Skip to content

ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසය තුළදී නවක කතුවරුන්ගේ සහ ප්‍රවීණ කතුවරුන්ගේ නව ග්‍රන්ථයක් දොරට වැඩීම සාමාන්‍යයෙන් සිදුවන්නක් වන අතර එය ඔබ, මම සියළු දෙනා දන්නා කරුණකි. ඒ අයුරින් 2023 වර්ෂයේ සාහිත්‍ය මාසය තුළදී පාඨක ප්‍රජාවට තිළිණ වූ ඉතාම ආකර්ෂණීය වූ ග්‍රන්ථයක් පිළිබඳවය කලකට පසු ලියන මේ ලිපිය.

යූ ටියුබ් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් සිටින මොහොතකදී මුහුරත් උළෙලක ග්‍රන්ථයක් පිළිබඳව සිදුකරන ලද ඉතා ආකර්ෂණීය පැහැදිලි කිරීමක් අඩංගු වීඩියෝ පඨයක් මා හට නැරඹීමට අවස්ථාව හිමි වූ අතර එම පැහැදිලි කිරීම සිදුකර තිබුණේ අභිෂේකා ප්‍රනාන්දු විසිනි. විශේෂයෙන් ඇයගේ එම අදහස් දැක්වීමෙන් පසුව අදාළ ග්‍රන්ථය, එනම් ආදරය සහ නිදහස්වීම නම් වූ එම ග්‍රන්ථය පරිශීලනය කිරීමට ඕනෑම පාඨකයකු හට කිසියම් කුතුහලයක් ඇතිවනවා යන්න මාගේ පුද්ගලික හැඟීම වන අතර ලිපියට ප්‍රවේශයක් ලබා ගැනීමේ අවශ්‍යතාව සම්පුර්ණකරගනු වස් එයද පහතින් එක් කිරීමට සිත් විය.

ආදරය සහ නිදහස්වීම නම් ග්‍රන්ථය පාඨක ප්‍රජාවට තිළිණ කරණුයේ රසික ජයකොඩි විසිනි. විශේෂයෙන් රසික ජයකොඩිගේ භාවිතාව සහ අදහස් පිළිබඳව සුළු හෝ අවබෝධයක් ඇති අයෙකු දන්නා කරුණක් වන්නේ ඔහු නැගී සිටීමේ ප්‍රහසන ශිල්පියෙකු සේම සමාජය දෙස බලනුයේ පොදු දෘෂ්ටිකෝණයෙන් නොව වෙනස්ම දෘෂ්ටිකෝණයකින් වන බවය. ඔහුට ඇත්තේ වෙනස්ම දෘෂ්ඨියකි. ඔහු සෑම විටම ඔහුගේ අදහස් තුළින් සමාජයට ටොක්කක් ඇනීමට උත්සාහ කරන්නෙකි. ඔහු ටොක්කක් ඇන කියන්නේ සමාජය දෙස මෙන්න මේ ආකාරයටත් බලන්න කියාය. බොහෝ විට ඔහු ඒ කියන ආකාරය නිවැරදි ආකාරය වනබව ද මා හට පුද්ගලිකව සිතේ.

ඉදිං සිය ග්‍රන්ථය ආදරය සහ නිදහස්වීම යනුවෙන් නම්කර තිබීම තුළම ඔහු ඒ බව ප්‍රත්‍යක්ෂකොට ඇතැයි කිව හැක. සමාන්‍යයෙන් ආදරය යන වචනය මුළට ගත් විට ඊට පසුව එන වචනය කුමක්ද යන්න පිළිබඳව අප දන්නේ මෙවන් දෙයකි. ආදරය සහ වෛරය, ආදරය සහ විරහව, ආදරය සහ වෙන්වීම, ආදරය සහ පැරදීම. සාමාන්‍යයෙන් ආදරය යැයි කියූ විට අප දන්නේ  සහ අපට මතක් වන්නේ එවැනි වචන යුගලයන් ය.

