Skip to content

මැණික් ප්‍රතිඅපනයන බද්ධ ඉවතට. !

මැණික් ප්‍රතිඅපනයනය සදහා ආනයනය කිරීමේදී පනවා තිබූ 2.5% ක සමාජ ආරක්ෂණ බද්ධ ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ පරිසරය,ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කර ඇත.

පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී 07 වැනිදා රැස්වී ඇත.එම කමිටුවේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

චීන සහ තායිලන්ත ජාතිකයින් විසින් මුදල් යොදා ගනිමින් අයථා ලෙස මෙරට මැණික් ගල් ඉතා අඩු වටිනාකමට ක්ෂේත්‍රයේදීම මිලදී ගැනීම හේතුවෙන් රජයට අපේක්ෂිත බදු මුදල් නොලැබෙන බව මෙහිදී අනාවරණය වී  ඇත. මේ නිසා රජයට නිසි පරිදි බදු මුදල් ගෙවමින් සාධාරණ ලෙස සිය ව්‍යාපාරය පවත්වාගෙන යන මැණික් ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් සිදුවන බවද මෙහිදී සාකච්ඡා වී ඇත.

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරික සංගම් නියෝජිතයින්,මැණික් සහ ස්වර්ණාභරණ අ‍ධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන්, මුදල් හා ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම සහ පරිසර) මෙම කමිටුවට කැඳවා තිබුණි.

ශ්‍රී ලංකාවේ මැණික් සඳහා ‍විදේශ රටවල් අතර පැවැති කීර්තිමත් නාමය නැවත ඇති කර ගැනීම සඳහා කටයුතු කිරීම සහ මැණික් අපනයනයෙන් සහ ප්‍රතිඅපනයනයෙන් මෙරටට විදේශ විනිමය ලබා ගැනීමට කටයුතු කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අපේක්ෂාව බව කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මැණික් ප්‍රතිඅපනයන සඳහා ආනයනය කිරීමේදී පනවා ඇති 2.5% ක සමාජ ආරක්ෂණ බද්දෙන් එම ක්‍රියාවලිය නිදහස් කිරීමට දැනටමත් සංශෝධිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දුන් අතර ඉදිරියේදී එම සහනය ව්‍යාපාරිකයින්ටද ලබාදීමට නියමිත බව මෙහිදී අනාවරණය විය. මැණික් ප්‍රතිඅපනයනය සඳහා කුරියර් මඟින් ආනයනය කිරීමේදී මෙලෙස 2.5% ක බදු මුදලක් ගෙවීමට සිදුවුවද ඇමරිකානු ඩොලර් 200ක් පමණක් ගෙවීමෙන් ඉතා විශාල වටිනාකමකින් යුත් මැණික් තොගයක් වුවද අතෙහි ගෙන ඒමට (Hand luggage) හැකි බව ද මෙහිදී අනාවරණය වී ඇත. මැණික් ව්‍යාපාරිකයින්ගෙන් මැණික් අපනයනයේදී ලාභය මත අයකරනු ලබන 30%ක ආදායම් බද්ද පිරිවැටුම මත 2.5% වශයෙන් අයකිරීමට ඇති හැකියාව සලකා බලන ලෙසද ‍ව්‍යාපාරිකයින් ‍මෙහිදී ඉල්ලා සිටියහ.

රු.500,000/= වඩා වැඩි මුදල් ගණුදෙණු සිදු කිරීමේදී රජය විසින් අයකරණු ලබන බදු මුදල්වලින් බේරීම සඳහා බොහෝ විට ක්ෂේත්‍රයේ සිටින මැණික් ව්‍යාපාරිකයින් මෙවැනි වැඩි වටිනාකමකින් යුතු මුදල් ගණු - දෙණු අත්පිට මුදලට සිදුකිරීමට පෙළඹී ඇති අතර, මේ නිසා සාධාරණ ලෙස බැංකු හරහා මුදල් ගණු - දෙණු කර නිසි ලෙස බදු මුදල් රජයට ගෙවන ව්‍යාපාරිකයින්ට ක්ෂේත්‍රයෙන් ඉවත්ව යාමට සිදුව තිබේ. විදේශීය ජාතිකයින් මෙරට මැණික් කර්මාන්තය ආක්‍රමණය කිරීම නියාමනය කිරීමට දැනට ප්‍රතිපත්ති සම්පාදනය කරන බව මැණික් සහ ස්වර්ණාභරණ ‍අධිකාරියේ සභාපතිවරයා කාරක සභාව හමුවේ පැවසු අතර අදාල ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවය කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

රත්‍රං ආනයනය කිරීමට අපනයනකරුවන්ගේ පෙර වසරවල අපනයන ඉපැයීම් හෝ විදේශ මුදල් ඉපැයීම්වලින් 30%ක් පදනම් කර ගෙන බලපත්‍රයක් මඟින් බදු අයකිරීමෙන් තොරව අවසර ලබාදෙන ලෙස ස්වර්ණාභාරණ ව්‍යාපාරිකයින් ඉල්ලා සිටි අතර,එහිදී  මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දුන්නේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී සිටින ව්‍යාපාරිකයින් සඳහා අවශ්‍යවන රත්‍රං අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයනයට බලපත්‍රයක් ලබාගෙන ආනයනය කිරීමේ බාධාවක් දැනට නොමැති අතර කැරට් 24 රත්‍රං ආභරණ ආනයනය කිරීම පමණක් නවතා ඇති බවය.

මෙහිදී කාරක සභාවට සහභාගී වු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පවසා සිටියේ “TIEP Scheme” නම් ක්‍රමවේදය යටතේ (අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයනය) ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය වන රත්‍රං අමුද්‍රව්‍යයක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වීම මඟින් බදු අයකිරීමෙන් තොරව මෙරටට ගෙන්වා ගත හැකි බවය. නමුත් මෙම ක්‍රියාවලියේ පවතින සංකීර්ණභාවය හේතුවෙන් ව්‍යාපාරිකයින් ඒ සඳහා සිය අකමැත්ත ප්‍රකාශ කරන ලදී.

සිය ව්‍යාපාර කටයුතු පහසුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ බැංකුවක් චීනයේ පිහිටුවීම හෝ චීනයේ බැංකුවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සම්බන්ධව මැණික් ව්‍යාපාරිකයින්ගෙන් ලද යෝජනාව කෙරෙහි ද කාරක සභාව සිය අවධානය යොමු කර ඇත.  මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් පැමිණි නිලධාරියා පැවසුවේ 2018 වර්ෂයේ සිට “Bank of China” ලංකාවේ ක්‍රියාත්මක වන අතර ලංකාවේ බැංකුවක් චීනයේ පිහිටුවීම දැනට ලංකාව මුහුණපා සිටින ආර්ථික අර්බුදය හමුවේ අපහසු බවයි.

මෙම රැස්වීම‍ට  කාරක සභා සාමාජිකයන් වන අකිල එල්ලාවල සහ  වරුණ ලියනගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද  සහභාගී වී සිටියේය.

Latest