" වාසනාව නොයෙක් වෙස් ගෙන පැමිණෙන දෙයක්, වාසනාව හඳුනගන්න පුළුවන් කාට ද?, ඕනෑම වේසයකින් ආවත් කමක් නෑ, ඉල්ලන දෙයක් දීලා වාසනාව ගන්න මම කැමතියි ".
අර්නස්ට් හෙමිංග්වේගේ මහල්ලා සහ මුහුද කතාවේ එන සන්තියාගෝ අල්කපේන් නම් මහළු ධීවරයා එලෙස ප්‍රකාශ කරන ආකාරයට ඔබත් ඉල්ලන දෙයක් දීලා වාසනාව ගන්න බොහෝ විට කැමතිවනවා ඇත. මන්ද වාසනාව යනු අපව ඉදිරියට තල්ලු කරන මහා බලවේගයක් යැයි අපි එක හෙලා විශ්වාස කරන බැවිනි.
නමුත් වාසනාව යනු කුමක් ද? අප සැවොම මේ ලෝකයේ වාසනාවන්තයින් ද? වාසනාව සහ අවාසනාව වෙන්වන රේකාව කුමක් ද?. එපමණක් නොව අප වාසනාවන්තයින්දැයි, අවසනාවන්තයින්දැයි ලේබල් කරගන්නේ කෙසේ ද? එවිට අපගේ ජීවිතය තුළ සිදුවන සෑම දෙයක්ම සිදුවන්නේ වාසනාවට ද?, අවාසනාවට ද? නැතිනම් දෛවය අනුව ද?,
කුමන හෝ හොඳ දෙයක් අපට ලැබුණා හෝ සිදුවූවා එහි ගෞරවය වාසනාවටම පුද කිරීම සාධාරණ ද? එමෙන්ම අපට අපගේ උත්සාහයෙන් යමක් ලබාගත නොහැකි ද? අපගේ උත්සාහයෙන් යමක් ලබා ගත්තායැයි සිතමු. එවිට එයත් වාසනාව ද?, නැවත වතාවක් සියල්ල සිදුවන්නේ වාසනාවට ද? වැනි ප්‍රශ්න රාශියක් වාසනාව පිළිබඳව කතා කරන විට පැණ නැගෙන්නට පුළුවන.
මෙවැනි ප්‍රශ්න රාශියක් පැණනැගෙන නිසාම සැබවින්ම වාසනාව යනු කුමක්දැයි පූර්ණ ලෙස නිර්වචනය කරගැනීම එනම් වාසනාව යනු මෙන්න මෙයයි කීම නිසැකවම වංකගිරියේ යෑම හා සම වන්නකි. නමුත් පොදුවේ පිළිගන්න්නා මතයක් වන්නේ නියම වේලාවට නියම ස්ථානයේ නියම දේම සිදුවීම වාසනාව වන බවයි. එයට විරුද්ධව අවාසනාව යනු වැරදි වෙලාවේ වැරදි ස්ථානයේ වැරදිම දෙයක්ම සිදුවීමය.
වාසනාව පිළිබඳව ඉහත කරුණු දැක්වීමට හේතුව වූයේ මී ළඟට සාකච්ඡා කරණු ලබන ප්‍රධාන මාතෘකාව සඳහා කිසියම් ප්‍රවේශයක් අවශ්‍ය වූ නිසාවෙනි. එම මාතෘකාව නම් ලෝකයේ වාසනාවන්තම මිනිසා. ලෝකයාම ආමන්ත්‍රණය කරන පරිදි Mr. lucky , සත් වතාවක් මරණයෙන් බේරී විවාහ පහක් බුක්ති විඳි සහ අවසානයේ ලොතරැයියක් දිනූ ලෝකයේ වාසනාවන්තම මිනිසා යැයි පොදුවේ පිළිගන්නා අරුම පුදුම මිනිසා පිළිබඳවය මේ ලිපිය.

