Skip to content

LRC වැඩ ගැන විගනන නිලධාරීන් නොසතුට පළ කරයි

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තමන්ට අයත් ඉඩම් වලට අදාල අක්කර ගන්න,ඒවා පිහිටි ප්‍රදේශ නොදන්නවා මෙන්ම එම ඉඩම් වෙනත් ආයතන වලට පැවරීමේදී ලබා ගත යුතු මුදල් නිසි පරිදි ලබා ගෙන නොමැති බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ 1972 වසරේදීය. එවකට අගමැති ධූරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් නිකුත් කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මගින් අක්කර 50 ට වැඩි පුද්ගලික ඉඩම් රජයට අත්පත් කර ගෙන ඉඩම් ප්‍රතිස්සංස්කරණ කොමිෂන් සභාව ස්ථාපනය කර ඇත.ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රථම සභාපතිනිය වන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.

රජයට අත්පත් කර ගෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවරා ඇති ඉඩම් අක්කර ගනන,ඒ ඒ ඉඩම් පිහිටි ප්‍රදේශ,අත් කර ගෙන ඇත්තේ කාගෙන්ද යන වග සහ දැනට වෙනත් පාර්ශවයකට භුක්තිය බාර දී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදන සහ විස්තර ඇතුළත් ලේඛණයක් පවත්වා ගෙන ගොස් නැත.එමෙන්ම එම ඉඩම් සම්බන්ධයෙන් උපයෝගී ලිපි ලේඛණ මගින්ද පැහැදිලි කිරීමට අපොහොසත් වී ඇත.එමෙන්ම මේ වන විට තමන් සතු ඉඩම් වල වටිනාකම ලෙස රුපියල් 676,169,345 ක් ලෙස දක්වා තිබුණද,එම වටිනාකමේ නිවැරදිතාවය සම්බන්ධයෙන් සෑහීමකට පත් වීමට නොහැක.

1975 වර්ෂය වන විට පවරා ගෙන තිබූ ඉඩම් වල මුළු වටිනාකම රුපියල් 890,959,772 ක් වූ බවත්,එම වර්ෂයෙන් අනුව අවස්ථා කීපයකදී තම ආයතනය සතුව තිබූ ඉඩම් වෙනත් ආයතන වලට පවරා දී ඇති බැවින් 2006 වර්ෂය වන විට අයිතියේ ඇති ඉඩම් වල වටිනාකම රුපියල් 679,169,3245 ක් බව විගනන නිලධාරීන්ට පිළිතුරු සපයා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සදහන් කර ඇත.

නමුත් ඉඩම් වල වටිනාකම වර්ෂයෙන් වර්ෂයට යාවාත්කාලීන වන බැවින් 2006 වර්ෂයේ පැවති වටිනාකම මේ වන තුරු ඉදිරියට ගෙන යාම ප්‍රමාණවත් නොවන බව විගනන නිලධාරීන් තම වාර්තවේ සදහන් කර ඇත.

මේ අතර,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්ව තිබූ ඉඩම් වෙනත් ආයතන වලට පැවරීම හේතුවෙන් අයවිය යුතු රුපියල් 2,127, 271,837 ක මුදලක් වසර 30 ක කාලයක සිටද,රුපියල් 8,354,409 ක මුදලක් වසර 10 ක කාලයක සිටද මෙතෙක් අයකර ගෙන නොමැති බවද විගනන නිලධාරීන් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.

තම ආයතනයට අයත්ව තිබියදී පවරා දී ඇති ඉඩම් වල වටිනාකම ගෙවන ලෙස අවස්ථා කීපයකදී අදාල ආයතන වලට දන්වා ඇතත් මේ වන තුරු මුදල් ලැබී නොමැති බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විගනන නිලධාරීන් වෙත පිළිතුරු සපයමින් සදහන් කර ඇත.හදබිම අධිකාරිය,ශ්‍රී ලංකා වැවිලි සංස්ථාව,ජනතා වතු සංවර්ධන මණ්ඩලය,ඉඩම් අමාත්‍යාංශය යන ආයතන තමන්ගේ මුල්‍ය ප්‍රකාශන වල පවරා ගෙන ඇති ඉඩම් සදහා ගෙවීමට ඇති බවක් සටහන් නොකරණ බවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සදහන් කර ඇත.එමෙන්ම දැනට ක්‍රියාකාරීත්වයේ නොමැති විවිධ සේවා සමුපාකාර සමිති සමාගම්,මැතිවරණ ඉඩම් ප්‍රතිසංස්කරණ සමුපාකාර සමිති සමාගම සහ ජාතික කඩදාසි සමාගම යන ආයතන වලින්ද පවරා දී ඇති ඉඩම් වෙනුවෙන් මුදල් ලැබීමට ඇති බවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් විගනන නිලධාරීන් වෙත නිදහසට කරුණු ලෙස දන්වා ඇත.

Latest