නමුත් රසික ජයකොඩි විසින් ආදරය සහ නිදහස්වීම යනුවෙන් සිය ග්‍රන්ථය නම් කිරීම තුළම එය කියවීමටත් පෙර පාඨකයා තුළ වෙනස් මානයක්. කුතුහලයක් ඇතිකර ඇතැයි කීම සාධාරණය. එය ඔහු විසින් සිතාමතා කල දෙයක්දැයි නොදනිමි. නමුත් ග්‍රන්ථයට නමක් ලබාදීම තුළම ඔහු සාර්ථක වී ඇතැයි ඕනෑම පාඨකයකු හට බයෙන් සැකයෙන් තොරව කිව හැක. ආදරය සහ නිදහස් වීම, මොකක් ? ඔව් ආදරයෙන් නිදහස් වෙන්නේ කොහොමද ?

විශේෂයෙන් ශ්‍රී ලංකාව නම් ඉතා වගකීම්සහගත රටක ජීවත්වන අපට ජීවින ගමන ඉදිරියට ගෙන යෑම ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතාම බැරෑරුම් ක්‍රියාවක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. අපට එදිනෙදා ආහාර වේල සපයා ගැනීමට විශාල අරගලයක් ඇත. එම නිසා අප ඒ පිළිබඳව නිතර නිතර කතා කරමු. ජරා ජීර්ණ වූ රටේ දේශපාලනය පිළිබඳව නිතර නිතර කතා කරමු. ආර්ථිකය පිළිබඳව නිතර නිතර කතා කරමු. ඒ අතර ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධය පිළිබඳව ද මේ දිනවලනම් නිතර නිතර කතා කරමු.

එය වරදක් නොවේ. නමුත් ආදරය ගැන කතා කරන්නේ කව් ද?. ආදරය ගැනත් කතා කරන්න ඕන නේද? ඇයි ඒ ? එය ඉතා හොඳ ප්‍රශ්නයකි.

නැගී සිටීමේ ප්‍රහසන කලාවේ රජු වන ජෝර්ජ් කාර්ලින් වරක් මෙසේ කියා ඇත. " අප සඳට සහ පසු පසට පියාසර කළෙමු. නමුත් අපට වීදිය තරණයකොට අපගේ නව අසල්වැසියා හමුවිය නොහැක " ඉදිං කාර්ලින්ගේ මේ අදහස පහත අදහස් හා ගළපා ගැනීම ඔබට බාර කරමින් ඉදිරියට යන්නේ නම්

රටේ ආර්ථිකය, දේශපාලනය, මැතිවරණ, ආදී නොයෙකුත් ක්‍රියාවලි මෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින  යුද්ධය ද අපගේ ජීවිතවලට නොයෙකුත් ආකාරයෙන් බලපාන බව සත්‍යයකි. නමුත් මාගේ පුද්ගලික අදහසනම් රටේ ලෝකයේ නොයෙකුත් සිදුවීම් කුමන ආකාරයෙන් සිදු වුවත් පුද්ගලයකුගේ ජීවිතයට විශේෂයෙන් බලපාන්නේ, නැතිනම් පුද්ගලයකු විනාශ වන්නේ මෙම ආදර‍ය සහ විවාහ ජීවිතය යන සංකල්ප දෙක තුළ ගොඩනැගෙන ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි වීම නිසා වන බවය.

ඉදිං රටේ ලෝකයේ සිදුවන නොයෙකුත් සිදුවීම් පිළිබඳව සිදුවන කතිකාවත ලාංකීය සමාජයේ ප්‍රමාණවත් අයුරින් තිබුණත් ආදරය, විවාහය ආදී සංකල්ප පිළිබඳව කතා කරන්නේ කව්ද? සාමාන්‍යයෙන් කවි සහ ගීත රචකයින් මේ පිළිබඳව සම්භාව්‍ය ලෙස නොයෙක් වෙලාවට කතා කරයි. ඉදිං ඒ හැර කතා කරන්නේ කව්ද?  එම නිසා කාර්ලින් කියූ ආකාරයට ඔව් අප සඳට සහ පසුපසට පියාසර කළ යුතුයි. නමුත් ඊට ප්‍රථම වීදිය තරණය කොට අපගේ නව අසල්වැසියා මුණගැසිය යුතුයි. ඉතිං රසික ජයකොඩි එම අසල්වැසියා මුණගැසී ඇත. එය ඉතා වටින්නේය.

