Skip to content

මිනිසා විනාශ කල හැකිය මිනිසා පරාජය කල නොහැකිය -2 ( මහල්ලා සහ මුහුද )

සිංහලෙන් ප්‍රබුද්ධ කියවීමටම විශේෂ වූ getpeakonline අපගේ වෙබ් අඩවියේ මේ වන විට මා පුද්ගලිකව සිය ගණනක් වූ ලිපි ඔබ වෙත ගෙන එන්නට ඇතැයි අනුමාන කරන අතර ඒ සමඟම මා හට සිතෙන්නේ මෙය වෙබ් අඩවිය තුළ මා පුද්ගලිකව ලියන ඉතාමත් වැදගත් ලිපිය වන බව සහ මහත් ඕනෑකමින් ලියන ලිපිය වන බවය.

එයට හේතුව නම් විශේෂයෙන් මනෝවිශ්ලේෂණවාදය සහ දර්ශනවාදය ඇසුරින් ගෙන එන ලද බොහොමයක් ලිපි මඟින් අප අපේක්ෂා කරන ලද්දේ ඔබගේ ජීවිතය පහසු කිරීමට සහ ජීවිතයට වැදගත් යමක් ඔබ වෙත ගෙන ඒමට වන අතර එම ලිපි මාලාවේ මෙය ඔටුන්නක් සේ තැබිය හැකිය. මන්ද ජීවිතයේ ඕනෑම දෙයක් අත් හැරීමට සිතෙන සෑම අවස්ථාවකදීම මෙම ලිපිය ඔබට බොහෝ සෙයින් වැදගත් වනු ඇතැයි අප සිතන බැවිනි.

මිනිසා විනාශ කළ හැකිය,මිනිසා පරාජය කළ නොහැකිය
″ වාසනාව නොයෙක් වෙස් ගෙන පැමිණෙන දෙයක්. වාසනාව හඳුනාගන්න පුළුවන් කාට ද ? ඕනෑම වේසයකින් ආවත් කමක් නෑ, ඉල්ලන දෙයක් දීලා වාසනාව ගන්න මම කැ

මිනිසා විනාශ කළ හැකිය. මිනිසා පරාජය කළ නොහැකිය  යනුවෙන් මීට පෙර ගෙන ආ ලිපිය තුළ මා යම් ස්ථානයක මෙලෙස ප්‍රකාශ කලා සමහරවිට ඔබට මතක ඇත. " ......එබැවින් මහල්ලා සහ මුහුද පිළිබඳව වෙනම ලිපියක් ඔස්සේ සාකච්ඡා කල යුතු අතර ඊට ප්‍රථම අර්නස්ට් හෙමිංග්වේ නම් මහා ලේඛකයා පිළිබඳව කියවා ගත යුතුය ".

ඒ අනුව මෙහි පළමු ලිපිය මඟින් අප අර්නස්ට් හෙමිංග්වේ නම් මහා ලේඛකයා පිළිබඳව දීර්ඝ වශයෙන් හඳුනාගත් අතර එම නිසා " පොත කියවීමට පෙර ලේඛකයා කියවාගත යුතුය " යන කොටස මේ වන විට සම්පූර්ණය. දැං ඇත්තේ පොත කියවීමටය.

අර්නස්ට් මිලර් හෙමිංග්වේගේ " මෙන් විතවුට් වුමන් ", " ස්නෝස් ඔෆ් කිලිමන්ජාරෝ " වැනි විශිෂ්ඨ ග්‍රන්ථ අතර ඔහුගේ ලෝක ප්‍රසිද්ධියට පත් සහ ශ්‍රී ලංකාවේ පාඨකයින් අතර දශක ගණනාවක් පුරා ජනප්‍රියම ග්‍රන්ථය වන්නේ " the old man and the sea " ය. හෙමිංග්වේ වසර 30 ක කාලයක් පුරා කියුබාවේ ජීවත්වන විටදී මැනුවෙල් උලිබාරි මොන්ටිස්පෑන් නම් ධීවරයකු මාර්ගයෙන් අසා දැනගත් පුවතක් ආශ්‍රයෙන් මෙය රචනා වන්නේ 1952 වර්ෂයේදී වන අතර 1954 වර්ෂයේ සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයෙන් හෙමිංග්වේ පිදුම් ලැබීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මෙම ග්‍රන්ථයයි.

