Skip to content

ළිඳෙන් එළියට එන සත්‍යය

සත්‍යය ළිං පතුලේය. නිරුවත් සත්‍යය, සත්‍යයේ නිරුවත ආදී වචන ඔබ බොහෝවිට අසා ඇතැයි සිතිමි. ඉදිං සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම වචන හා සබැඳි ලෝක ප්‍රසිද්ධ සිතුවමක් සම්බන්ධයෙනි. ඉහත සඳහන් 1896 දී නිර්මාණය වූ මෙම සිතුවම නම් කර ඇත්තේ " ළිඳෙන් එළියට එන සත්‍යය "  නැතිනම් "the truth coming out of the well" ලෙසය. මෙහි නිර්මාපකයා වන්නේ ප්‍රංශ ජාතික jean leon gerome නම් නිර්මාණකරුවාය. ඔහු බොහෝවිට සිය නිර්මාණය සඳහා ඉතිහාසයේ සිට ඔහුගේ වර්තමානය දක්වා පැවති ඓතිහාසික ආකෘතීන් භාවිත කරන ලද නිර්මාණකරුවකු වශයෙන් සැළකෙන අතර  මෙම සිතුවම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවිට කලාකරුවන් කිහිපදෙනෙකු නොයෙක් අවස්ථාවලදී නොයෙක් නොයෙක් ස්ථානවල සඳහන් වන නමුත් සිතුවම සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ jean leon gerome ය. කෙසේ නමුත්

Jean leon gerome 

බොහෝවිට දුටු පමණින්ම යම් දෙයක යටිපෙළ තේරුම් ගැනීමට අපට නොහැකිවනු ඇත. මන්ද අප බොහෝවිට යම් කෙනෙක් හෝ යම් දෙයක් දෙස බලනුයේ අපගේ පුරුදු සහ ඇබ්බැහිකම් අනුව වන බැවිනි. එබැවින් මෙම සිතුවම දෙස බලනවිටදී වූව ද මේ සම්බන්ධයෙන් නොයෙකුත් විග්‍රහයන් අපගේ මනසට නැගෙන්නට පුළුවන. සමහරවිට මෙය අසභ්‍ය සිතුවමක් යැයි ලේබල් කිරීමට ද ඉඩ ඇත. අප ඕනෑම දෙයක් දෙස වඩාත් විමසිලිමත් බැල්මක් හෙලිය යුත්තේ එම නිසාය. කෙසේ නමුත් මෙම සිතුවම සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් විග්‍රහ වන්නේ

දිනක් එකිනෙකට විරුද්ධ ඇත්ත සහ බොරුව එකිනෙකාට මුණ ගැසී ඇත. අද පුදුම දවසක් යැයි! බොරුව විසින් සත්‍යයට පවසන අතර සත්‍යය විසින් බොරුවගේ එම ප්‍රකාශය අසා සුසුම් හෙලයි. මන්ද සැබවින්ම ඒ දවස සුන්දර වූ නිසාවෙනි. කෙසේ නමුත් මෙලෙස නොයෙක් ආකාරයේ කතා බස් අතරින් සත්‍යය සහ බොරුව යන දෙදෙනාම දිගු කලක් එකට ගතකරන අතර අවසානයේ දෙදෙනාම ළිඳක් අසලට පැමිණේ." වතුර හරිම ලස්සනයි . අපි එකට නාමු" යැයි බොරුව විසින් සත්‍යයට පවසන අතර සත්‍යය විසින් සැක සහිත එම ළිඳෙහි ජලය පරීක්ෂා කර බලා එය නෑමට සුදුසු ජලය බව තීරණය කරයි.

දෙදෙනාම පසුව සියළු ඇඳුම් උනා දමා ළිඳට බැස නෑමට පටන්ගන්නා අතර සුළු වේලාවකින් බොරුව ළිඳෙන් ගොඩට පැමිණ සත්‍යයේ ඇඳුම් ඇඳගෙන පලා යයි. එම ක්‍රියාවෙන් කෝපාවිෂ්ඨ වූ සත්‍යය පිටතට පැමිණෙන ආකාරය මෙම සිතුවමෙන් නිරූපණය වන අතර එසෙ සත්‍යය පිටතට පැමිණෙන්නේ සෑම ස්ථානයකම බොරුව සොයා යමින් සත්‍යයේ ඇඳුම් නැවත ලබා ගැනීම සඳහා ය. මන්ද සත්‍යයට බොරුවේ ඇඳුම් ඇඳිය නොහැකි බැවිනි. එවිට සුපුරුදු පරිදි ලෝකයා සිදුකරණුයේ සත්‍යයේ නිරුවත දැක පිළිකුළක් සහ ක්‍රෝධයක් උපදවා ගැනීමය.