Frane selak නම් ක්‍රොයේෂියානු සංගීත ගුරුවරයා සැළකෙන්නේ මෙතෙක් ලෝකයේ ජීවත් වූ වාසනාවන්තම පුද්ගලයා ලෙසට වන අතර ඒ ඔහුගේ ජීවිතය හා සබැඳුණු ඉතා අපූර්ව සිදුවීම් රාශියක් පවතින නිසාවෙන් ය. ඉරණම අතින් ගත් විට අසාමාන්‍ය ඉරණමක් අත් වූ මොහු උපත ලබන්නේ වර්ෂ 1929 ජූනි මස 14 වන දා ජලාශයක් මැද වූ බෝට්ටුවක් තුළය. ඒ අනුව Frane selak ගේ උපත ද සිදුවන්නේ ඉතා අපූර්ව අයුරිනි.
Frane selak සිය මවගේ කුස තුළ කළලයක්ව සිටින අවස්ථාවේ මවට බෝට්ටු පැදීම සඳහා ආශාවක් හට ගන්නා අතර එවිට ඇය මාස හතක ගැබිණියකි. ඇයගේ බලවත් ආශාව මත Frane selak ගේ පියා ඇයව බෝට්ටු පැදීම සඳහා ජලාශයක් වෙත කැඳවාගෙන යන අතර සිදු වී ඇත්තේ අනපේක්ෂිත සිදුවීමකි. බෝට්ටු පැදීම සඳහා ගිය මෙම කාන්තාවට දරු ප්‍රසූතිය සඳහා අවශ්‍යතාවය ඇති විය. නමුත් රෝහල් සොය සොයා සිටීමට වෙලාවක් නැත. දරු ගැබට ද මාස හතක් වන අතර එය ද තරමක් අපූර්ව අවස්ථාවකි. කෙසේ හෝ ඇය සාර්ථකව දරු ප්‍රසූතිය සිදුකරන අතර Frane selak නම් ලෝකයේ වාසනාවන්තම මිනිසා ලෝකයට බිහි වන්නේ ඒ අයුරිනි.
උපතම සිදුවන්නේ හාස්කමකින් මෙන් මරණයට අභියෝග කරමින් වන අතර ලෝකය පුරා ඔහුගේ රසිකයින් සහ ඔහු පිළිබඳව උනන්දුවන පිරිස් පවසන්නේ ඉදිරියේදීත් මෙවැනි සිදුවීම් සිදුවන්නට නියමිත යැයි Frane selak හෝ ඔහුගේ දෙමාපියන් කිසි විටෙකත් ඒ මොහොතේ නොසිතන්නට ඇති බවය. ඒ අනුව ඔහුගේ ජීවිතයේ හාස්කම් සිදුවීම මෙතකින් නවතින්නේ නැත. තවත් ඉදිරියට යයි.
වර්ෂ 1957 දී ඔහු ගමන් ගත් බස් රථයක් පෙරළී යන අතර එය පාරෙන් විසි වී ගොස් අසල ඇති ගඟට වැටෙන්නට විය. නමුත් මේ මොහොතේ බස් රථයේ රියදුරු සහ අපගේ කතා නායකයා බසයෙන් කෙසේ හෝ පිටතට පැමිණෙන අතර ගැඹුරු ජලයේ පිහිනා ගොඩබිමට පැමිණ දිවි ගලවා ගැනීමට තමන් සමත් වූ බවත් සහ අණතුරින් මගීන් බොහෝ පිරිසක් මියගිය බවත් Frane selak සිය ජීවිත අත් දැකීම් විස්තර කරමින් ප්‍රකාශ කර ඇති බව මූලාශ්‍රවල සඳහන් වේ.