එමෙන්ම මෙම ග්‍රන්ථය වෙනුවෙන් හෙමිංග්වේ ඇමෙරිකානු පුලිස්ටර් සම්මානයෙන් ද පිදුම් ලබන අතර එපමණක්ම නොව ඔහු 1952 වර්ෂයේ රචනා කරන ලද ස්නෝස් ඔෆ් කිලිමන්ජාරෝ නම් කෘතියට වඩා ඉහළ පාඨක ප්‍රතිචාරයක් ද the old man and the sea වෙනුවෙන් ලබා ඇති බව මූලාශ්‍ර කියයි. මෙතකින් නොනැවතී තවත් කිව හැක. මෙය කෙටි චිත්‍රපටයක් ලෙසින් ද සම්මානයට පාත්‍ර වූවකි. කෙසේ නමුත් " the old man and the sea " මහල්ලා සහ මුහුද " යනුවෙන් අපට සිංහලයට පරිවර්තනය කොට දෙන්නේ සෝමා ටී. පෙරේරා නම් ප්‍රවීණ කතුවරිය විසිනි.

" මිනිසා මිහිපිට ජනිත වූයේ පරාජය වීමට නොවේ. මිනිසා විනාශ කල හැකිය. මිනිසා පරාජය කළ නොහැකිය " යන මූලික තේමාව රැගත් මහල්ලා සහ මුහුද යමෙකු විසින් මේ කෙටි ජීවිත කාලය තුළදී ඉතාමත් දුක් මහන්සියෙන් ලබාගන්නා ලද කටුක වූ අත් විඳීමක් විස්තර කරමින් පාඨකයා අපූර්ව ලොවක් වෙතට කැඳවාගෙන යෑමටත්, පාඨකයා වෙත අති මහත් වූ ශක්තියක් ලබා දීමටත් ( ජනප්‍රිය භාෂාවෙන් පවසන්නේ නම් ගට් ෆීලින් එකක් ලබා දීමට ) සමත්වන කෘතියකි.

" තමන් ළඟට වාසනාව පැමිණෙන තෙක් ඔහේ බලා නොඉඳ, උත්සාහයෙන් යුතුව, ජයග්‍රහණය වෙත පියමං කිරීම සඳහා, අත්වැලක් ලෙස මෙම කෘතිය ආදරණීය පාඨක ඔබ වෙතට පුදමි " කෘතියේ ඇතුළත ප්‍රධාන චරිතය වන සන්තියාගෝ නම් මහළු ධීවරයාගේ කතාන්දරය සේම සෝමා. ටී. පෙරේරා කතුවරිය සිය පරිවර්තන ග්‍රන්ථයට ලබා දී ඇති ඉහත පිදුම ද ඉතාමත් ආකර්ෂණීය වන බැවින් එය ද ප්‍රථමයෙන් දැක්වීමට සිතුණි.

සන්තියාගෝ ඇල්ක පේන් නම් මහළු ධීවරයා උතුරු අත්ලන්තික් සාගරයේ ඔරුවක නැගී නොකඩවා දින 84 ක් මුහුදු ගිය ද ඔහුට එකදු මාලුවකු වූව මරා ගැනීමට හැකි වන්නේ නැත. එබැවින් ඔහුගේ සහායට සිටි කොළුවාටද ඔහුව හැර දමා යාමට සිදුවන්නේ මේ අයුරිනි." සන්තියාගෝ ඒකාන්තයෙන්ම අවාසනාවන්තයෙක්. ඒ මූසල මිනිහගෙ ඔරුවෙන් උඹ තවත්නම් මූදු යන්න එපා. වෙන ඔරුවකින් පලයන් ".

නමුත් මහල්ලෙකු වූව ද සන්තියාගෝ අපරිමිත ධෛර්යයකින් යුත් මහල්ලෙක් වන අතර සෙසු ධීවර ප්‍රජාවගේ උසුළු විසුළුකම් සහ පහත් කිරීම් අතරින් ඔහු 85 වෙනි දවසටත් මුහුදු යෑමට අධිටන් කර ගණුයේ එම අපරිමිත ධෛර්යය නිසාමය. ඉදිං කතාව පුරාවටම දිග හැරෙන්නේ 85 වෙනි දවස උදාවන තෙක් සන්තියාගෝ ගේ ධීවර අත්දැකීම් සහ 85 වෙනි දවස උදා වී එදවස නිමාවෙන ආකාරයයි.

