Skip to content

ලන්දේසී ආක්‍රමණය සාර්ථකව වැලැක්වූ සිංහයින්ගෙන් වාර්තා පිට වාර්තා

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ පැවති අවසාන මහා තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම 233 ක් වැනි අඩු ලකුණු සංක්‍යාවකට නිමා වන විට සියල්ල සිතුවේ නෙදර්ලන්ත කණ්ඩායම මෙම තරඟය පහසුවෙන් ජයගනු ඇති බවටය.

නමුත් ඉන් පසුව පන්දු යැවීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම පන්දුවාර දහය අවසානයේ නෙදර්ලන්ත ඉනිම සුණු විසුණු කරන්නට වූයේ සියල්ල මවිත කරමිනි. ලකුණු 234 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම හට පන්දුවාර 23 යි පන්දු 3 ක දී සියල්ල දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 105 ක් පමණි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුවාර 11 ක් අවසාන වන විට ලකුණු 49 කට නෙදර්ලන්ත කණ්ඩායමේ කඩුළු 6 ක් බිඳ හෙලීමට සමත් වූයේ තරඟයේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායමට අත්කර දෙමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දිල්ෂාන් මධුශංක ලකුණු 18 කට කඩුළු 3 ක් ද, වනිදු හසරංග ලකුණු 35 කට කඩුළු 2 ක් ද සහ මහීෂ් තීක්ෂණ ලකුණු 31 කට කඩුළු 4 ක් ද බිඳ හෙලමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට විය.

අවසන් මහා තරඟය ලකුණු 128 කින් විශිෂ්ඨ ලෙස ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට අපරාජිතව තරඟාවලිය නිමා කිරීමට හැකි වූ අතර එමෙන්ම 2014 වසරෙන් පසු පිට පිට තරඟ දහයක් ජයග්‍රහණය කිරීමේ වාර්තාව ද සම කිරීමට ද හැකියාව ලැබුණි. විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරඟ ක්‍රීඩා කිරීමට සුදුසු නොවන කණ්ඩායමක් ලෙස කියූ පරිදි ලොවට ප්‍රදර්ශනය කිරීමට ද සමත් විය.

අවසාන මහා තරඟයේ වීරයා සම්මානය දිල්ෂාන් මධුශංක දිනාගත් අතර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ සිම්බාබ්වේ කණ්ඩායමේ ශෝන් විලියම්ස් තරඟාවලියේ වීරයා සම්මානය දිනාගන්නා ලදී.

Latest