Skip to content

පිළිකා රෝගීන්ට සුවයක් වෙන මහරගම "සුව අරණ" - සියලු සේවා නොමිලේ

පිළිකා රෝගීන් පිළිබඳ සමාජය තුල නිරන්තයෙන්ම කතිකාවන් සිදු වනුයේ මේ වනවිට මෙරටද බොහෝ පිරිසක් එම රෝගයට ගොදුරු වී ඇති පසුබිමකය. අයහපත් සෞඛ්‍ය පුරුදු , අයහපත් ජීවන රටා මෙන්ම මේ වනවිටත් මාධ්‍ය මගින්ද හෙළිදරව් කරන කූට වෙළදුන්ගේ මඩිය තරකර ගැනීමේ විවිධ කූට උපක්‍රම හේතුවෙන් ජනතාවට පරිභෝජනයට ලැබෙන විශ සහිත ආහාර වර්ගයන් නිසාවෙන් දිනෙන් දින මේ අවාසනාවන්ත රෝගයට ගොදුරුවන මෙරට ජනතාවද වැඩි වීමක් මිස අඩු වීමක් නම් අසන්නට නැත.

මේ මාරාන්තික පිළිකා රෝගයට ගොදුරු වනුයේ වැඩිහිටියන් පමණක්මද නොව. කිසිදු වයස් බේදයකින් තොරව කුඩා දරුවන්ද රෝගයේ ගොදුරු බවට පත්වීම ඇත්තෙන්ම ඉතා කණගාටුදායකය.

පිළිකා රෝගීන් සඳහා ප්‍රථිකාර සිදු කරනු ලබන මෙරට ප්‍රධානම රාජ්‍යය රෝහල වනුයේ මහරගම අපේක්ෂා රෝහලය. දහස් ගණනින් රෝගීහූ එහිදී දිනකට ප්‍රථිකාර ලබති. රෝගීන් වෙනුවෙන් සිදුකරනු ලබන විවිධ වූ ප්‍රථිකාරයන් හේතුවෙන් ඒවායේ ඇති තීව්‍ර භාවය නිසාම ඇතැම් රෝගීන්ගේ හිස කෙස් ගැලවී යාමද සිදුවේ. මෙය බොහෝ රෝගීන් හට මානසික වශයෙන් ගෙන දෙනුයේ මහත් පීඩාවකි.

සුව අරණ මධ්‍යස්ථානය 

මෙවන්වූ රෝගීන්ගේ පිහිටට එන එක් ස්ථානයක්, ආයතනයක් ලෙස “සුව අරණ” හැදින්විය හැකිය. මහරගම අපේක්ෂා රොහලේ සිට මීටර 50ක් පමණ මෙපිටින් පිහිටා ඇති සුව අරණ මෙරට දරුවන් වෙනුවෙන් තැනුනු පළමු ළමා රෝග නිවාරණ මධ්‍යස්ථානය ද වෙයි. සම්පූර්ණයෙන්ම නොමිලේ සේවා සපයන සමාජ සත්කාරක සේවාවක් වන මෙහි මූලික අඩිතාලම දමා ඇත්තේද පිළිකාවකට ගොදුරු වූ කාන්තාවක් සිහිවනු පිණිසය. ඉන්දිරා ජයසූරිය නම් වූ ඇය මෙරට හිටපු කථානයකවරයෙකු වන කරූ ජයසූරියගේ එක් දියණියකි. අවාසනාවන්ත ලෙස පිළිකා රෝගයෙන් ඇය මීට වසර කිහිපයකට පෙර ජීවිතයෙන් සමුගන්නේ දිරිය දියණියක් , කාන්තාවක් මෙන්ම ආදර්ශමත් කාන්තාවක් ලෙස ලොවට පණිවිඩයන් රාශියක්ම ඉතිරි කරමිනි. ඉන් ඉක්බිති ඇය සිහිවනු පිනිස ගොඩ නැගෙන ඉන්දිරා පිළිකා භාරය , උතුරු ඇමෙරිකාවේ බටහිර කළාපයේ ශ්‍රී ලංකා වෛද්‍යය සංගමයේ අධාර උපකාරද  තවත් දේශීය ධානපතියන් මෙන්ම පරිත්‍යාගශීලීන් බොහොමයකගේ ආධාර උපකාරයන්ද  ඇතිව පසු කලක ඉදිකරණු ලබන මේ “සුව අරණ” දැවැන්ත ගොඩනැගිල්ල මේ වසරේදී මෙරට පිළිකා රෝගයට ගොදුරුවූ කුඩා දරුවන් වෙනුවෙන්  විවෘත වේ. වත්මනේ එහි ප්‍රධානත්වය ගෙන කටයුතු කරනුයේද කරූ ජයසූරිය මහතාගේ වැඩිමහල් දියණිය වන වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක ය.