" වැහැරුණු කෙසඟ සිරුරකින් යුතු මහළු මිනිසාගේ............ පැරණි මුහුදු ගමන් වලදී විශාල මෝරුන් අල්ලා ගැනීම සඳහා ඔහු විසින් කරන ලද සටන්වල සාක්ෂි දෑතෙහි දක්නට    තිබුණේය ". මේ වන විට සන්තියාගෝ මහළුව කඩයක උඩ රාක්කවලට වැටෙන බඩු භාණ්ඩ මෙන් සිටිය ද ඔහු තරම් මුහුදු ගමනට දක්ෂ ධීවරයකු තවත් නොවන බව කෘතිය පුරාවටම විසඳවන කරුණකි. ඔහු මින් පෙර දක්ෂ ලෙස ධීවර රැකියාවේ නිරත වූවෙකි. නමුත් ඒ පිළිබඳව දන්නේ හෝ කතා කරන්නේ හෝ ඔහුගේ සහායට සිටි තරුණ කොළු ගැටයා පමණක් වන අතර සෑම අතකින්ම ඔහු අසරණය.

නමුත් නැවතත් කියන්නේ නම් මහළු ධීවරයා යනු අපරමිත අධිෂ්ඨානය ඇති අයෙක් වන අතර සැබවින්ම කෘතිය පුරාවටම මතු වන්නේ ඔහුගේ ඒ අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය විනා අනෙකක් නොවේ. සැබවින්ම ඕනෑම අයකු ජීවිතයේ බිංදුවටම වැටුණු අවස්ථාවක මෙය කියවිය යුතුම ග්‍රන්ථයක් වන්නේ මේ නිසාය. සන්තියාගෝ අපට නොකියා පවසන්නේ තමන් තමන්වම විශ්වාස කරන ලෙසය. " අනේ සීයේ තරහ වෙන්න එපා. මං වෙන ඔරුවකින් ගියේ ඉස්සර වගේ දැං තාත්තට අකීකරුකම් පාන්න බැරි කමටයි...................... තාත්තගෙ හිතේ විශ්වාසයක් නැතිකම තමයි මේ සේරටම හේතුව. ඒ වුණාට අපට අපි විශ්වාසයි, නේද? ".

සන්තියාගෝ මහල්ලෙකු වූව ද ඔහු අකලට හිසකෙස් පැසුණු වූවෙකු නම් නොවේ. ඔහුගේ චරිතයෙන් පණගැන්වෙන් අනෙක් කාරණය නම් සැබවින්ම සමාජයක සිටිය යුතු ආකාරය වන අතර ඔහු හොඳින් සමාජානුයෝජනය වූවෙකි. දින 84 ක් පුරා තමන්ට එකදු මාලුවකු හෝ අල්ලාගත නොහැකි වන විට සෙසු ධීවරයින්ට නම් බඹරා වැල්ලේ කැරකී ඇත. නමුදු සෙස්සන් සම්බන්ධයෙන් සන්තියාගෝ ගේ සිතෙහි කිසිදු ඊර්ෂ්‍යාවක් නැත. සෙස්සන් ඔහුට අපහාස උපහාස කළ ද කිසිදු කෝපයක් නැත. ඔහු බලා සිටින්නේ 85 වන දිනයේ හෝ මාළුවකු අල්ලා ගැනිමට ය.

" නෑ සීයේ... මං මේ බොරුවට කියනව නෙවෙයි. මට ඒ හැමදේම මේ දැන් වගේ මතකයි. එච්චර විතරක් නෙවෙයි සීයේ. අපි දෙන්න එකට මූදු ගිය හැම දවසක් ගැනම මට මතක තියෙනවා ". මහල්ලා සහ මුහුද පිළිබඳව මින් පෙර දීර්ඝ විස්තරයක් නොවුණත් කෙටි සඳහනක් කර ඇති අන්තර්ජාල අවකාශයේ සෑම ස්ථානයකම දක්නට ලැබෙන විස්තර කිරීම් තුළ සන්තියාගෝ විශේෂකොට දැක්වූව ද සැබවින්ම සන්තියාගෝ විශ්වාස කරන එකම පුද්ගලයා වෙමින් සහ ඔහුට සහාය වන එකම පුද්ගලයා ද වන කුඩා කොළු ගැටයා පිළිබඳව ද යම් සඳහනක් නොකිරීම සැබවින්ම අඩුවක් යැයි සිතේ.

