Skip to content

EPF/ETF ආරක්ෂා කිරීමේ වගකීම තියෙන්නේ මූල්‍ය මණ්ඩලයට. සති තුනකින් බලමු මොකද වෙන්නේ කියල!

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව සේවක අර්ථ සාධක අරමුදල,සේවක භාරකාර අරමුදල වැනි අරමුදල් සම්බන්ධයෙන් මතුව තිබෙන අවදානම් සහගත තත්ත්වය කෙබඳුද යන්න ඉදිරි සති තුනක කාලය තුළ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් සංඛ්‍යා දත්ත සහිතව වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව තිබෙන බවත් එම වාර්තාව මත සිදුවීමට නියමිත දේ සම්බන්ධයෙන් පැහැදිලි කරගත හැකි බවත් ''ග්ලෝබල් ශ්‍රී ලංකන් කොංග්‍රස්'' හි නායක මංජු නිශ්ශංක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කරයි.

ඒ අනුව එම අරමුදල කළමනාකරණය කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය  විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර එම අරමුදල්හි ප්‍රතිලාභ ලැබෙන ආකාරයත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ප්‍රතිලාභ ලැබෙන ආකාරය ගැනත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබේ.

මහ බැංකුව සහ රජය යෝජනා කරන ආකාරයට 9% යේ පොළියට උක්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ නම් 2025,2030, 2035 යන වසර වන විට එම අරමුදල්හි ප්‍රතිලාභ ලැබෙන ආකාරය මූල්‍ය මණ්ඩලය පැහැදිලිව සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළ යුතු බවයි මංජු නිශ්ශංක මහතා සඳහන් කරන්නේ.

''මූල්‍ය මණ්ඩලයට දැන් සති තුනක කාලයක් තියෙනවා මේකට ඔවුන්ගේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කරන්න. අපි ඉතාම අවධාරණයෙන් ඉල්ලා සිටිනවා ජනතාවගේ පැත්තේ සිටගෙන මේ වෙලාවේ ඔවුන් විසින් යෝජනා කරලා තිබෙන 9% පොළියට ප්‍රතිව්‍යුහගත කළොත් ඔවුන් පැහැදිලිව දත්ත ඉදිරිපත් කරන්න ඕනේ පාර්ලිමේන්තුවට ප්‍රතිව්‍යුහගත කරන්න පෙර ලැබෙන ප්‍රතිලාභ සහ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ප්‍රතිලාභ ලැබෙන ආකරය 2025,2030 2035 යන වසරවල් වෙද්දී කීයද කියල. ඒ සැසඳීම කරලා තමයි මේ ගැන පාර්ලිමේන්තුව වගේම ජනතාවත් දැනුවත් වෙන ඕනේ.''

දිගින් දිගටම දේශපාලකයින්  සහ රාජ්‍ය ආයතන විසින් ගනු ලැබූ වැරදි තීන්දු තීරණ හේතුවෙන් ඒවායෙහි පීඩාව දැරීමට සිදු වූයේ ජනතාවට බවද  නිශ්ශංක මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ උක්ත අරමුදල් කළමනාකරණ තුළම දැවැන්ත අර්බුදයක් පවතින බවද ඔහු පෙන්වාදෙයි.

''මේ අරමුදල් පාලනය වෙන්නේ මූල්‍ය මණ්ඩලය හරහා. මුල්‍ය මණ්ඩලයේ පාලනය මහ බැංකුව සතුයි.  සාමාන්‍යයෙන් ලෝකයේ සිදුවෙන්නේ විශේෂයෙන් මෙවැනි අරමුදල් කළමනාකරණය කරද්දී  එතනට පත්වෙන්නේ  ඒ පිළිබඳ විශේෂ අත්දැකීම් තියෙන පුදගලයින්. අධ්‍යාපන සුදුසුකම වගේම ක්ෂේත්‍රයේ අත්දැකීම් තිබෙන අය. ලංකාවේ වෙලා තියෙන්නේ ඔවුන්ට බැංකු ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබෙනවා නමුත් අරමුදලවල හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට උපරුම ප්‍රතිලාභ අත්වෙන පරිදි කටයුතු කිරීමක් අපි ඔවුන්ගෙන් දැක්කේ නැහැ.''

මූල්‍ය මණ්ඩලයේ සිටින නියෝජිතයින් පස් දෙනාටම අරමුදල් කළමනාකරණය කිරීමේ දැනුමක් නොමැති අතර මේ අරමුදල්   මූල්‍ය මණ්ඩලය හරහා පාලනය කිරිම තුළින් පසුගිය වසර 10 තුළ ලැබුණු ප්‍රතිලාභ  ගණනය කළ යුතු වන බවද හෙතෙම තවදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම අරමුදල් දැවැන්ත අපයොජනයට ලක්ව පවතින බවයි මංජු නිශ්ශංක මහතා පවසන්නේ.

ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල,සේවක භාරකාර අරමුදල වැනි අරමුදල් රජයේ බලපෑමෙන් ඉවත් කිරීමට අදාළව කතිකාවතක් ගොඩනැගීමට බලාපොරොත්තු වෙන බවත් ඊට විපක්ෂයේ මෙන්ම අධිකරණයේ සහය ලබාගැනීමටද බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

0:00
/

Latest