යම් කෙනෙක් හෝ යම් දෙයක් හෝ තමන්ගේ සිතට ගෙන තකන සලකන ගුණයට අප ආදරය යැයි කියමු. නැතිනම් රසික සිය ග්‍රන්ථය තුළ ලබාදෙන නිර්වචනයට අනුව ආදරය යනු මිහිරි හැඟීම් ය. මේ මිහිර හැඟීම් ඔබට මට මෙන්ම සත්ව ප්‍රජාවට ද අතිශයින් පොදුය. ඉදිං රසික සිය ග්‍රන්ථය පුරාවටම සාකච්ඡා කරන්නේ එම ආදරය පිළිබඳව සහ ආදරයේ අස්වැන්න වන විවාහය පිළිබඳවයි.

නමුත් එහි ඇති විශේෂත්වය වන්නේ අප මෙතෙක් කල් ආදරය සහ විවාහය පිළිබඳ සිතා සිටි ෆැන්ටසිගත කාරණා නැවත වටයකින් නැවත වරක් සිය ග්‍රන්ථය තුළින්ද ප්‍රකාශ නොකිරීමය. වටින්නේ එයයි. මෙම මාතෘකා පිළිබඳව සාකච්ඡා කර ඇති  අනෙකුත් මූලාශ්‍ර අතරින් මෙය විශේෂ මූලාශ්‍රයක් වන්නේ ඒ නිසාය. මෙම අදහස තවත් තිවෘ කිරීම සඳහා එයින් එක් ප්‍රකාශයක් උපුටා දක්වමි.

" හුඟ කාලෙකට ඉස්සර ප්‍රේම සම්බන්ධයක් අවසන් වුණාට පස්සෙ මං break up පාටියක් දැම්මා........හරියට උපන්දින සාදයක කරන විදිහටම කේක් එකක් කපලා ". ඉදිං ආදරය සහ නිදහස් වීම නම් ග්‍රන්ථය සුවිශේෂී ග්‍රන්ථයක් යැයි කීමට මෙම උපුටා දැක්වීම වුව ප්‍රමාණවත් නොවන්නේද?.

සාමාන්‍යයෙන් ග්‍රන්ථයක් පාඨක ප්‍රජාවට තිළිණ වීමේදී මෙය පරිවර්තන ග්‍රන්ථයකි. මෙය චරිතාපදානයකි. මෙය කවි පොතකි. මෙය නවකතාවකි. මෙය කෙටි කතා සංග්‍රහයකි ආදී වශයෙන් නම්කළ හැකිය. නමුත් ආදරය සහ නිදහස්වීම නම් ග්‍රන්ථයට ලබා දිය යුතු මේ ආකාරයේ නාමකරණය කුමක්දැයි මා පුද්ගලිකව සිතා බලනවිට තරමක් අසීරු අඩියකට වැටුණි. එසේ වූවත් නැවත නැවත උත්සාහ කළෙමි. එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අපට ආදරය සහ නිදහස්වීම නම් ග්‍රන්ථය හැඳින්විය හැක්කේ මනෝ විද්‍යාව / මනෝ විශ්ලේෂණවාදය සහ දර්ශනය එකට මුසු වූ මේ දෙක අතරම දෝලනය වන ග්‍රන්ථයක් ලෙසය.

අභිෂේකා ප්‍රනාන්දු මුහුරත් උළෙලේ දී ග්‍රන්ථය පිළිබඳව සිදුකරණ ලද කෙටි හැඳින්වීම තුළ සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාව යනු ලීක් වීඩීයෝස්වලින් ට්‍රෙන්ඩින් වන රටකි. එයට තවත් දෙයක් එකතු කරන්නේ නම් ශ්‍රී ලංකාව යනු ආදර සම්බන්ධතා බිඳ වැටීම හේතුවෙන් වස බී සියදිවි නසා ගන්නා සහ එකිනෙකාට ඇසිඩ් ගසා ගන්නා රටක් ද වේ.

