Skip to content

මැයි...

කුඩා කාලෙ මැයි රැලිය සම්භන්ධයෙන් තිබුනෙ හරි ලස්සන අත්දැකීමක්.  අපි ජීවත් වුනේ කොළඹ නුවර පාර කිට්ටුවම නිසා නුවර ඉඳන් කොළඹට යන ලංගම බස් වලට අත වනන්න පුළුවන් දවසක් තමයි මැයි පලවෙනිද කියන්නෙ. උදේම පාර අයිනට යන්නෙ බස් පෙරහැර බලන්න හිතාගෙන ... ඒ බස්වල පිරිල තෙරපිලා යන මිනිස්සු විනෝද චාරිකාවක් යනව කියල එදා හිතුවෙ සිංදු කියාගෙන අත වනාගෙන යන හැටි දැකපු නිසයි.

එක වරක් හෝ දෙපාරක් ඔය කියන බස් වල හිටපු අය ටොපී කීපයක් විසිකරපු නිසා ඒ මිනිස්සු ගැන තිබුනෙ ලොකු පැහැදීමක්. රැලිය ඉවර වෙලා ආපහු නුවර දිසාවට යන බස් බලන්න රෑ තිස්සෙ ඇහැරගෙන ඉන්න එකත් විනෝදයක් ඒ කාලෙ. කාලෙ ගතවෙනවත් එක්කම තේරුම් ගන්නෙ මැයි පලවෙනිද කියන්නෙ “දේශපාලන පක්ශ දිනය” විදිහට.

විශ්ව විද්‍යාලයට ඇතුල් වුනු මුල් කාලෙ හිතුවෙම මැයි පලවෙනිදා කියන්නෙ මාක්ස්ගෙ හරි ලෙනින්ගෙ හරි උපන්දිනය කියල. හරි විදිහට නම් මේ කියන දවස කම්කරුවන්ට නිවාඩු දවසක් වෙන්න ඕනෙ තමන්ගෙ ගෙදර මිනිස්සු එක්ක.. යාළු මිත්‍රයො එක්ක නිවාඩු පාඩුවේ ගත කරන්න.

නමුත් මේ අයට වෙන්නෙ බස් වලට ගාල්වෙලා කොළඹ ඇවිත් මහා ලොකු වේදිකාවක දේශපාලකයන් කියන සුරංගනා කතා වලට හූ මිටි තියන්නත්.... ඒ කතා ඉවර වෙන හැම වෙලාවකම උගුර ලේ රහ වෙනකල් ජයවේවා කියල කෑ ගහන්නත්... අත් රිදෙනකල් අප්පුඩි තලන්නත් විතරයි.

පසු කාලෙක දැනගන්න ලැබෙනව මේ කොළඹ යන "දේශයේ කම්කරුවන්ට" ගල් බාගයයි බත් පැකට් එකයි ඊට අමතරව රුපියල් සීයකුයි ලැබෙනව කියල. ගල් බාගෙ කාල වුනත් වැඩ කරන ජනතාව බොහොම සන්තෝසෙන් කොළඹ යනව තමන්ගෙ දිනය සමරන්න.

මේ කතා කරන්නෙ 1980 -1995 වගේ කාලය ගැන නිසා අපේ මිත්‍රයන් කලබල විය යුතු නෑ. ඇත්තටම මොකද්ද මේ කම්කරු දිනය... ඇයි මේක මැයි පලවෙනිදට යෙදෙන්නෙ.

අහන්න අකමැති වුනත්  මැයි පලවෙනිදා කම්කරු දිනය ආරම්භ වෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයෙන් හෙවත් ඇමරිකාවෙන්.

මුල්ම ඇමරිකානු  පදිංචි කරුවන්ගේ ඉතිහාසය අවුරුදු 15,000 ක් තරම් ඈතකට දිව ගියත් නවීන ලෝකය පිලිගන්නා ඇමරිකානු ඉතිහාසය ඇරඹෙන්නෙ 1607 තරම් මෑත කාලෙක. බ්‍රිතාන්‍ය... ස්පාඥ්ඥ .. ප්‍රංශ වැනි විවිධ රාජ්‍යයන්ගේ කොලනි ගනනාවක එකතුවක් වූ උතුරු ඇමරිකාව අවුරුදු ගානක් තිස්සෙ එකිනෙකා එක්ක සටන් කරනව තමන්ට අයිති නැති බිමක අයිතිය වෙනුවෙන්.