1962 වර්ෂයේ ක්‍රොයේෂියාවේ සරජේවෝ සිට ඩුබ්‍රොව්නික් දක්වා වූ දුම්රිය ගමනකදී නැවතත් Frane selak ට ව්‍යවසනයකට මුහුණපෑමට සිදු වී ඇත. ඔහු දුම්රියේ ගමන් කරමින් තිබූ දුම්රිය මාර්ගයට ගලක් පෙරළී යෑමෙන් දුම්රිය රේල් පීලි වලින් ඉවතට පැන අයිස් සහිත නෙරෙට්වා ගඟට කඩා වැටෙන අතර Frane selak පවසා ඇත්තේ ඒ මොහොතේ මැදිරියේ ජනේලයක් බිඳ දමා පිටතට පැමිණ තම ජීවිතය බේරා ගැනීමට ඔහු සමත් වූ බවය. එම භයානක අනතුරින් 17 දෙනෙකු මිය ගිය ද ඒ ආකාරයට අපගේ කතා නායකයාට සිය ජීවිතය බේරා ගැනීමට හැකි වී ඇත.
ඉන්පසුව ඉහත සිදුවීම සිදු වී වසරකට පසු, එනම් 1963 වර්ෂයේ Frane selak වන අපගේ කතා නායකයා Zagreb සිට Rijeka දක්වා ගුවන් යානයකින් පියාසර කරමින් සිටියදී තවත් ඓශ්චර්යමත් සිදුවීමකට මුහුණ පා ඇත. එය ඔහුගේ පළමු ගුවන් ගමන වූ බව ද Frane selak නොයෙක් අවස්ථාවන් වලදී පවසා ඇත.
සිය මව හදිසියේම අසනීප වූ බව දැනගත් ඔහු ඉතා ඉක්මනින් මවගේ සුව දුක් විමසා බැලීම සඳහා ගුවන් යානයෙන් පියාසර කිරීමට තීරණය කරන අතර කෙසේ හෝ ගුවන් සේවිකාවන්ගෙන් සිදුකරන ලද දැඩි ආයාචනය මත ඔහු පසු පස අසුනක් ලබා ගැනීමට ද සමත් වී ඇත. නමුත් අනපේක්ෂිත ලෙස යානය ගමන් කරමින් තිබෙන අතරතුරදී එන්ජින් දෙකම ක්‍රියා විරහිත වී ඇත.
Frane selak පවසන්නේ යානය කඩා වැටෙමින් තිබෙන විට පසු පසු වූ දොරක් ගැලවී ගොස් ඔහු ඉවතට විසිවුණ බව සහ වාසනාවකට මෙන් ඔහු වැටුණේ පිදුරු ගොඩක් උඩට බවය. සිදු වූ ගුවන් අනතුරින් 19 දෙනෙකු මියගිය බවත් සහ වාසනාවකට නැවත වතාවක් තම ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව Frane selak පවසා ඇති බව මූලාශ්‍රවල සඳහන් වේ. එමෙන්ම ඇති වූ කම්පනය හේතුවෙන් ඔහු නැවත කිසිදු දිනෙක ගුවන් යානයකින් ගමන් නොකළ බව ද පවසා ඇත.

Frane selak තම ජීවිතයේ වාසනාව අත් විඳින ලද ප්‍රභලම අවස්ථාව මෙය වන්නට ඇතැයි යමෙකුට සිතේ නම්, නැත. තවත් අවස්ථා ඕනා තරම් ඔහුගේ ජීවිතයේ ඇත. ගුවන් අනතුරින් වසර තුනකට පසු 1966 වර්ෂයේදී නැවත වරක් ඔහු බස් රථ අණතුරකට මුහුණදෙන අතර ගමන් කරමින් තිබූ බස් රථය ගඟට කඩා වැටී දියේ ගිලී යෑමෙන් මගීන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූවත් සුළු සිරීම් තුවාල සහ තැලීම් කිහිපයක් පමණක් සමගින් නැවත වතාවක් ජීවිතය බේරා ගැනීමට Frane selak හට හැකි වී ඇත.
