Skip to content

Fake News නිසා සිදුවූ මනිපූර් ස්ත්‍රී දූෂණ​

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේදී කාන්තාවන් දෙදෙනකු නිරුවත් කරනු ලැබූ දර්ශන අඩංගු වීඩියෝපටයක් ප්‍රසිද්ධ වීමත් සමග මාස තුනක් මුළුල්ලේ එම ප්‍රාන්තයේ පැවති ප්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳව ලෝක අවධානය යොමු වූයේ ය​.

මෙම ප්‍රචණ්ඩකාරී වාතාවරණයට පසුබිම් වූ කරුණු පිළිබඳ අප විසින් මින් පෙර පළ කරන ලද ලිපියක් මගින් කරුණු දක්වන ලදී. මනිපූර් හි ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් පසුව​, අදාල වීඩියෝවෙහි දිස්වන කාන්තාවන් දෙදෙනා ඇතුළුව කාන්තාවන් කිහිප දෙනකුම විවිධ ස්ථානවලදී දූෂණයට ලක්ව ඇති බවට තොරතුරු මාධ්‍යවේදීන් වෙත අනාවරණය වී තිබේ. මෙම ස්ත්‍රී දූෂණ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ව්‍යාජ පුවතක් හේතුවෙන් සිදු වූ "පළිගැනීමේ දූෂණ​" (revenge rape) බව ද මේ වනවිට අනාවරණය වී ඇත​.

මෙම සිද්ධියට පාදක වූයේ මැයි 3 වනදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ප්ලාස්ටික් බෑගයකින් ඔතන ලද තරුණියකගේ මළ සිරුරක  ඡායාරූපයකි. චූරාචන්ද්පූර් නම් ප්‍රදේශයෙහි මෙයිති ජනවාර්ගික හෙදියක බව පැවසුන ඇය කුකිවරුන් විසින් දූෂණය කර මරා දමන ලද බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පුවතින් කියැවිණ​. මෙම පුවත ව්‍යාජයක් බැව් පොලිසිය විසින් තහවුරු කෙරුණ අතර එම ඡායාරූපයේ සිටින්නේ 2022 නොවැම්බරයේදී ඝාතනය වූ දිල්ලි වැසි තරුණියක බව ද හෙළි විය​. ඇය මෙයිති කාන්තාවක නොවූවා ය​.

කෙසේ නමුත් මෙම පුවත සමාජගත වීමත් සමග මෙයිති කණ් ඩායම් පළිගැනීමේ ස්ත්‍රී දූෂණ ගණනාවක් සිදුකළ බැව් විශ්වාස කෙරේ. එක් මාධ්‍යවේදිණියක සඳහන් කර තිබුණේ එවන් සිදුවීම් හයක් පිළිබඳ ඇයට දැනගන්නට ලැබුණ බව ය​. මේ අතර ඉම්පාල් හි රැකියා කළ කාන්තාවන් දෙදෙනකු දූෂණය කර මරා දැමීමේ සිද්ධීන් අරභයා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙවන් ස්ත්‍රී දූෂණ බොහොමයක් පොලිසියට වාර්තා නොවීම සාමාන්‍ය තත්ත්වයක් වන්නේ සමාජයෙන් මෙන්ම ඇතැම්විට සිය පවුල්වලින් ද මෙවැනි ඉරණම්වලට ගොදුරුවන කාන්තාවන් කොන්වන හෙයිනි. සමාජ අපවාද​, කම්පනයා ආදී ගැටළුවලට මුහුණදෙන ඔවුන් ඊට අමතරව දේශපාලන වාද විවාදවල ද මාතෘකා බවට පත්වේ. එහෙයින් ඇතැම්විට මෙවන් කාන්තාවන් තමන්ට වන අපරාධයන් වාර්තා නොකරන අවස්ථා සුලභ ය​.

මනිපූර් හි ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් 180 ක් ඉක්මවූ පිරිසක් මේ වනවිට මියගොස් ඇත​. අවතැන් වූවෝ 60,000 කට ආසන්න වෙති. ඉන්දියාවේ මධ්‍යම රජය ප්‍රාන්තයේ පොලිස් බලතල අතට ගෙන මාස තුනකට ආසන්න ය​. එහෙත් තවමත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් පවතී.

මෙම තත්ත්වය ඊසානදිග ඉන්දියාවෙහි පසුගිය සමයෙහි මතුවෙමින් පැවති ස්ථාවරභාවය​ දෙදරවා ඇත​. එම ප්‍රදේශයේ පවතින විශාල ජනවාර්ගික විවිධත්වයත්, එකිනෙකා හා පවතින එදිරිවාදිකමුත් හේතුවෙන් අනෙකුත් ඊසානදිග ඉන්දියානු ප්‍රාන්තවල ද සාමකාමී තත්ත්වය පිළිබඳ සැක සංකා මතුවිය හැක​.

Latest