සිවිල් යුද්ධ ගනනාවකට පස්සෙ ... අධිරාජ්‍යවාදීන්ගෙන් මිදිල ජනපද එකට එකතුවෙලා ඇමරිකා එක්සත් ජනපද බිහිවෙන්නෙ 1789- 1849 වගේ මෑත කාල‍යකදියි. 1886 කියන්නෙත් අළුත බිහිවූ ඇමරිකා එක්සත් ජනපදයේ තවත් අළුත් වසරක්.

ඒ අය තවම ඉන්නෙ තමන් කවුද... වැඩ කරන මිනිස්සු කවුද... මොනවද අපේ අයිතීන් වගේ ප්‍රශ්ණ වලට උත්තර හොයමින්.

මේ කියන අවුරුද්දෙ මැයි මාසෙ හතරවෙනිදා චිකාගෝ නගරයේදී ඇමරිකානු කම්කරුවො සාමකාමී රැලියක් පවත්වනව.. එහෙමත් නැතිනම් ස්ට්‍රයික් එකක් කරනව දවසට පැය අටක උපරිම සේවා කාලයක් ලබා දෙන්න කියල.

මේ වැඩවර්ජනය සිද්ධ වෙන්නෙ මැක් කෝර්මික් කියන කර්මාන්තශාලාවෙ සේවකයන් මූලික කරගෙනයි. (McCormick Harvesting Machine Company - Chicago).  මොකද මේ කියන කාලෙදි  දවසට පැය දහය දොලහ වැඩ කිරීම සාමාන්‍ය දෙයක්.

මේ රැලිය අතරතුර පොලීසිය උත්සාහ කරද්දි කම්කරුවන්ව විසුරුවන්න…  කම්කරුවො අතර හිටපු කෙනෙක් පොලීසිය දිහාට ඩයිනමයිට් බෝම්බයක් විසි කරනව.

ප්‍රථිඵලය වෙන්නෙ පොලිස් නිළධාරීන් හත් දෙනෙක් මිය යාමත් තවත් විසි ගනනකට තුවාල සිදුවීමත් .. සාමකාමී රැලිය ලේ වැගිරීමක්.. සටනක් බවට පරිවර්තනය වීමයි.

වැරදිකරුවන් හොයන පරීක්ශණ දියත් වෙනව ... නඩු ඇහෙනව ... අන්තිමේදී කම්කරුවන් හත් දෙනෙකුට මරණ දඬුවමත් තවත් එක් අයෙක්ට අවුරුදු පහලවක සිර දඬුවමකුත් පැනවෙන්නෙ බෝම්බ ප්‍රහාර සිද්ධිය මුල් කරගෙන.

මින් එක් කෙනෙක් සිර මැදිරිය ඇතුලෙදි සිය දිවි හානි කරගන්නව. තවත් දෙන්නෙක්ගෙ දඬුවම් ලිහිල් කෙරෙනව දිවි ඇති තෙක් සිර දඬුවම් විදිහට.

කම්කරුවන් හතර දෙනෙක්ව එල්ලා මරනව.

මේ සිද්ධිය ප්‍රසිද්ධ වෙනව හේ මාර්කට් සිද්ධිය විදිහට. (Haymarket affair ).

මෙන්න මේ සිද්ධිය සැමරීමට ඇමරිකානු කම්කරුවන් දවසක් යොදාගන්නව කම්කරුවන්ගෙ දවස විදිහට.

මෙතනින් එහාට... ඒ කියන්නෙ අතීතයට තව ටිකක් එබිකම් කරද්දි අපිට තවත් සිද්ධියක් අහන්න ලැබෙනව ඕස්ට්‍රේලියාවෙන්.

මේ සිදුවීම අහන්න ලැබෙන්න 1856 අවුරුද්දෙ අප්‍රියෙල් මාසෙ අන්තිමට වෙන්න ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ථයෙන්.   ඒ පලාතේ ඉන්න බාස් උන්නැහැල... කම්කරුවො එකතුවෙලා තමන්ගෙ හාම්පුතාලට කියනව දවසට පැය දහය දොලහ වැඩ කරන්න අමාරුයි අපිට දවසට පැය අටක වැඩ කරන කාලයක් ලබා දෙන්න කියල.

මේ සිද්ධිය තමයි ඇමරිකානු කම්කරු සංගම් පාවිච්චි කරන්නෙ කම්කරු අයිතීන් වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන්න.  සටන් කරන්න.

