IMF නිකුත් කළ අලුත්ම විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවකින් කියයි.
වසර 50 කට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාව දුෂණයට එරෙහි වීමට උත්සාහ කළද තවමත් ශ්‍රී ලංකාව තුළ දූෂණ ක්‍රියා සිදුවන්නේ යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉකුත් 30 වෙනි දින නිකුත් කළ විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවේ සදහන් වේ.
පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එම කාලයේදී ලබා ගත් තොරතුරු මත මෙරටට තාක්ෂණික සහාය ලබා දීම අරමුණු කොට ගෙන මෙම වාර්තාව සකස් කර තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේදී මතුවන අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 16 ක්ද මෙම වාර්තාවට ඇතුළත් වී ඇති අතර මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පාලනයේ සහ කළමනාකරණයේ පවතින දුර්වලතා රැසක් පෙන්වාදී ඇත.
ශ්‍රී ලංකාවේ දූෂණය කෙතරම් ඔඩුදුවා ඇත්දැයි යන්න පිළිබඳවත්, ඒ සඳහා මෙතෙක් ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ගත්, අනාගතයේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම වාර්තාවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.
අධිවේගී මාර්ගයක කිලෝ මීටරයක් ඉදිකිරීම සඳහා ලෝකයේ අනෙක් රටවල සාමාන්‍යයෙන් වැය වෙන මුදලට වඩා තුන් ගුණයක් ශ්‍රී ලංකාවේ වැය වෙන බව එම වාර්තාවේ සඳහන් කර ඇත.
පාලනය සහ දූෂණ ක්‍රියා සම්බන්ධ ගැටළු ජාතික සහ සමාජ යහපැවැත්ම අඩාල කර ඇති බවත් රජයේ ඉහළ නිලධාරීන් දූෂණ ක්‍රියා සිදු කරමින් විනාශකාරී ලෙස හැසිරුණත් ඔවුන්ට දඬුවම් නොලැබෙන බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
පසුගිය 2019 වසරේ දූෂණ ක්‍රියා සම්බන්ධව සිදුකළ අධ්‍යනයකට සහභාගී කරවාගත් නියැඳියෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසකට දූෂණය පිළිබඳ සෘජු අත්දැකීම් තිබූ බවද එම වාර්තාවේ සඳහන් වේ.
එසේම රජයේ නිලධාරීන් බඳවා ගැනීමේදී සහ රජයේ කොන්ත්‍රාත්තු පිරිනැමීමේදී දූෂණ ක්‍රියා බහුලව සිදුවන බවත් ඉන් සියයට 36%ක් රජයේ නිලධාරියෙකු දූෂණ ක්‍රියාවකට සම්බන්ධ වන බවත්, සියයට 35%ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වන බවද එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.