බස් රථ අණතුරු, දුම්රිය අණතුරු සහ ගුවන් යානා අණතුරු කිහිපයකින් පසුව ඔහු සිතන්නේ පොදු ප්‍රවාහනය සැබවින්ම තමන්ට අකැප දෙයක් බවය. එම නිසා අපගේ කතා නායකයා මින් පසු සිය පුද්ගලික මෝටර් රථයෙන් සිය ගමන් පහසුව සලසා ගැනීමට තීරණය කරන අතර එසේ ටික කලක් ගැටළුවක් නොමැතිව සිටිය නමුත් 1970 වර්ෂයේ ඔහු ගමන් කරමින් සිටියදීම සිය මෝටර් රථය ගිණි ගැනීමකට ලක් වූ බවත් නමුත් එයින් ද කිසිදු මාරාන්තික තුවාලයක් නොමැතිව තමන් බේරුණු ද බව ද Frane selak කියයි.
මෙම මාරක රිය අණතුර සිදු වී නැවතත් වසර තුනකට පසු 1973 වර්ෂයේ නැවතත් එවැනිම සිදුවීමක් සිදු වූ බව Frane selak කියයි. රිය පදවමින් සිටින විටදී ඔහුගේ රථයේ ඉන්ධන පොම්පය පුපුරා යන අතර ඇති වූ ගිණ්නෙන් හිසකෙස් සියල්ල පිලිස්සී ගියත් ජීවිතය බේරා ගැනීමට නැවතත් ඔහු සමත් වී ඇත.

රිය අණතුරු වලින්නම් ලෝකයේ වාසනවන්තම මිනිසාට කිසිදු අඩුවක් නැත. 1995 වර්ෂයේ දිනයක පාරේ ඇවිදිමින් සිටින විටදී නැවතත් ඔහු බස් රථයක ගැටෙන අතර එයින්ද සුළු තුවාල කිහිපයක් සිදු වූවත් Frane selak හට එතරම් ගැටළුවක් නොවී ඇති බව ඉතිහාසය කියයි.
ලෝකයේ වාසනාවන්තම මිනිසා මුහුණදුන් මෙවැනි සිදුවීම් කියවාගෙන ආ ඔබට මේ වන විට මිනිසුන්ට මෙහෙම වෙන්න පුළුවන් ද ? මේ මොන අභව්‍ය දේවල් ද යනුවෙන් සිතෙන්නට පුළුවන. එය සාධාරණය. නමුත් Frane selak ලෝකයේ වාසනාවන්තම මිනිසා ලෙස නම්කර ඇත්තේ මෙවැනි සිදුවීම් රාශියකින් ඔහුගේ ජීවිතය සමන්විත වූ බැවින් වන අතර ඔහු සමග සම්මුඛ සාකච්ඡා සිදුකර ඇති ලෝකයේ දහස් ගණනකුත් වූ සියල්ල හට ඔහු මෙම සිදුවීම් සියල්ල මේ ආකාරයටම විස්තර කර ඇත. එමෙන්ම එම සිදුවීම් සියල්ල ඔප්පු කිරීම සඳහා සාක්ෂි ද ඔහු විසින් සපයා ඇති බව මූලාශ්‍ර කියයි.
මාරක රිය අණතුරු සම්බන්ධව Frane selak ගේ ජීවිත කතාව තව දුරටත් විමසා බලන්නේ නම් පොදු ප්‍රවාහනයෙන් බැහැරව තම පුද්ගලික මෝටර් රථය ඔහු තෝරාගත්ත ද එය පොදු ප්‍රවාහනයට වඩා හපන් එකක් වී ඇත. 1996 දී ක්‍රොයේෂියාවේ කඳුකර ප්‍රදේශයක සිය මෝටර් රථය ධාවනය කරමින් සිටින විටදී ට්‍රක් රථයක් සමග තම මෝටර් රථය මුහුණ මුහුණ ගැටීමෙන් වලක්වා ගැනීමට ඔහුට සිදු වී ඇත.