සැබවින්ම මෙයට හේතුව කුමක් ද? ආසන්නතම හේතුව වශයෙන් ගත හැක්කේ ලාංකීය සමාජයේ බොහෝ ආදරවන්තයින් සහ විවාහකයින් සැබවින්ම ආදරය යනු කුමක් ද?, විවාහය යනු කුමක් ද? මේවායේ ඇත්තම ඇත්ත තත්වය කුමක් ද? යන්න සම්බන්ධයෙන් නිසි ලෙස අවබෝධකොටගෙන නොතිබීම යැයි කිව හැක. රසික ජයකොඩි සිය ග්‍රන්ථය තුළින් සැබවින්ම ඉලක්ක කරන්නේ මෙම කාරණයයි.

එනම් ඔහු ග්‍රන්ථය තුළ විස්තරකොට දක්වන්නේ ආදරය සහ විවාහය නිසිලෙස තේරුම්ගත යුතු ආකාරයයි. නැතිනම් එහි යතා ස්වාභාවයයි. වෙනත් ආකාරයකට පවසන්නේ නම් ඔහු සිදුකරන්නේ තුවාලයක් වැසෙන්නට ගසා ඇති ප්ලාස්ටරය ඉවත්කොට තුවාලය පෙන්වීමයි. නැතිනම් කේක් කෑල්ලක් වටා ඇති අයිසින් ඉවත්කොට එහි ඇත්ත තත්වය පහදා දීමයි. මෙය පරිශීලනය කරන ඕනෑම පාඨකයකු හට මෙතෙක් අප සිතා සිටි ෆැන්ටසිගත කාරණා සිය දෙපා පාමුල ක්ෂණයකින් කඩා වැටෙනු නොඅනුමානය. සැබවින්ම එය අමුතු ආකාරයේ ආශ්වාදයකි.

ඉදිං රසිකගේ උත්සාහය  එක් අතකින් සමාජ මෙහෙවරක් වන්නේ එම නිසාය. අපට උණක් හෙම්බිරිස්සාවක් සැදුණු විටකදී එය සුව කර ගැනීම සඳහා ඕනෑතරම් ඖෂධ ඇත. පිළිකාවට වූව ද යම් යම් ප්‍රතිකාර මේ වන විට ඇත. නමුත් ආදරය හේතුවෙන් සිත ලෙඩ වුණු විටකදී, අප ගත යුත්තේ කුමන ඖෂධය ද, මාගේ පුද්ගලික අත්දැකීමනම් ඒ සඳහා මේ දක්වා ගත හැකි හොඳම ඖෂධයකට තිබුණේ අපගේ සම්භාව්‍ය ගීත සාහිත්‍යයයි. නමුත් මේ දියුණුවන ලෝකයේ ශ්‍රී ලංකාවේ අපට කලාතුරකින් අදර ලෙඩ බොහොමයකට දැං ඉතා හොඳ ඖෂධයක් ඇත. එය නම් රසික ජයකොඩිගේ ආදරය සහ නිදහස් වීමය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ " ජාතිපි දුක්කා, ජරාපි දුක්කා, ව්‍යාධිපි දුක්කා, අප්‍රේ සම්ප්‍රයෝගී දුක්කෝ, ප්‍රියේ විප්‍රයෝගී දුක්කෝ......" ආදී වශයෙන් පවසන අනේකවිධ වූ දුක සඳහා මේ වන විට විද්‍යාව මඟින් යම් යම් පිළියම් සොයාගෙන ඇති බව අප පිළිගත යුතු සත්‍යයකි. එකී අනේකවිධ දුක අපට විද්‍යාවෙන් නැත්තටම නැතිකොට දැමිය නොහැක. නමුත් යම්තාක් දුරකට පාලනය කළ හැක.