නිරුවතින් වූවද ලෝකයාට නිරාවරණය වීම ලැජ්ජාවක් යැයි සිතූ ගැරහුම් ලැබ අසරණ වූ සත්‍යය නැවත ළිං පත්ලටම පැමිණෙන අතර එතැන් සිට බොරුව සත්‍යය ලෙස සැරසී සමාජයේ අවශ්‍යතා තෘප්තිමත් කරමින් ලොව පුරා සංචාරය කරයි. මන්ද ලෝකයා නිරුවත් සත්‍යය හමු වීමට කිසිසේත් ම කැමැත්තක් නොදක්වන බැවිනි. සත්‍යය ළිං පත්ලේ සැඟව ගියේ ඒ අයුරිනි. බොරුකාරයින් සහ කුහකයින් විසින් සත්‍යය ගැඹුරු වලකට විසිකර ඇති බවත් මිනිසුන් විසින් ඇතිකරන ලද දුක් වේදනාවලින් අලංකාර සත්‍යයේ මූහුණ දුක් සුසුම්වලින් පිරී ඇති අතර සිය ආයාචනයන්ට උපකාර නොකරන ලද පිරිස් හට දඬුවම් දීම සඳහා සත්‍යය ළිං පත්ලේ සැඟව සිටිය ද ඇගේ ආත්මය ලෝකය පුරා සැරිසරණු ඇත. යන විග්‍රයය ද සමහර ස්ථානවලදී විචාරකයින් පවසන අදහස වන අතර  සැබවින්ම මෙම කතාන්දරය ප්‍රභන්දයක් සේ පෙණුන ද එයින් විද්‍යාමානවන සත්‍යය පිළිබඳව අප අවධානය යොමු කිරීම ඉතා වටී යැයි සිතේ.

සත්‍යය සහ බොරුව යනු කාලයක් තිස්සේ එක ළඟ එකවිට කියැවෙන විවාදයට භාජනය වූ මාතෘකා යුගලක් වන අතර එම නිසා වර්තමාන ලෝකයේ අප සත්‍යය යනු කුමක් දැයි වටහා ගැනීමට යෑමේදී ව්‍යාකූලතාවයට පත්වීම පුදුමයක් නොවේ. සත්‍යය සහ බොරුව පිළිබඳව විවිධ අදහස් ඇති අතර මෙහිදී විශ්වාස කළයුතු දේ කුමක්දැයි යන්න වටහා ගැනීම අපහසු විය හැකිය. සත්‍යයය නම් සැබවින්ම පවතින යථාර්තය වන අතර නමුත් අප බොහෝවිට යථාර්තය පිළිගැනීමට සූදානම් නොමැති බැවින් බොරුව කෙරෙහි වැඩි ඇල්මක් දක්වයි. සදාචාරාත්මක සාපෙක්ෂතාවාදයේ පවසන්නේ කෙනෙකු හට සත්‍යය වන දේ තව කෙනෙකු හට බොරුවක් විය හැකි බවය. එයින් ගම්‍ය වන්නේ සත්‍ය නම් සාපේක්ෂ දෙයක් බවත් සෑම කෙනෙකුහටම පොදුවේ පිළිගත හැකි සත්‍යයක් නොතිබීමට ද හැකි බවත් ය.

සමාන්‍යයෙන් ලෝක ක්‍රමය තුළ මිනිසුන් බොහෝ විට ප්‍රිය වන්නේ අමිහිරි නිරුවත් සත්‍යයකට වඩා හොඳින් ඇඳ පැළඳ ඇති බොරුවක් පසු පස යෑමට වන අතර අපගේ අරමුණ සාක්ෂරාත් කර ගැනීමට යෑමේදී සත්‍යයයේ මාවතෙන් හැරී බොරුව තෝරා ගැනීම සිදු කරයි. එම නිසාම ළිඳෙන් එළියට පැමිණෙන සත්‍යයට අප ගැරහුම් කරයි. පරිභව කරයි. ලැජ්ජාවට පත් කරයි. කෙසේ හෝ ළිං පතුලටම තල්ලු කිරීමට උත්සාහ දරයි. එපමණක් නොව සත්‍යයය වඩාත්ම ප්‍රවේශම්විය යුත්තේ තමා සමග එකට ස්නානය කිරීමට පැමිණි බොරුවෙන් වන අතර එයින් විද්‍යාමාන වන්නේ අප වඩාත් ප්‍රවේශම් විය යුත්තේ අප ළඟම සිටින බොරුකාරයින්ගෙන් ය යන විග්‍රහ සමහරවිට ඔබ තුළ ඇත. සැබවින්ම එම විග්‍රහය ද සත්‍යයකි.

කෙසේ නමුත් ලෝකය හොඳින් ඇඳ පැළඳ ඇති බොරුවට වඩාත් ඇලුම් කිරීමට උත්සාහ කළද සත්‍යය තවදුරටත් ළිං පතුලේ සිටී. එහි ආත්මය ලෝකයේ සැරිසරන බැවින් කිසිවෙකුට කිසිදා සත්‍යයෙන් ගැලවිය නොහැකි බවද අප මතක තබාගත යුතුය. එමෙන්ම ඔබ බොහෝ විට ගල් ගසනුයේ. පරිභව කරණුයේ. උපකාර නොකරණුයේ සත්‍යයටම බව ඔබට බොහෝ විට නොවැටහීම පසු කලෙක හෘද ශාක්ෂියේ තැවුලට ද හේතුවක් විය හැකිය. සැබවින්ම සත්‍යය කුමක්දැයි වටහා ගැනීම දුෂ්කර වූවත් කෙසේ හෝ අප එය කළ යුතුය.

Latest