Skip to content

මානව සමාජයේ බිඳවැටීම පිළිබඳ අනාවැකි පළ කෙරූ පරිගණක වැඩසටහන ; World3

1704 වර්ශයේදී සර් අයිසැක් නිව්ටන් ගණනය කිරීම් මාලාවක් (Series Of Calculations) භාවිතා කරලා 2060 වර්ශයේදී සිදුවන ලෝක විනාශයක් ගැන අනාවැකියක් පළ කරනවා. වසර 300කට විතර පස්සේ ඒ කියන්නේ 1973 වර්ශයේදී මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) පරිගණයක් විසින් 2040 වර්ශයේදී සිදුවන මිනිස් ලෝක විනාශයක් ගැන අනාවැකියක් පළ කරනවා. මේ පිළිබඳ පළමු සලකුණු 2020 වර්ශයේදී අපට දැක ගන්න පුලුවන් කියලා මේ අනාවැකියේ සඳහන් වෙනවා. දැනටමත් අනාවැකියේ තියෙන ගොඩක් දේවල් සත්‍ය වෙලා තියෙන නිසා සමහර විද්‍යාඥයන් මේ ගැන බරපතල විදිහට හිතන්න පටන් අරගෙන තියෙනවා.

මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය

සර් අයිසැක් නිව්ටන්ගේ අනාවැකිය පළ කරලා ගත වුන අවුරුදු 300 ඇතුළත ලෝක විනාශය ගැන අනාවැකි පළ කරපු අනාවැකිකරුවන් බොහෝ දෙනෙක් ගැන විස්තර අපට හොයා ගන්න පුලුවන්. ආගමික මිනිසුන්, අනාගතවක්තෘවරුන්, ආධ්‍යාත්මික ගුරුවරුන් සහ වංචාකරුවන් වගේ අය තමයි සාමාන්‍යයෙන් ලෝක විනාශය ගැන අනාවැකි පළ කරලා තියෙන්නේ. හැබැයි පළමු වරට පරිගණක විද්‍යාඥයින් පිරිසක් ලෝක විනාශය ගැන අනාවැකියක් පළ කරන්නේ 1970 වර්ශයේදී. ඔවුන් මේ අනාවැකිය ගොඩ නගලා තියෙන්නේ පුරාණ ග්‍රන්ථ, ශුද්ධ ලියවිලි සහ භාවනාව වගේ දේවල් පදනම් කරගෙන නෙමෙයි.

සර් අයිසැක් නිව්ටන්

"ඔවුන් දත්ත ආකෘති (Data Models) පදනම් කරගෙන තමයි මේ අනාවැකිය ගොඩ නගලා තියෙන්නේ."

ලෝක විනාශය ගැන සර් අයිසැක් නිව්ටන්ගේ නිගමනයට සමාන නිගමනයකට එන්න මේ පරිගණක විද්‍යාඥයින්ට පුලුවන් වෙනවා. හැබැයි ඔවුන් මෙතනදි ලෝක විනාශය කියන එකෙන් අදහස් කරන්නේ ග්‍රහලෝකයේ අවසානයවත් ග්‍රහලෝකයේ ජීවත් වෙන ජීවීන්ගේ අවසානයවත් නෙමෙයි. මේ අනාවැකියෙන් කියවෙන්නේ මිනිස් සමාජයේ බිඳවැටීම ගැන. මේ අනාවැකිය ගොඩ නගන්න යොදා ගත්ත දත්ත ආකෘතිය නිර්මාණය කරලා තියෙන්නේ සිස්ටම් ඩයිනමික්ස් (System Dynamics) වල පියා ලෙස සලකන ජේ රයිට් ෆොරෙස්ටර්ගේ අධ්‍යනය ක්‍රමය පදනම් කරගෙන.

ජේ රයිට් ෆොරෙස්ටර්ගේ

සිස්ටම් ඩයිනමික්ස් කියන්නේ සංකීර්ණ ගැටළු තේරුම් ගැනීමට ගණිතමය ආකෘතිකරණ තාක්ෂණය (Mathematical Modeling Technique) යොදා ගන්නා ක්‍රමවේදයක්. අපි ජීවත් වෙන ලෝකයේ හැම දෙයක්ම වගේ සිස්ටම් එකක්. මේ සිස්ටම් එකේ තියෙන කොටස් එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කියන විදිහ තමයි සිස්ටම් ඩයිනමික්ස් කියලා කියන්නේ.

උදාහරණයක් කියලා දෙන්නද?