සුව අරණ මගින් සපයන සේවා අතර අපේක්ෂා රෝහල වෙත පැමිණෙන රෝගීන්ට ඔවුන්ගේ ගමන් වියදම් ලබා දීම, ඖෂධ ලබා ගැණීම වෙනුවෙන් මූල්‍යමය උපකාර ලබාදීම , මෙන්ම රෝහල වෙත දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන කුඩා දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා තෙක් නොමිලේ නවාතැන් පහසුකම් සපයා දීම ඇතුලු සේවාවන් රැසක් ලබා දෙයි. ඒ අතරම ලබා දෙනු ලබන තවත් ප්‍රධානතම සේවවක් වනුයේ පිළිකා රෝගය සඳහා කරනු ලබන ප්‍රථිකාර  හේතුවෙන් රෝගීන්ට අහිමිවන ස්වභාවික හිසකෙස් වෙනුවට ඔවුනට නව හිසකෙස් රඳවනයක් (විග්) ලබා දීමය. මේ සේවාවද රෝගීන් සඳහා ලබා දෙනුයේ මුලුමනින්ම නොමිලේය.

රෝගියෙකු වෙත විග් පළඳවමින්

‌හිසකෙස් රඳවනයන් (විග්) නිර්මාණය කිරීම සම්පූර්ණයෙන්ම සුව අරණ තුලදීම සිදු කරනු ලබයි. එය සිදු කරනු ලබනුයේ අදියර කිහිපයකිනි. පළමුව දහස් ගනන් හිසකෙස් පරිත්‍යාග ශීලීන් විසින් ආයතනය වෙත තැපැල් මඟින් මෙන්ම විවිධ ක්‍රම්වේදයන් ඔස්සේ යොමු කරනු ලබන හිස කෙස් වල බර කිරීම සිදු කර ඒවා පිරිසිදු කිරීම සිදු කරනු ලබයි. එමෙන්ම එම හිසකෙස් ආයතනය වෙත යොමු කරන ලද පිරිස් වල වාර්තාවක් ද සුව අරණ විසින් පවත්වාගෙන යනු ලබයි.

එසේ බර කිරා පිරිසිදු කරගත් හිසකෙස් ඉන් පසු යොමු කෙරෙනුයේ තවත් අංශයකටය . එහිදී ඔවුන් විසින් යම් පටියක ආධාරයෙන් හිසකෙස් එක්කර මසාගනු ලබයි. අනතුරුව එම හිසකෙස් සහිත පටියද නැවත තවත් අංශයක් මඟින් හිස පලඳනාවක් ලෙස සකස් කිරීම සිදු කරනු ලබයි. මේ ආකාරයෙන් නිමවූ හිසකෙස් රඳවනය යළි තවත් අංශයකදී අඩුපාඩු සකස්කර පිරිසිදු කිරීමකට ලක්වෙයි. එසේ නිම කෙරුණු හිසකෙස් රඳවනයේ අවසන් අදියර වනුයේ එය විශභීජහරණය කිරීමය. ඒ රෝගී පුද්ගලයාට ලබාදෙනු ලබන හිසකෙස් රඳවනය කිසිදු අයුරකින් අඩුපාඩුවකින් සහ සැකයකින් තොරව මෙන්ම විශභීජයකින්ද තොරව රෝගියාට පරිහරණය කරනු හැකිවීම පිණිසය.

විග් විශභීජහරණය කිරීම 

‌මේ හිසකෙස් රඳවනයන් පිළිබඳව තවදුරටත් විස්තර කරමින් එම අංශයේ දුෂී වනිගසූරිය මෙසේ පවසා සිටියේය. “ ඇත්තෙන්ම අපි එක කණ්ඩායමක් හැටියට බොහෝ සතුටු වෙනවා මෙවැනි සේවාවක් අපේ රටේ පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදීමට හැකිවීම ගැන. අපිට දිනකට විශාල වශයෙන් හිසකෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙනවා. එසේ පරිත්‍යාග කරන හිසකෙස් ලබා ගැණීමට පෙර අපි කරුණු කිහිපයක් කෙරෙහිම අවධානය යොමු කරනවා. එම හිසකෙස් නිරෝගී හිසකෙස් වියයුතුයි. උකුණන් ලේඬීන් වැනි සතුන් නොමැති දිග අවම ලෙස අඟල් 15ක්ව තිබෙන හිස කෙස් පමණයි අපි ලබාගන්නේ. නමුත් මේ මොහොතේදී අපි පරිත්‍යාගශීලීන් ගෙන් ඉල්ලා සිටිනවා දැන්ම හිසකෙස් පරිත්‍යාග කිරීමට යොමු නොවන ලෙසට. අප සතුව මේ වනවිට විශාල හිසකෙස් ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එම නිසා තාවකාලිකව අපි හිසකෙස් ලබා ගැණීම නවතා දමා තිබෙනවා.