(පසුකාලීනව ඇමරිකානුවන් සැප්තැම්බර් මාසයේ පලමු වැඩ කරන දිනය නිදහස් හෙවත් නිවාඩු දිනයක් විදිහට නම් කරනව)

ඊ ලඟට අපි අහන ප්‍රශ්ණය තමයි මොකද මේ හැම සිද්ධියක්ම අප්‍රේල් මාසෙ අන්තිමට .. එහෙමත් නැත්තං මැයි මාසෙ මුලට යෙදෙන්නෙ කියල.ඒකට උත්තර හොයන්න යුරෝපා මධ්‍යතන යුගයෙනුත් ඈතට යන්න සිද්ධ වෙනව.

උතුරු යුරෝපයේ සීත කාලෙ හරි දරුණුයි.   මාර්තු විසි එකෙන් සීත කාලෙ නිල වශයෙන් අවසන් වුනත් මේ සීතලෙන් හෙවත් සීතල යක්ශයාගෙන් නිදහස් වෙන්න නම් මැයි මාසෙ මුල වෙනකල් බලන් ඉන්න සිද්ධ වෙනව.

පැරනි යුරෝපීයයන් සීතලෙන් නිදහස් වීම හෙවත් නිදහස් දවස විදිහට සලකන්නෙ මැයි මාසෙ පලවෙනිද.  බොහොමයක් ගම් පලාත් වල තවමත් වසන්තයේ උත්සවය හෙවත් සීතල යක්ශයාගෙන් නිදහස් වීමේ උත්සව මැයි පලවෙනිදාට පැවැත්වෙනවා. හිසේ මල් පැලඳගත් කාන්තාවන් ගිනි ගොඩ වටා නටන්නෙ ... වයලීන් සංගීතය... බීර වයින් එක්ක නිදහසේ ප්‍රීතිය උතුරල යද්දියි.ඒ අනුව බලද්දි පැරනි යුරෝපීයයන්ට මැයි පලවෙනිදා කියන්නෙ නිදහස් වීමේ දවස හෙවත් නිවාඩු දවසක්.

අදටත් යුරෝපීය ජාතීන් මැයි පලවෙනිදට සුදෝ සුදු ලිලී මල් පොකුරක් ( Lilly of The Valley)  තමන්ගෙ ලඟම හිතවතුන්ට දෙන්නෙ මෙන්න මේ නිදහසේ දවස සමරන්නයි.

1889 අවුරුද්දෙ ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වෙනව කම්කරුවන්ගේ ජාත්‍යන්තර සම්මේලනය.  (International Workers Congresses of Paris, 1889). ( ඒ කාලය වෙද්දි බ්‍රිතාන්‍ය... ප්‍රංශ රාජ්‍යයන් තමන්ගේ යටත් විජිත කම්කරුවන් පැරීසියට එක්කගෙන ආවද වගේ ප්‍රශ්ණ අහන්න හොඳ නෑ...  මොකද ඒ අය ජාත්‍යන්තර සමුළුවක් පවත්වන නිසා). මේ අවුරුද්ද  දවස තවත් ආකාරයකට ප්‍රංශයට වැදගත් වෙන්නෙ ප්‍රංශ විප්ලවය සිද්ධ වෙලා වසර සීයක් ගතවෙන නිසයි.

මෙන්න මේ සමුළුවේදී තමයි දවසකට පැය අටක් වැඩ කිරීමේ නීතිය සම්මත කරගන්නෙ.

ඒ අතරතුරම ඇමරිකානු කම්කරු සංවිධානය යෝජනා කරනව මැයි මාසයේ පලමු වැඩ කරන දවස හෙවත්.. පලමු සතියේ දවස කම්කරුවන්ගේ දවස ලෙස පත්කර ගත යුතුයි කියල.

කතෝලික පල්ලියත් මේ  අදහසට  බොහොම පක්ශ පාතීයි. හේතුව වැඩ කරන ජනතාවගේ හෙවත් කම්කරුවන්ගේ ශුද්ධවරයා ලෙස ඒ අය සලකන්නෙ ශාන්ත ජෝශප් හෙවත් ජේසුස්ගේ භාරකාර පියා.

එතුමාව සමරන දවසත් යෙදෙන්නෙ මැයි පලමුවනදාට.    (හෙරෝද්ගෙන් ගැලවෙන්නෙ යුදෙව් දේශය අතෑරල ඊජිප්තුවට පලා යන ජෝශප් හා පවුල සම්භන්ධව.. මැයි දිනය හෙවත්  මේ ඩේ (May Day) යොදාගන්න ආකාරයත් මීට සම්භන්ධ බව ඉතිහාසය දන්න අපේ මිත්‍රයන්ට මතක ඇති)

කාලයක් තිස්සෙ නිල නොවන මට්ටමින් පැවත්වුනු ශාන්ත ජෝශප් තුමාගේ දිනය 1915 අවුරුද්දෙ ඉඳන් නිවාඩු දිනයක් විදිහට කතෝලික පල්ලිය විසින් ප්‍රකාශයට පත් කරනව.