මුව ගහනය (Deer Population) කියන්නේ සිස්ටම් එකක්. මුව ගහනය පිළිබඳ සිස්ටම් ඩයිනමික්ස් යොදා ගෙන ගණනය කරන ප්‍රතිඵල හඳුන්වන්නේ ස්ටොක් (Stock) කියන නමින්. වසරකදී සිදුවන මුව උපත් සංඛ්‍යාව පිළිබඳ දත්ත කියන්නේ මුව ගහනය පිළිබඳ ගණනය කිරීම සිදු කරන්න එකතු කරන සිස්ටම් ඩයිනමික් එකක්. වසරකදී සිදුවන මුව මරණ කියන්නෙත් මුව ගහනය පිළිබඳ ගණනය කිරීම සිදු කරන්න එකතු කරන තවත් සිස්ටම් ඩයිනමික් එකක්. මේක මෙතනින් නතර වෙන්නේ නැහැ. උපත් අනුපාතය, මරණ අනුපාතය, මුව දඩයම් අනුපාතය, අනතුරු වලදී සිදුවන මරණ, දේශගුණික බලපෑම වගේ සිස්ටම් ඩයිනමික්ස් ගොඩක් මේ ගණනය කිරීමට එකතු කරනවා. ඔයා එකතු කරන දත්ත සහ ඔයා යොදා ගන්න ආකෘතියේ නිවැරදිතාව මත සාර්ථක ගණනය කිරීමක් ඔයාට ලබා ගන්න පුලුවන්.

ඉතින් MIT පර්යේෂකයින් සිස්ටම් ඩයිනමික්ස් ක්‍රමය යොදා ගෙන ගෝලීය තිරසාරත්වය අනුකරණය කරන්න (Simulate) පරිගණක වැඩසටහනක් නිර්මාණය කරනවා. ඔවුන් මේ පරිගණක වැඩසටහන හැඳින්වූයේ "World3" කියන නමින්. පෘථිවියේ වර්ධනයට බොහෝ දුරට බලපාන සාධක පහක් විදිහට සලකන ජනගහනය වැඩිවීම, කෘෂි නිෂ්පාදනය, පුනර්ජනනීය නොවන සම්පත් ක්ෂය වීම, කාර්මික නිමැවුම් සහ පරිසර දූෂණයේ උත්පාදනය කියන සාධක පහ යොදා ගෙන තමයි ඔවුන් මේ වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ. මේ පර්යේෂණයට සහභාගි වුන විද්‍යාඥයින් බලාපොරොත්තු වුනේ දීප්තිමත් අනාගතයක් ගැන පෙන්වන සතුටුදායක ප්‍රතිඵලයක්.

"හැබැයි ඒ වෙනුවට ඔවුන්ට දකින්න හම්බවුනේ ලෝකයේ අවසානය පිළිබඳ පෙන්වපු අනාවැකියක්."

මේ ඩූම්ස්ඩේ ආකෘතිය නිර්මාණය කරපු MIT පර්යේෂකයින්ට අනුග්‍රහය දීලා තියෙන්නේ රෝම සමාජය (Club Of Rome) කියන නමින් හඳුන්වපු ප්‍රභූ කණ්ඩායමක්. 1968 වර්ශයේදී මෝර්ගෙන්තාව් සංගමය (Morgenthau Group) විසින් පවත්වපු රහසිගත රැස්වීමක් අතරතුර තමයි මේ කණ්ඩායමේ ආරම්භය සිදුවෙන්නේ. අලවෙට්ටි සංස්ථාව (Alavetti Corporation) සහ ෆියට් සමාගම (Fiat) සමඟ සමීප සබඳතා පවත්වපු ඔරේලියෝ පාචේ කියන කර්මාන්ත හිමියා තමයි මේ රහසිගත රැස්වීම සංවිධානය කරන්නේ. පාචේ කියන්නේ ලෝක සාමය සහ සමෘද්ධිය ලබා ගන්න පුලුවන් නිව් වර්ල්ඩ් ඕර්ඩර් (New World Order) එකක් හරහා කියලා විශ්වාස කරපු කෙනෙක්. ප්‍රධාන කර්මාන්ත හිමියන් 75ක්, ආර්ථික විද්‍යාඥයින් පිරිසක් සහ රටවල් 25 කින් තෝරා ගත්ත විද්‍යාඥයින් පිරිසක් එකතු වෙලා තමයි රෝම සමාජය පිහිටවාගෙන තියෙන්නේ.

ඔරේලියෝ පාචේ

300 ක කමිටුවක් විසින් මෙහෙයවපු රවුන්ඩ් ටේබල් (Round Table) කියන රහසිගත සංවිධානයේ ආයුධ සම්බන්ධව විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කටයුතු සිදු කෙරුවේ බිල්ඩර්බර්ග් කණ්ඩායම (Bilderberg Group) සහ රෝම සමාජය. රවුන්ඩ් ටේබල් කියන්නේ නිව් වර්ල්ඩ් ඕර්ඩර් එකක් වෙනුවෙන් කැපවුණ රහසිගත සංවිධානයක්. රෝම සමාජය සහ ත්‍රෛපාර්ශ්වික කොමිසම (Trilateral Commission) වගේ කණ්ඩායම් සඳහා ප්‍රතිපත්ති නිර්මාණය කෙරුවේ මෙන්න මේ කියන රවුන්ඩ් ටේබල් සංවිධානය. රහසිගත සංවිධාන කියන්නේ රැබිට් හෝල් (Rabbit Hole) එකක්. හාරන්න හාරන්න ඇතුළට යනවා. ඉවරයක් නැහැ. ඒ නිසා අපි වෙන දවසක රවුන්ඩ් ටේබල් රහසිගත සංවිධානය ගැන කතා කරමු.