සිදුවන්නේ තවත් අනපේක්ෂිත සිදුවීමකි. මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටෙන මෝටර් රථය අඩි 300 ක් පහළට කන්දෙන් පෙරළී යෑමට පටන් ගැනීමය. රථය පෙරළී යන අතර තුර කෙසේ හෝ ඉන් එළියට පැන ගසක අත්තක එල්ලී සිය ජීවිතය බේරා ගත් බව Frane selak කියයි. කෙසේ නමුත් ඔහු තව දුරටත් පවසන්නේ මෙම සිද්ධියෙන් පසුව ඔහු මාරාන්තික අණතුරුවලට මුහුණ නොදුන් බවත් සහ එය ද ඔහුගේ වාසනාව වූ බවය.
මාරාන්තික අණතුරුවලින් බේරී ජීවිතය ආරක්ෂා කර ගැනීමේ සිද්ධි පමණක් අපගේ කතා නායකයාගේ වාසනාව පිළිබඳව කීම සඳහා අපට ගැනීමට අවස්ථාවක් නොමැති අතර ඔහු 2003 වසරේ ක්‍රොයේෂියාවේ ලොතරැයි ජයග්‍රහණයක් ලබා ගන්නේත් ඔහුගේ වාසනාවටමය.
ඔහු ලොතරැයියෙන් ඇමරිකන් ඩොලර් 1,110, 000 ක අති දැවැන්ත මුදල් ත්‍යාගයක් දිනා ඇත. එම මුදලින් නිවාස දෙකක් සහ බෝට්ටුවක් මිලදී ගත් Frane selak ඉතුරු මුදල් ප්‍රමාණය තම හිත මිතරන්ට බෙදා දී 2010 වර්ෂයේ සිට සකසුරුවම් ජීවන රටාවක් අනුගමනය කර ඇති බව මූලාශ්‍ර කියයි.

කෙසේ නමුත් මුදල්වලින් සතුට මිළදී ගත නොහැකි බව සිතන මේ නිහතමානී මිනිසා පෞද්ගලික දූපතක පිහිටි ඔහුගේ සුකෝපබෝගී නිවස ද විකුණා දමා එම මුදල් ද තම නෑදෑ හිත මිතුරන්ට බෙදා දෙන්නට විය. මේ වන විට Frane selak විවාහයන් හතරක් සිදුකරගෙන හමාරය. ඉදිං සිය පස්වන බිරිඳ සමග ක්‍රොයේෂියාවේ පෙට්‍රින්ජා හී පිහිටි සිය සුපුරුදු නිවස වෙත යන ඔහු මිය යන තුරාම එහි ජීවත් වූ බව ද මූලාශ්‍ර කියයි. ලෝකයේ වාසනාවන්තම මිනිසා ලෙස නම් දැරූ Frane selak නම් ක්‍රොයේෂියානු සංගීත ගුරුවරයා මිය යන්නේ 2016 නොවැම්බර් මස 30 වන දා ඔහුට වයස අවුරුදු 87 ක් වූ විටය.
මෙතෙක් ලෝකයේ ජීවත් වූ වාසනාවන්තම මිනිසා ලෙස නම් දරන Frane selak ගේ කතාව මෙය වන අතර වාසනාව පිළිබඳව ඔබට මට නොයෙක් අර්ථකතන තිබෙන්නට පුළුවන. සමහරුන් වාසනාව කියා දෙයක් ඇතැයි කියා විශ්වාස කරන අතර සමහරුන් එවැනි දෙයක් නැතැයි විශ්වාස කරයි. නමුත් එය තම තමන්ගේ පුද්ගලික විශ්වාසයන් ය.
මෙම පුද්ගලික විශ්වාසයන් මත හිඳ සමහර පිරිසක් කියන්නේ Frane selak හට මෙවැනි සිදුවීම් රාශියකටම මුහුණ දීමට සිදුව ඇත්තේ සැබවින්ම ඔහුගේ අවාසනාව නිසාය. යනුවෙන් ය. එම නිසා ඔහු ලෝකයේ වාසනාවන්තම අවාසනාවන්ත මිනිසා යනුවෙන් ද ඇතැම් තැන්හී සඳහන් වේ. එය ද අවසාන වශයෙන් දැක්වීම සුදුසු යැයි සිතුණි.