කම්කරුවන්ට මුල් තැන දෙන සෝවියට් රුසියාව බිහි වීමත් එක්ක ඇමරිකානුවන් යෝජනා කරපු මැයි පලවෙනි දිනය බොහොම ඉහලින් සෝවියට් රුසියාවත්... ඊසාන යුරෝපීය රටවලුත් පිලි ගන්නව.

නරක කෙනෙක් වුනත් හොඳ අදහසක් ඉදිරිපත් කලොත් පිලිගන්න එක මහත්මා ගතියක්නෙ.

සමහර උතුරු ඇමරිකානු ප්‍රාන්ථ කම්කරුවන් සමරන්න සැප්තැම්බර් මාසය යොදාගත්තත් කම්කරුවන්ගේ දවස හෙවත් වැඩ කරන දවස මැයි පලවෙනිදා බවට ලෝකය පුරාම පිලිගන්නව.

දේශපාලකයන් විසින් පීඩාවට පත්වෙන ජනතාව එකතුවෙලා තමන්ගෙ විරෝධය... කෝපය හා කනගාටුව පලකරන්න මැයි පලමු වෙනිදා යොදා ගැනීමේ වරදක් දකින්න අමාරුයි.

නමුත් පාලනය කරන පක්ශයම... පාලනය කරන නායකයන්ම එකතුවෙලා පවත්වන මැයි රැලි දැක්කම හිනාවෙන්නෙ කොහොමද කියල හිතා ගන්න අමාරුයි.

ඉතිහාසය රසවත් වෙන්නෙ එතන ආඩම්බරයක් හෝ මවාපෑමක් නැති තාක් පමණයි.

ඇයි අපි ඉතිහාසය කතා කල යුත්තෙ.

හේතුව බොරුව ... වංචාව හා රැවටීම මගින් ලියන ඉතිහාසයේ අපි හැමෝම රූකඩ බවට පත්වෙන නිසයි.

සැබෑ ඉතිහාසය කතා නොකලොත් මැයි පලවෙනිදා යනු වීරවංස විමල්ගේ උපන් දිනයයි.. එය ලෝකයට හඳුන්වා දුන්නෙ  අපි යැයි කීමට පිරිසක් බිහිවෙනව නොඅනුමානයි.

ඒක හරියට අර බුදුන් උපන් දේශය ලංකාව කියල බෙරිහන්දෙන ජනී ජනයාගේ කතාංදරයට සමානයි.

වැටුපක් නැතුව ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන්... වහල් සේවය... සුදුසුකම් වලට ගැලපෙන රැකියා නොලැබීම... හාම්පුතුන්ගෙන් වෙන හිංසනය හා ලිංගික හිංසනය..

ශ්‍රමය සූරාකෑම... ඥාතීන්ට හිත මිතුරන්ට තණතුරු දීම... අර්ථ සාධක මුදල් , විශ්‍රාම වැටුප් නොලැබීම... වැනි දහසක් මාතෘකා කතා කල යුතු මැයි දිනය දේශපාලන දිනයක් බවට පත්වීම තවත් එක වෙසක් දවසක්.. හෝ තවත් එක නත්තලක්.. පමනක් බව වටහා ගැනීම අපහසු නෑ.

රටවල් ගොඩනැගෙන්නෙ වැඩ කරන .. මහන්සි වෙන මිනිස්සුන්ගෙන්...  නමුත් වේදිකාවල බෙරිහන් දෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ මහන්සියෙන්... බදු සල්ලි වලින් ජීවත් වෙන වැඩකට නැති පාලකන් වීම ඛේදවාචකයක්.

ඉසුරු මුණියේ පෙම් යුවල කැටයම නෙලපු වඩුවා තවමත් ඉළුක් පැලේ ඉන්දැද්දි... ඒ වගේ  මිනිස්සුන්ගෙ මළගම් වලට අරලිය ගහ මන්දිරේ හෝ සිරිකොතේ සුදු කොඩියක් වත් නැගෙන්නෙ නැති බව අපි අහන්නෙ අද ඊයෙ ඉඳන් නෙවේ.

Malcolm Sang

Latest