රෝම සමාජය කියන්නේ දේශපාලන, සමාජ සහ ආර්ථික ප්‍රශ්න පිළිබඳ පර්යේෂණ කරපු කණ්ඩායමක්. නේටෝ සංවිධානයේ ආර්ථික සහ මිලිටරි ප්‍රතිපත්ති වලට ඍජු බලපැමක් මේ කණ්ඩායම එල්ල කරනවා කියලා විශ්වාස කරනවා. රෝම සමාජය ප්‍රකාශ කරන විදිහට මානව වර්ගයාගේ පැවැත්ම රඳා පවතින්නේ සමස්ථ ලෝකයම පාලනය කරන එක ආණ්ඩුවක් මත. තවත් විදිහට කියනවා නම් නිව් වර්ල්ඩ් ඕර්ඩර් එකක් මත. ඔවුන් විශ්වාස කරන විදිහට මානව වර්ගයාට තියෙන ලොකුම තර්ජනය වෙන්නේ අධික ජනගහනය.

1973 වර්ශයේදී රෝම සමාජය විසින් ප්‍රකාශයට පත් කරපු වර්ධනයේ සීමාවන් (Limits To Growth) කියන පොතේ MIT පර්යේෂණ වාර්තාවේ ප්‍රතිඵල සඳහන් කරලා තියෙනවා. ජීවයට බලපෑමක් එල්ල කරන සාධක වල ගුණාත්මක භාවය පහත වැටීම නිසා අවසානයේදී සමාජයේ බිඳවැටීම සිදු වෙනවා කියලා මේ පරිගණක වැඩසටහනේ ප්‍රතිඵල වල පෙන්නුම් කරනවා. මේ පොතට අනුව 2020 වර්ශයේදී මේ පිළිබඳ පළමු සලකුණු දැක ගන්න පුලුවන්. අපි අකමැත්තෙන් හරි එකඟ වෙන්න ඕනේ දෙයක් තමයි 2020 වර්ශය කියන්නේ මානව සමාජයට විශාල බලපෑමක් එල්ල කරපු වර්ශයක් කියන එක.

ඉතින් මේ පරීක්ෂණය අපිට විශ්වාස කරන්න පුලුවන්ද?

මම හිතන්නේ නැහැ...

දීර්ඝ කාලයක් පුරාවටම දුම්කොළ සමාගම් විද්‍යාඥයින්ට මුදල් ගෙවලා බොරු තොරතුරු සමාජයට පතුරවලා තියෙනවා. දුම් පානය කරන්නන් සඳහා ලබා දුන් ෆ්‍රෑන්ක් ප්‍රකාශය (Frank Statment) කියන්නේ මේ සම්බන්ධව තියෙන වඩාත්ම ප්‍රසිද්ධම සිදුවීම. දුම්පානය පෙනහළු පිළිකා ඇති කරනවා කියන්න කිසිම සාක්ෂියක් නැහැ කියලා විද්‍යාඥයින් හොයා ගෙන තියෙනවා කියලා මේ ප්‍රකාශයේ සඳහන් වෙනවා. 1954 වර්ශයේදී පුවත්පත් 400 කට වඩා වැඩි ගණනක මේ ප්‍රකාශය පළ වෙලා තියෙනවා.

සීනි නිසා මිනිසුන් මහත් වෙන්නේ නැහැ වගේම සීනි නිසා හදවත් රෝග හැදෙන්නේ නැහැ කියලා වාර්තාවක් ප්‍රකාශ කරන්න කියලා 1960 ගණන්වලදී සීනි සමාගම් හාවඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින්ට මුදල් ගෙවලා තියෙනවා.

සියලුම විද්‍යාත්මක පර්යේෂණවලින් 70% කට විතර අරමුදල් සපයන්නේ පෞද්ගලික සමාගම්. ඉතින් ගොඩක් වෙලාවට විද්‍යාඥයින්ට මේ සමාගම් වල න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන්න සිදු වෙනවා.

ඉතින් අපිට මේවා විශ්වාස කරන්න පුලුවන්ද?

බහුතරයක් බැහැ...

හැබැයි අපිට පුලුවන් මේ පරීක්ෂණ වලට අනුග්‍රහය දක්වලා තියෙන්නේ කවුද කියන එක ගැන හොයලා බලන්න...

"අන්න එතකොට අපිට පුලුවන් මේ පරීක්ෂණ පිටිපස්සේ සැඟවිලා තියෙන න්‍යාය පත්‍ර ගැන හෙළිදරව් කර ගන්න."

Latest