Skip to content

වීදි සුනඛයින් වෙනුවෙන් ආදරය කරන බව්බව්..!!

සුරතල් සතුන් කෙරේ ආදරය දැක්වීමට කිසිවෙකුටත්  වයස් සීමාවක් නොමැත. එනිසාම බාල මහලු මේ කවුරුත් එකා මෙන් සුරතල් සතුන් වෙනුවෙන් ආදරය දායාව පාන්නේය. බල්ලාට සහ පුසාට සුරතල් සතුන් අතර  ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන්නේ ඔවුන් නිරන්තරයෙන්ම අප හා ගැටෙමින් අප සමගම ජීවත් වන නිසාමය. එහෙත් ඇතැම් අවස්ථාවන්හීදී එම සතුන්ටද සිදුවන ආඩතේට්ටම් සමාජයේ පුවත් මවන්නේය. පසුගිය කාලයේ කාන්තාවක් පැදවූ කාරයකට කුඩා බලු පැටවුන් දෙදෙනකු යටවී මියයාමද මහත් කතිකාචාක් ඇතිකල  එවන් එක් සිදුවීමකි.

2015 වසරේදී මුහුණු පොතේ "බව්බව් සත්ව සුභසාධනය"  නමින් පිටුවක් ගිහාන් දිනුෂ්ක විසින් ආරම්භ කරනුයේ මහමඟ හිමිකරුවන් නොමැති අසරණ සුනඛයන්ගේ සුභසාධනය වෙනුවෙන්ම ක්‍රියාත්මක වීම අරමුණු කර ගනිමින්ය. මෙවන් කටයුත්තක් කිසිවිටෙකත් තනිව සිදු කල නොහැක්කක් නිසාම මධුර  ඉන්ද්‍රජිත් , තිලිණි පෙරේරා , සහ ගෝමස්  යන තරුණ තරුණියන්ද ගිහාන්ගේ සහයට එක්වනුයේ ඔවුන් තුලද ඇති සත්ව දායාව සහ කරුණාව හේතුවෙනි.

ඔවුන් සියල්ලන්ම ව්‍යාපාරිකයින් සහ විවිධ ස්ථාන වල රැකියාවන් වල නිරත වෙන්නන් වෙති.   මහමඟ සිදුවන අනතුරු වලින් පීඩා විඳින  සුනඛයන් පමණක්ම නොව නිවෙස් වලද විවිධ රෝගාබාධ හේතුවෙන් පීඩා විඳින සුනඛයන්ටද සරණක් වන මෙම සමාජ සුභසාධන ව්‍යාප්‍රතිය මගින් සරණක් අවැසි අනෙක් සතුනටද පිහිටවීම හැකි අයුරින් සිදු කෙරේ.

2015 වසරේදී එසේ ඇරඹි බව්බව් සත්ව සුභසාධන ව්‍යාප්‍රතිය සංවිධායක් ලෙස මෙරට ලියාපදිංචිය ද සිදුකෙරෙනුයේ එහි ක්‍රියාකාරීත්වය සඳහා තවත් අගයක් එකතුකිරීමටත් නෛතික වශයෙන් බලයක්ද සහිතව සුභසාධන කටයුතු සිදු කිරීමේ අභිලාෂයද ඇතිවය.

