෙන තිබේ ද, යනාදිය පිළිබඳව සියුම් ලෙස සමීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

බදු ගැලපුම් තුළින් රජයේ ආදායම වැඩි කරගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරිම මඟින් මෙරට බදු ආදායම වැඩි කර ගැනීමට කටයුතු කිරීම, පිරිවැය පිළිබිඹු වන මිල ප්‍රතිපත්තියක් යටතේ ගෑස්, ඛනිජ තෙල්, යනාදියට ,මිල සූත්‍ර හඳුන්වා දීම, වංචා දූෂණ අක්‍රමිකතාවලට අදාළව දූෂණ වැළක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරවීමට මේ වන විට කටයුතු සම්පාදනය කර තිබීම, රාජ්‍ය මුල්‍ය විශාල ලෙස කපා හැරීමට රාජ්‍ය වියදම් තීරණය කර ක්‍රියාත්මක කර තිබීම යනාදිය එලෙස ඉටුකර තිබෙන බව හෙතෙම කියාසිටියි.

මේ අතර ලාභ නොලබන රාජ්‍ය ව්‍යවසායන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වල ශේෂ පත්‍රය සකස් කර එම ණය රජයට පවරාගනිමින් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කිරීමට විශේෂඥයින්ගේ සේවාව ලබා ගැනීමට ඉල්ලුම් පත් කැඳවා තෝරාගැනීමට කටයුතු කිරීම, හා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කර තිබීම යනාදිය ද ඉටු කර තිබෙන අතරම වෙනකවරදාකවත් නැති ආකාරයෙන් වැටුණු තැනින් ගොඩ ඒම සඳහා මෙරට ජනතාව ද තමන්ට දැරිය හැකි ප්‍රමාණයටත් වඩා කැප කිරීමක් කර තිබෙන බවත්ඒ අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව සැප්තැම්බර් මාසය වන විට මේ සියල්ල ඉතා හොඳ තත්ත්වයට පත්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බවද ඔහු ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (11) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

Latest