නිවසින් කෙතරම් පීඩනයක් ආව ද මහල්ලාට සහය වෙමින් ඔහුව අත් නොහැර සිටින්නේ කොළු ගැටයා පමණි. ඔහු මුල අමතකොට දමා ඇති අයෙකු නොවේ. ඔහු විශ්වාස කරන්නේ සන්තියාගෝ ගේ වයස නොව ඔහුගේ අත්දැකීම් ය. ගතේ වීර්යය නොව සිතේ වීර්යය. සැබවින්ම සිදුවිය යුත්තේ ද එයයි.

" උතුම් ගති ගුණ නිවටකමක් යැයි ඔහු සිතුවේ නැත. අවංකව ජීවත් වීම අභිමානවත් කමක් ලෙසින් හේ විශ්වාස කළේය ".

සන්තියාගෝම පවසන ආකාරයට මේ අරුම පුදුම නාකියා ඕනෑම මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කරන විටදී වූව ද පෙරමුණට ගන්නා වචනය වන්නේ විශ්වාසයයි. ඔහු කොළු ගැටයා සමඟ බේස්බෝල් තරඟයක් පිළිබඳව සාකච්ඡා කරන විට දී වූව ද විශ්වාසය පිළිබඳව පවසන්නේ පහත ආකාරයෙනි. " ඒ වුණාට යැංකි පිල ගැන විශ්වාසය නැති කරගන්න එපා පුතා. ඩිමාග්ගියෝ ඊට වඩා නම් දරපු ක්‍රීඩයෝ. දන්නව ද? " නැවතී සිතා බැලුවහොත් සන්තියාගෝ ව්‍යංගාර්ථයෙන් පවසන්නේ තමන් ගැනම යැයි සිතේ. ඔහුද ඩිමාග්ගියෝ වැනිය.

මහල්ලා සහ මුහුදේ පිටු එකින් එක පෙරලාගෙන යන විට එක් පිටුවක කොළුවා අසන පැනයකට පිළිතුරක් මා හට ද සිතා ගැනීමට නොහැක. නමුත් එය සැබවින්ම ආකර්ෂණීය පැනයකි. විටෙක එහි විශාල ගැඹුරක් පවතිනවා යැයි ද සිතේ. එබැවින් එම පැනය මා ඔබට ද යොමු කරමි. එයට පිළිතුරක් ඇත්නම් අදහස් දැක්වීමට ඇති තීරුවේ දක්වන ලෙස ද ඉල්ලමි. " වයසක මිනිස්සු උදෙන්ම ඇහැරෙන්නේ ඇයි කියලා මටනම් තේරෙන්නෙ නැහැ. දවස තව ටිකක් දික් කරගන්න ද?. සීයාගෙන් එම පැනයට පිළිතුරු ලැබුණේ නැත ". ඉදිං ඔබට හෝ පිළිතුරක් ඇතිද?.

" අද දවස ගැන මට ලොකු විශ්වාසයක් තියනවා " යනුවෙන් සන්තියාගෝ පවසන්නේ 85 වෙනි දවස උදාවනවාත් සමගය.  එය ඔහුගේ මූදු ගමනේ කූටප්‍රාප්තියයි.  වෙනදා මෙන් දියඹට  යන ඔහු බලමු අද දවස ද මොකද වෙන්නේ යනුවෙන් දැඩි අධිෂ්ඨානයකින් සිත පුරවා ගන්නේ කෙසේ හෝ මාළුවකු අල්ලා ගැනීමේ දැඩි බලාපොරොත්තුවෙනි.

කොහොම නමුත් තනි තනි පුද්ගලයින් ලෙස අප බලාපොරොත්තු වන සියල්ල ඒ අයුරින්ම සිදුවන්නේ නම් සමහරවිට ලෝකයේ සිටින සුපිරිම මිනිසා ඔබ හෝ මම විය හැකිය. රටක් වශයෙන් ගත් විට ලෝකයේ ඇති සුපිරිම රට ශ්‍රී ලංකාව විය හැකිය. නමුත් එය එසේ සිදුවන්නේ නැත. ඕනෑම අයකු හට ප්‍රාර්ථනාවක් නොකර ආශිර්වාද කරන්න යැයි කියන්නේ එම නිසා වන අතර මන් ද ආශිර්වාද ජීවිත කාලය පුරාවටම රැඳී පවතින හෙයිනි.

