Skip to content

මාලි ද යෝකර් කින්ග්

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලාභියා වන මුත්තයියා මුරලිදරන්ගේ ටෙස්ට් කඩුළු 800 පාදක කොටගෙන විජෙයි සේදුපතිගේ රංගනයෙන් ඉන්දියාවේ නිෂ්පාදනය වීමට තිබූ චිත්‍රපටය නොයෙකුත් හේතු සාධක හේතුවෙන් දිගින් දිගටම කල්‍ යන වාතාවරණයක් තුළ නැවතත් එවැනිම චිත්‍රපටයක් සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට වාර්තා වී තිබේ.

එනම් ශ්‍රී ලංකාව බිහිකළ විශේෂයෙන් විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වන ලසිත් මාලිංගගේ ජීවිත කතාව පාදකොටගනිමින් ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ලයිකා ප්‍රඩක්ෂන් ආයතනය විසින් මේ වන විට තීරණය කර ඇත.

ලයිකා ප්‍රඩක්ෂන් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ද වැඩකටයුතු ආරම්භ කිරීමේ මුල් පියවර වශයෙන් දැවැන්ත චිත්‍රපට හතක් නිර්මාණය කිරීමට තීරණය කර ඇති අතර ඉන් එකක් වන්නේ ලසිත් මාලිංගගේ ජීවිත කතාව රැගත් " මාලි ද යෝකර් කින්ග් " ( Mali the yoker king ) නම් චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වශයෙන් තෝරාගෙන ඇත්තේ ප්‍රියන්ත කොළඹගේ මහතා වන බවට ද තොරතුරු වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් තව දුරටත් චිත්‍රපට රසිකයින්, විචාරකයින් සහ විශේෂයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අදහස් දක්වමින් කියා සිටින්නේ ලයිකා ප්‍රඩක්ෂන් ශ්‍රී ලංකාවේ වැඩකටයුතු ආරම්භ කිරීමට පටන් ගැනීම ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට ඉතා හොඳ තත්වයක් වන බව සහ එහිදී විශේෂයෙන් ලසිත් මාලිංගගේ ජීවිත කතාව රැගත් නිර්මාණය වීමට නියමිත චිත්‍රපටය රසිකයින් හට අපූර්ව අත්දැකීමක් වනු ඇති බවත් ය.

Latest