ඉදිං ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහතා නොයෙක් අවස්ථාවලදී පවසන කාරණයක් වන්නේ මෙම දුක්කයන් අතරින් ප්‍රියයන්ගෙන් වෙන්වීම සහ අප්‍රියයන් සමග එක්වීම නිසා හටගන්නා දුකට විද්‍යාව මගින් කිසිවක් කළ නොහැකි බවත් ඒ මොහොතේ එම දුක සංසිඳවීම සඳහා මැදිහත්වන්නේ කලා කාරයින් සහ සාහිත්‍යකරුවන් වන බවය. සැබවින්ම එය සත්‍යයකි. ඒ ආකාරයට බලනවිට රසික ජයකොඩි සිදුකර ඇත්තේ එම මැදිහත්වීමය.  අප බොහෝවිට ඔහු කලාකාරයෙක් ලෙස නම් නොකරමු. නමුත් රසික ඉතා හොඳ කලාකාරයෙක් ය. කලාකරුවකුගේ දෘෂ්ඨියක් ඔහුට හිමිය යනුවෙන් කීවාට ද වරදක් නැත.

ග්‍රන්ථය පිළිබඳ සාකච්ඡා කරන මෙම ලිපිය තුළ එය පරිශීලනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පාඨක ප්‍රජාවට අසධාරණයක් නොකිරීමට සහ එහි වාණිජමය වටිනාකමට අසාධාරණයක් නොකිරීමට වගබලාගත යුතු යැයි සිතේ. මෙය ඉතා ප්‍රවේශමෙන් සිදුකළ යුත්තකි. නමුත් සඳහන් කළ යුතු කාරණා මේ මොහොතේ සඳහන් කළ ද යුතුමය.

බොහෝවිට ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය සුභාවිත ගීත සාහිත්‍යය සම්බන්ධයෙන් පවතින පොදු විවේචනයක් වන්නේ " අපට ඒ සිංදු තේරෙන්නේ නෑ. ඒක නිසා ඒවා කොච්චර හොඳට ලියල තිබුණත් අපිට තේරෙන්නේ නෑනේ " යැයි කීමය. එක් අතකට එය සාධාරණ වන්නට පුළුවන. කෙතරම් රසවත් පදවැල් පෙලක් වූවද ඕනෑම අයෙකු හට එය තේරුම් ගැනීමට නොහැකිනම් එම පදවැල කෙතරම් රසවත් වූවත්, අර්ථවත් වූවත් කිසිදු ප්‍රයෝජනයක් නැත.

නමුත් එයට විරුද්ධව තවත් අයෙකුට කිව හැක්කේ, නැත. එසේ කීමට අපට අයිතියක් නැත. මන්ද මේ ගීත සියල්ල ලියා ඇත්තේ සිංහලෙන් බැවින් සිංහලයින්ට සිංහල තේරෙන්නේ නෑ යැයි කියන්නේ කෙසේ ද? යැයි යමෙකුට කිව හැක. මෙය කිසිදා සමතයකට පත්වන සංවාදයක් නොවේ. නමුත් පවසන ඕනෑම දෙයක් හුදී ජනයාගේ සිට සමාජයේ ඕනෑම තරාතිරමක පුද්ගලයකු හට පහසුවෙන් තේරුම්ගත හැකිනම් ඉතාමත් හොඳය.

රසිකගේ ග්‍රන්ථය මෙතැනදී ද වඩාත් සුවිශේෂී වේ. එනම් ඔහු ග්‍රන්ථය තුළ භාවිත කරණුයේ ඉතාමත් සරල භාෂාවක් වන අතර එය ඕනෑම පාඨකයකු හට සර්ව සාධාරණය. විශේෂයෙන් වත්මන් සංස්කෘතියට අනුව භාෂාව යන සංස්කෘතික කාරණය ද හසුරුවා ඇති බව කිව හැක. එසේම පාඨකයා හට පැණනැගිය හැකි ගැටළු මොනවාදැයි යන්න පිළිබඳව ද ඔහු කල් ඇතිව හඳුනා ගනිමින් එම ගැටළු සඳහා ද පිළිතුරු සැපයීමට තරම් සූක්ෂම වී ඇත.