සන්තියාගෝ 85 වෙනි දිනයේ කෙසේ මාළුවකු අල්ලා ගනිමී. යනුවෙන් බලාපොරොත්තු සහගතව දියඹට ගිය ද එය ඔහු සිතා සිටි තරම් ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේ නැත. කුසගින්න, පිපාසය, දැඩි හිරු රෂ්මිය, තනිකම, මහළු ශරීරයේ දුබලකම, ආම්පන්න හිඟකම, මිනී කන මෝරුන් ආදී සියල්ල සමග ඔහුට සටන් කිරීමට සිදුවන අතර එතන ද  ඔහුට ඇති එකම සම්පත් වන්නේ සිතෙහි ඇති අධිෂ්ඨානය සහ තමන්ගේ අත්දැකීම් පමණි.

" සොභාදහමේ නියාමය මහා පුදුමාකාරය. නිරතුරුවම දුබලයා ප්‍රබලයාගේ ගොදුර බවට පත්වෙයි "

" අදට දවස් අසූ පහයි. හිස් අතින්නම් ආපහු යන්නේ නෑ මං........ එක් වරම යොතකට ගැට ගසා තිබුණු කෙවිටක් තදින් නැමෙන බව දුටු මහල්ලා මහ හඩින් කෑ ගැසීය ".  සන්තියාගෝ ගේ නොපසුබස්නා අධිෂ්ඨානයට සාධාරණයක් වන්නේ මේ ආකාරයෙනි. ඔහු කෙසේ හෝ 85 වැනි දිනයේ මාළුවකු අල්ලා ගන්නා අතර එම මාළුවා ද ඔහුගේ අධිෂ්ඨානය තරම් මහා විශාල එකෙකි.

ජීවිතයේ ඉදිරියට යනවිට අප සෑම තත්පරයකම සිදු කරණුයේ අපට එන ගැටළු සඳහා පිළිතුරු සෙවීම පමණකි. ජීවත් වනවා යනුවෙන් අප සිදුකරණුයේ පැමිණෙන ගැටළු සඳහා පිළිතුරු සෙවීම පමණක් වන බවත් සහ එම නිසා ජීවත් වීමේදී අපට ගැටළු නොමැතිව ජීවත්විය නොහැකි යැයි යනුවෙන් ද සන්තියාගෝ ගේ චරිතයෙන් විසඳ වේ. 85 වැනි දිනයේ ඔහුට අති විශාල මාළුවකු අල්ලා ගැනීමට හැකි වූව ද එතනින් නවතින්නේ නැත.

" මාළුවා...... උඹ ලෑස්ති වෙන්නේ මාවත් මරාගෙන මැරෙන්න ද? මේ සන්තියාගෝගේ හැටි උඹ තාම දන්නේ නෑ. ඔන්න බලා ගනින්. මේක උඹේ ජීවිතයේ අන්තිම පාඩම තමයි ".

මාළුවා කෙසේ හෝ ගොඩ බිමට රැගෙන ආ යුතුය. ආහාර, ජලය, මාළුවන්ට පහර දෙන මස් පොල්ල, ගතේ ශක්තිය ආදී සියල්ල අහිමිව කිසිදු සහායක් නොමැති විට දී වූව ද සන්තියාගෝ සිය උත්සාහය අත් හරින්නේ නැත. නොපසුබස්නා උත්සාහයෙන් වීර්යය සපුරාලීමට හෙතෙම කටයුතු කරයි.

" මිනිසා සතුන්ට වඩා උසස් වියට යුතුයයි ඔහු කල්පනා කළේය. නමුත් මිනිසාට වඩා ශක්තිමත් සහ උද්‍යෝගිමත් සතුන් ලොව සිටිනා බව අමතක කරන්නට බැරිය ".

තම ඔරුව හා සම වූ විශාල මාළුවා ඔරුවට ගැට ගසා ඔහු මේ සැරසෙන්නේ මාළුවා ගොඩට ගෙන ඒමටය. ඒ ජයග්‍රාහී ලීලාවෙනි. නමුත් ජයග්‍රහණය යනු නිශ්චිත එකක්ම නොවන බව ද සන්තියාගෝ නොකියා අපට පවසන අතර විගසින් ඔහුට මිනී මෝරුන් සමග ද සටන් කිරීමට සිදුවන්නේ වාසනාව යනු තමන් වෙත එන්නක් නොව එය උත්සාහ කර ලබාගත යුත්තක් ය යන්න විද්‍යාමාන කරමිනි.
" කාපාන්.......මිනී මෝරා... දන්නේ නෑ උඹ. මේ සන්තියාගෝ වැඩක් පටන් ගත්තනම් අතරමගදී නවත්තන්නේ නෑ. තේරුණා ද? ".