මේ කොටසේ සේවය කරනු ලබන පිරිසත් හරිම විශේෂයි. ඔවුන්ගේ පවුල් වල කවුරුන් හෝ අවාසනාවන්ත ලෙස පිළිකා රෝගයට ගොදුරුව  දිවියට සමුදීලා තියෙනව. ඒ නිසා මේ අයටත් රෝගයේ දරුණු බව , දුක හොඳින්ම තේරෙනවා. අපි මේ හිසකෙස් රඳවනය රෝගියාට ලබා දෙන්නේ මුලුමනින්ම නොමිලේ. ඒත් මෙය නිම කිරීමට යම් පිරිවැයක් දැරිය යුතු වෙනවා. ඒ නිසා ඕනෑම පරිත්‍යාගශීලී අයෙකුට පුලුවන් අපට මේ සඳහා උපකාර කරන්න.

අපි දැනටමත් රෝහල් දහයකට පමණ මෙම කෘතිම හිසකෙස් රඳවනයන් නොමිලේ ලබා දෙනවා. අපේක්ෂා රෝහල , KDU රෝහල , මහනුවර මහ රෝහල ,කුරුණෑගල රෝහල , අනුරාධපුර රෝහල වැනි රෝහල් ඒ අතර වෙනවා. ඕනෑම පිළිකා රෝගියෙකුට අපෙන් මෙය නොමිලේ ලබා ගන්න පුලුවන්.”

සුව අරණ තුල ඇති කාඹරයක් 

‌එසේම “සුව අරණ” මඟින් සිදුවන සමස්ථ සේවාවම පිළිබඳව අපට අදහස් දැක්වූ එහි සම්භන්ධීකරණ නිලධාරිනී හෂිනි රාජපක්ෂ මෙසේ පැවසීය. “ 2016 නොවැම්බර් මස 27 වන දින ඉන්දිරා ජයසූරිය කියන දිරිය මව, ශ්‍රේෂ්ඨ කාන්තාව මියයන්නේ පියයුරු පිළිකාවක් හේතුවෙන්. ඇය වෙනුවෙන් තමයි මෙම ආයතනය නිර්මාණය වෙන්නේ.  සුව අරණ සම්පූර්ණයෙන්ම වෙන්වෙලා තියෙන්නේ පිළිකා රෝගීන් වෙනුවෙන්මයි. විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන්. බොහෝ පවුල් වල පිළිකා රෝගයට යම් අයෙකු ගොදුරු වුනහම ඔවුන්ගේ මුළු ධණයම ඒ වෙනුවෙන් වැය වෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා. ඒ අයට අපි යම් තරමින් හෝ පිහිට වෙනවා. කුඩා රෝගී දරුවන් සහිත පිරිස බොහෝ දුර බැහැර සිට අපේක්ෂා රෝහලට ප්‍රථිකාර ලබා ගන්න පැමිණෙනවා. ඔවුන්ට දින ගණනක් ප්‍රතිකාර කලයුතු වෙනවා. එවිට ඒඅයට කුඩා දරුවන් තනිව රෝහලේ දමා යන්නත් බෑ. එවගේම දිනපත දුර බැහැර ගිහින් එන්නත් බැහැ. එවන් අයට රෝගී දරුවා සමඟ එම ප්‍රතිකාර අවසන් වනතුරු මෙහි නවතින්න පුලුවන්. දරුවාට පමණක් නෙවෙයි දෙමාපියන්ටත් පුලුවන් නැවතී සිටින්න. කුඩා දරුවන් රෝගී වුනහම ඔවුන්ගේ මනස කඩා වැටෙනවා. ඒ නිසා දරුවන්ට අපි මෙහි විශේශයෙන්ම කුඩා ක්‍රීඩා කාඹරයක්ද සකසා තියෙනවා. එවගේම එළිමහන් මිදුලක්. මේ සියල්ල ඔවුන්ට යම් හෝ අස්වැසිල්ලක් ගෙනදේවි. ඒ විතරක් නෙවෙයි රෝහල තුල නොමැති ඖෂධ අපි රෝගීන් වෙනුවෙන් මිලදී ගෙන ලබා දෙනවා . එවගේම පියයුරු පිළිකා මගින් පියයුරු ඉවත් කරන රෝගීන් වෙනුවෙන් පියුරු ආදේශකද නොමිලේ ලබා දෙනවා සුව අරණ මගින්. අඩු ආදායම් රෝගී පවුල් වෙනුවෙන් වියළි සලාක ලබා දෙනවා.”

සුවිශාල වූ සේවාවන් රැසක් මෙරට පිළිකා රෝගීන් වෙනුවෙන් ලබා දෙනුයේ මුලුමනින්ම නොමිලේය. අප සමාජයේ බොහෝ පරිත්‍යාගශීලීන් ඇත. මේ එවන්වූ පරිත්‍යාගශීලීන්ට ලැබී ඇති තවත් අවස්ථාවකි. කෘතිම හිසකෙස රඳවනයන් සැකසීම වෙනුවෙන් මෙන්ම මෙහිවූ තවත් බොහෝ සත්කාරක සේවාවන් සඳහා ඔබටත් දායක විය හැකිය. ඒ සඳහා වූ වැඩි විස්තර සඳහා සුව අරණ 0112 363 211 අංකයෙන් ඇමතිය හැකිය.

නිර්මාණය කරන ලද විග්

Latest