කෙසේ නමුත් රසික ජයකොඩි යනු රසට ලිවිය හැකි සහ මැවෙන්න ලිවිය හැකි රසවක් ප්‍රකාශයනයක් ඇති පුද්ගලයකු වන බව අපි දනිමු. ඒ බව ඔහු නැවත වරක් ඔප්පුකොට ඇත.

" ජීවිතයේ කුමක් හෝ මොහොතක, මොහොතක කුමක් හෝ, සමීප සම්බන්ධතාවයක් බෙදාගත් අය, කිසියම් මිහිරි හැඟීම් සමුදායක්  අපේ ජීවිතයට එකතුකොට තිබෙනවා.

මොන තත්වයන් යටතේ  ඔවුන් අපගෙන් වෙන් වුණත් ඒ  මිහිරි හැඟීම්වල ශේෂය අපේ ඇතුලාන්තය පෝෂණය කරනවා. ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වූවත් නැතත් ඔවුන්ට ගෞරවණීය අවසානයක් ලබා දීම අපට අයිති යුතුකමක් බව මම හිතනවා "

සැබවින්ම රසික එසේ ග්‍රන්ථය තුළ පවසන තැනට ඔබට මට හෝ ඕනෑම අයෙකුට පැමිණිය හැකිනම්, එලෙස සිතිය හැකිනම් ඔබ, මම සහ මේ ලෝකයේ ඕනෑම අයෙකු ඉතා දියුණු මිනිසෙකු යැයි අවිවාදයෙන්ම නම් කළ හැකිය. එමෙන්ම අවසාන වශයෙන් ආදරයේදී දියුණු මිනිසෙකු වීමටනම්, ආදරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් සහ ඔබ මේ වන විට ආදරයෙන් පරාජය වී ඇතිනම්, ඔබ ආදර සුවය විඳිමින් සිටින්නේ නම් ඔබ කියවිය යුතුම පොත

ආදරය සහ නිදහස්වීම

සැබවින්ම ඒ තුළ අඩංගු වන්නේ රසික කලක් තිස්සේ සමාජය හමුවේ තැබූ කතිකාවන් රැසක සම්පිණ්ඩනයකි. නමුත් ඔහු එසේ සමාජ මාධ්‍යයේ සමාජයට දැක් වූ එක් අදහසක් ග්‍රන්ථය තුළ සනිටුහන් කිරීමට ඔහුට අමතක වී ඇතැයි මා හට සිතේ. සමහරවිට ඔහු එය නොගැළපෙනවායැයි සිතා ග්‍රන්ථයට එකතු නොකළා වන්න පුළුවන. නැත. එම අදහස ද ග්‍රන්ථයේ අන්තර්ගත කාරණා සමග ඉතාම හොඳින් ගැළපේ. ඉදිං රසික ඔබට එසේ අමතක වූ ඒ ඔබ කී කාරණාව මෙම ලිපියේ අවසානයට දක්වමි.

" තමන්ගෙ වටේ ඉන්න අයගේ බලාපොරොත්තු කඩන්න පුළුවන් වුණා නම්, ඔබට පුළුවන් වෙනව ඔබේ හීන හඹාගෙන යන්න. එවිට ඒ සමග සිදුවන හානිය කුමක් ද?

හිත කැඩුනොත් ඒ අයට දුකයි නේද?. ඔව් දුකයි තමයි. ඒ අය සාපේක්ෂව කෙටි කාලයකින් තමන්ගෙ දුකත් සමග ගණදෙනු කරල තමන්ගෙ බලාපොරොත්තු කඩවීමත් එක්ක ගණදෙනු කරල ඔබ නිර්මාණය කරන අලුත් තත්වයට ඒ අය හැඩ ගැහෙයි.

මානව ඉතිහාස පුරාම, මානව ශිෂ්ඨාචාරය පුරාම මිනිසු සිදුකර ඇති එකම දෙය අලුත් තත්වයන්ට හැඩ ගැසීමය. එම නිසා ඔබ වටා සිටින ඔබ ආදරය කරන අයටත් ඒ ආකාරයට අලුත් තත්වයන්ට හැඩගැසීමට හැකියි. එය ප්‍රශ්නයක් නෙවෙයි. එය එතරම් අමාරු නැත".

Latest