ඒ අනුව වසර හතරක්ම අසරණ සුනඛයන් වෙනුවෙන් සුභ සාධන කටයුතු සිදුකළ ඔවුන්  2019 වසරේ තවත් යෝධ කර්තව්‍යයක් වෙනුවෙන් මුල පුරා ඇත. එනම් විවිධ මහමඟ අනතුරු නිසා ආබාධිත තත්ත්වයට පත්වූ  මෙන්ම දරුණු රෝගාබාධ හේතුවෙන් නැවත මහ මඟට මුදා හමඟට මුදා හැරිය නොහැකි සුනඛයන් වෙනුවෙන් නේවාසිකාගාරයක් ඉදිකිරීමය. කුරුණෑගල මාස්තොට  ප්‍රදේශයේ අක්කර 2 ක භූමි භාගයක  මේ වන විටත් සත්ත්ව රෝහලක් සහ අභය භූභූමියක් ඔවුන් විසින්  ඉදිකර අවසන්ය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ගයාන් දිනුෂ්ක අරුණ වෙත මෙසේ පැවසීය. "අපි මේ සංවිධානය පටන් ගත්තේ විවිධ අනතුරුවලින් මියයන,  එහෙමත් නැතිනම් රෝගාබාධ වලින්  ජීවිත කාලය පුරාවටම දුක් විඳින වීදි සුනඛයන් වෙනුවෙන් උපකාර කරන්න.  මේ වන විට අපි විසින් සුනඛයන්   සඳහා ප්‍රතිකාර කිරීමේ තවත් මධ්‍යස්ථාන දෙකක් කඩවත සහ කුරුණෑගල ප්‍රදේශවල පවත්වාගෙන යනවා. ඒවා නේවාසික  ප්‍රතිකාර ලබා දෙන ස්ථාන නෙවෙයි. අපේ සත්ව අභයභූමියේ   මේ වෙනකොට නේවාසිකව සුනඛයන් 48ක් ඉන්නවා. අපි මේ සියලු ප්‍රතිකාර , කෑම බීම ලබාදීම සිදු කරන්නේ සතුන් වෙනුවෙන් ආදරය දක්වන පිරිස් අපිට ලබා දෙන සහයෝගයෙන්. ඒ අය ඔවුන්ගේ උපන්දිනයන් දරුවන් ගේ උත්සව වගේ දේවල් වෙනුවෙන් ආධාර කරනවා. අභයභූමියේ ඉන්න සතුන් රැක බලා ගන්න දිනකට රුපියල් 12,000/= පමණ වැයවෙනවා. "

ඉකුත් වසරේ නත්තල් දින මෙම සංවිධානය විසින් තවත් අපූරු දෙයක් සිදු කර තිබිණ. ඒ  ඔවුන්ගේ සත්ව අභයභූමියේ සිටින සුනඛයින් නත්තල් සැරසිලිවලින් හැඩ ගන්වා එම සතුන්ට  විශේෂ සංග්‍රහයක් ද පවත්වා තිබිණ.

"අපි රටේ විවිධ උත්සව වකවානුවල විවිධ වැඩ සටහන් කරනවා. පසුගිය වසරේ නත්තල් දවසේ අපේ කණ්ඩායමටත් යම් උත්තේජනයක් ලබා දීමත් පෙරදැරිව සතුන්වත් සහහාගී කරගෙන සත්ව අභයභූමියේ දී නත්තල් සැමරුවා. එවගේම එදා අපි  කුරුණෑගල ප්‍රදේශයේත්, නුගේගොඩ විජේරාම ප්‍රදේශයේදීත්  වීදි සුනඛයන්, බළලුන් ඇතුළු සතුන්ට දහවල් ආහාරය ලබා දුන්නා. අපි  මේ වැඩේ නම් කලේ "බව්බව් නත්තල් දන්සැල" කියලා. මේ හැම වැඩසටහනක්ම සිදු කරන්න විවිධ අවස්ථාවන් වලදී විවිධ පිරිස් නිරන්තරයෙන්ම අපිට සහය දෙනවා " යැයි ගයාන් පැවසීය.

යම් වීදි සුනඛයෙක් රිය අනතුරකට භාජනය වුවහොත් බව් බව් සත්ව රෝහලක් වෙත් ඔවුන් යොමු කරන්නේ නම් එම සත්වයාට නොමිලේ ප්‍රතිකාර කරනු ලබනවා. මේ වනවිට ඔවුන්ගේ රෝහල් පිහිටා තිබෙන්නේ කඩවත සහ කුරුණෑගල ප්‍රදේශවල.

මේ හැම සේවාවක්ම සිදු කරන්නේ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාර උපකාර මත බවයි ගිහාන් සඳහන් කලේ.ඒ නිසා සතුන්ට ආදරය කරන ඔබටත් පුළුවන් මේ සඳහා දායක වෙන්න.

Latest