Skip to content

අහිමිවීම් වලින් අපිට කවදාවත් නරකක් සිද්ධ වෙලා නැහැ.

ප්‍රංශ පෙම්වතා

Shamel Jayakody

"ප්‍රංශ පෙම්වතා නවකතාවේ ප්රධාන භූමිකා තුනකි. කතාවේ ප්‍රධාන භූමිකාව ලෙස මාලි අක්කා සැලැකිය හැකිය ඇය දරුවෝ දෙදෙනෙක් කැටුව ප්‍රංශයේ අතරමං වී සිටියි.

ඔව්හු රජයේ ආධාර මුදලින් ජීවත් වෙති. ඇගේ පුරුෂයා මාපියන්ගේ උපදේශනය මත බිරිය අතහැර යයි. මාලකගේ යෙහෙළිය වන තාරකා ඇමතිවරයකුගේ දියණියකි. ඇය ප්‍රංශයට එවා ඇත්තේ මානසික ආබාධයකින් පෙළෙන නිසාය. මාලකගේ පියා උසස් හමුදා නිලධාරියෙකි. එහෙත්, තම පුත්‍රයාගේ ඔතෑනි ගතිය ඔහුට රුස්සන්නේ නැත. මාලක ප්‍රංශයට පිටමංකර ඇත්තේ 'කැමැති පිළිවෙළකට ජීවත් වෙයන්' යන ප්‍රකාෂය සමගය.

කතාව ආරම්භ වන්නේ ශිෂ්‍ය විසා රැගෙන පැරිසියට ඇතුල් වන මාලකගෙනි. මාලක පැරිසියේ සැරිසරන තවත් එක සංක්‍රමණිකයෙකු බවට පත්වෙන්නේ බටහිර සංස්කෘතිය තුලින් මතු කරන කම්පනයත්, යුරෝපයේ සරණාගතයන්ගේ ජිවන අරගලයත්, දෙමළ ඩයස් පෝරාව මැද තම අනන්‍යයතාව රැකගැනීමේ අභිලාෂයත් ඒ සියල්ලටම වඩා තමන්ගේම කියා පවුලක් සදා ගැනීමේ ආශාවත් මැදිකරගෙනය.

කතා සමූහයක් අවසානයේ මාලක සැබැවින්ම ප්‍රංශ පෙම්වතෙක් බවට පත්වෙයි. නමුත් ඒ අප දකින බොළඳ නවකතා මැද සිටින මල්සර හී පහරට ගොදුරුවූ බොළඳ පෙම්වතෙකු ලෙස නොව ජිවිතයේ දුෂ්කර අරගලයන් ජයගත් උත්සහවන්ත මිනිසෙකු ලෙසයි .

මෙය සුන්දරත්වය පිරුණු නවකතාවක් බව අවිවාදයෙන් යුතුව පැවසිය යුතුය. එක හුස්මට කියවගෙන යා හැකි තරමට රසවත් ය. විදේශ ගතවී ෆැන්ටසි ජීවිතයක් ගත කරන්නට අපේක්ශා කරන්නෙක් නම් අනිවාර්යෙන්ම මේ ග්‍රන්ථය කියවිය යුතුම ය. ලුවර් කෞතුකාගාරයේ ඇති “මොනාලිසා” චිත්‍රය, ලෝක පූජිත දාර්ශනිකයෙකු වන“ෂෝන් පොල් සාත්රේ” ගේ හා ලොව බිහිවුණා යයි පවසන එක ම දාර්ශණික කාන්තාව වන “සීමන් ද බෝවුරේ” ගේ සොහොන් කොත් වැනි ස්ථාන මෙන්ම ප්‍රංශයේ පැරීසිය ගැන ඉතා ආකර්ෂණිය ලෙස කෙරෙන සැණකෙළි වර්ණනා සහිතව මෙය ලිය ඇති නිසා අප මනසේ පැරීසිය ගැන චිත්රයක් මැවීමට සමත්වන කෘතියකි.

එපමණක් නොව, දියුණු යැයි පවසන රාජ්යන් ගොඩ නැගී ඇත්තේ ෆැන්ටසියකින් නොව දැඩි කැපවීමෙන් වැඩකිරීම නිසා බව, මෙම ග්‍රන්ථය තුලින් මනාවට පැහැදිළි වෙයි.

තවද, වෙනත් ජාතීන්ට හා ආගමික බැතිමතුනට වෛර කරන සියළුම ආගමික හා ජාතීන් නියෝජනය කරන මිනිසුන්ට තමාගේ දෑස් වසාගෙන සිටින කඩතුරා ඉවත්කර ගැනීම පිණිස කිවයුතුම කෘතියක් ලෙස ප්‍රංශ පෙම්වතා හැඳින්විය හැකිය. අප රටේ ජීවත්වන මිනිසුනට මොන දේ ලැබුනත් ඔවුන් ඉන් සංතෘප්ත නොවන නමුත්, ප්‍රංශ ජාතිකයන් සුළු දෙයින් පවා ජීවිතය විඳින ආකාරය අපුරුවට මෙහි කථිකාකොට ඇත.

2016 ප්රකාශිත නවකතා අතුරෙන්, ස්වර්ණ පුස්තක අවසන් වටයටත්, ෆෙයාර්වේ අවසන් වටයටත් තේරි පත්වීමට සමත් වූ ප්රංශ පෙම්වතා තවත් එක් නවකතාවක් නොව ජීවිතයට ගැම්මක් දෙන නවකතාවක් ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකිය.

Latest