" බලය තියනකොට උඹට බයවෙලා හැංගිච්ච එවුන් දැං කොච්චර එඩිතර වෙලාද ? උන් උඹව සත පහකටවත් මායිං කොරන්නේ නෑ ". ලිපිය පුරාවටම ග්‍රන්ථයේ සඳහන් ඉතාමත් ආකර්ෂණීය වූ පාඨයන් මා තද කළු අකුරුන් උදෘතකොට දැක් වූ අතර මේ තවත් එකකි. මතුවටත් ඒවා දක්වමි. සැබවින්ම මතුපිටින් ඒවා සරල කියමන් සේ පෙණුන ද ඒවායේ මහා විශාල ගැඹුරක් පවතින බවනම් පෙනේ. නමුත් ඒ ගැඹුර සොයා පාදා ගත යුත්තේ ඔබය. මන් ද ඕනෑම කතාවක තමන් තනිව සිතාගත යුතු කතාවක් පවතින බැවිනි.

" මිනිහෙකුට සල්ලි වියදම් කරල වාසනාව ගන්න බැහැ. වාසනාව විකුණන තැන කොහේ හරි තිබුණ නම් කීයක් හරි දීලා ගන්න පුළුවන්..... වාසනාව කියන්නෙ මහ පුදුම දෙයක්. එක එක දවසට එක එක විදිහට වාසනාව ඇවිත් ආපහු යනවා. අල්ලා එකම තැන රඳවා ගන්න බැහැ ".

සිය ඔරුවේ හබලෙන් කොටසක් ද අහිමි කරගනිමින් මීනී මෝරුන් සමග අවසානය තෙක් සටන් කරන සන්තියාගෝ අවසානයේ ගොඩබිමට පැමිණෙන්නේ අති විශාල මාළුවාගේ මස් සියල්ල මිනී මෝරුන් ඩැහැ ගැනීමෙන් අනතුරුව ඔළුව සහ ඇටකටු පමණක් රැගෙනය. නමුත් සන්තියාගෝ කිසි විටෙකත් පරාජිතයයකු ලෙස සිතන්නේ නැත. සැබවින්ම තමන් තමන්ව විශ්වාස කරන පළමු අවස්ථාවේම ඔහු ජයග්‍රාහකයෙකි. ඔහුට අවශ්‍ය වූයේ 85 වෙනි දවසේ හෝ මාළුවකු අල්ලා ගැනීමටය. ඉදිං ඔහු එය සිදුකර හමාරය. " නෑ. කවුරුත් මාව පරාජය කළේ නැහැ. මං ඈතට ගියා වැඩියි. එච්චරයි ". සන්තියාගෝ 85 වෙනි දවස පිළිබඳව දක්වන්නේ එවන් අදහසක් පමණි.

මහල්ලා සහ මුහුද නම් මේ ලෝක ප්‍රසිද්ධ සන්තියාගෝ අල්ක පේන් නම් මහළු ධීවරයාගේ කතා පුවත එසේ නිමා වන්නේ ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී නොපසු බස්නා උත්සාහයෙන් අධිෂ්ඨානය සපුරන්න යැයි ලොවටම හඬ නගා කියමින් වන අතර අවසාන වශයෙන් එහි වඩාත් ආකර්ෂණීයම වන පාඨයන් ද ඔබට ගෙන ඒමට සිතුණි.

" මිනිසෙකුට ජයග්‍රහණය ඉතාමත් බරට දැනෙනවා ඇතැයි අන්තිමට මහල්ලා තේරුම් ගත්තේය. එය ඉතාමත් වගකීම් සහිත වූව ද, බැරෑරුම් වූද දෙයකි. නමුත්, පරාජය තුළින් සිත සැහැල්ලුවට පත් වෙයි. එය සිතට අපමණ පහසුවකි. ගතත්, සිතත් දැන් නිවී සැනසිල්ලේ එකඟතාවකට පත්ව සිටී ".

" ජීවිතේ හැටි ඔහොම තමයි. කරදර වෙච්ච තරමට අත්දැකීම් ලැබෙනවානේ ".

Latest