ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ වසර 20 ක් පමණ තිස්සේ ක්ෂේත්‍රයේ පොඩි යන නම ඇති එකම දෙදෙනා වන්නේ චූටි මල්ලී සහ පොඩී මල්ලී දෙදෙනා නැතිනම් ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද යන දෙදෙනා වන බව ඔබ මම කවුරුත් දන්නා කරුණකි.
නමුත් නම පොඩි වූවත් ක්ෂේත්‍රයේ ඔවුන්ගේ නිර්මාණයන්නම් පොඩි නැත. අපමණ කාලයක් තිස්සේ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ තම නිර්මාණයන් ඉදිරිපත් කළ මෙම දෙදෙනා ඉතාමත් ගෞරවාන්විතව අදට ද රසිකයන්ගේ සිත් තුළ වැජඹෙන්නේ සහ සන්නාමයක් වී ඇත්තේ ඔවුන් සෑම විටම මිනිසුන්ගේ බුද්ධිධාරා පුළුල් කරමින් සුභාවිත රසයක් පමණක් රසිකයින්ට පිරි නැමූ බැවිනි.

කෙසේ නමුත් satand-up comedy සම්බන්ධයෙන් අප සාකච්ඡා කරන ලිපි මාලාව තුළ මෙම දෙදෙනා පිළිබඳව ද විශේෂයෙන් සාකච්ඡා කිරීමට කාලසටහන් සකසා තිබු නමුත් පසුගිය දිනවල satand - up comedy සම්බන්ධයෙන් ලාංකීය සමාජයේ පැවති නොසන්සුන්කාරී වාතාවරණය තුළ අපට එම අවස්ථාව උදා නොවීය. මන්ද අසහනය ලංව ඇති විට සරස්වතිය පහල නොවන හෙයිනි. එයින් අදහස් වන්නේ සමාජය කැළඹී ඇති විටෙක ප්‍රගතිශීලී අදහසක් සමාජගත කළ නොහැකි බවය. සමාජය අසහනයෙන් පෙලේ නම් එම සමාජයට සරස්වතිය පහළ කළ නොහැක.
නමුත් දැනුදු එයට අවස්ථාව නොවේ. ඒ සඳහා සුදුසු අවස්ථාවක් එළඹෙතැයි අප බලාපොරොත්තු වන අතර නමුත් පසුගිය දිනවලදී comedy සම්බන්ධයෙන් පැවති සමාජ කතිකාවත තුළ නොයෙක් නොයෙක් ශිල්පීන් යැයි හඳුන්වන පිරිසක් ප්‍රකාශ කර සිටියේ comedy ඉගෙන ගැනීමටනම් තමා වෙත එන ලෙසය.
නමුත් මාගේ පුද්ගලික අදහසට අනුවනම් comedy සම්බන්ධයෙන් හැදෑරීමට ශ්‍රී ලංකාවේ සිටිනා එකම දක්ෂයින් දෙදෙනා වන්නේ චූටි මල්ලී සහ පොඩි මල්ලී වන අතර එසේ ප්‍රකාශ කළ පුද්ගලයින් හටද මොවුන් හමු වීමට යා හැකි බව මාගේ පුද්ගලික මතයයි. චුට්ටේ සහ පොඩ්ඩේ එහිදී ද තම නිහතමානීව බව මනාව ප්‍රදර්ශනය කරමින් කිසිවකුගේ comedy භාවිතාවක් විවේචනය කිරීමට ගියේ නැත. ඔවුන් දෙපළ නැගී එන සියළු ශිල්පීන්‍ට සිය දෑත දිගු කිරීම පමණක් සිදුකරන්නේ සාබෑ කලා කරුවන්ගේ ගුණය මනාව ප්‍රදර්ශනය කරමිනි.

පොඩි මල්ලී සහ චූටි මල්ලී යන දෙදෙනාගේ comedy භාවිතාව පිළිබඳව විශේෂ ලිපියක් මඟින් මා පෙර කී ආකාරයට සාකච්ඡා කළ යුතු අතර නමුත් ඔවුන් දෙදෙනාගේ එක්තරා නිර්මාණයක් පිළිබඳව සාකච්ඡා කළ යුතුම බැවින් එම නිර්මාණය පිළිබඳව සාකච්ඡා කිරීම තව දුරටත් කල් දැමීම නොකළ යුතු යැයි සිතේ.
චුට්ටේ සහ පොඩ්ඩේ දෙදෙනා වසර ගණනක් තිස්සේ රේඩියෝ නාට්‍යයක් සිදු කරමින් සිටින බව ඔවුන්ගේ රසිකයින්නම් ඉතා හොඳින් දන්නා කරුණක් වන අතර එයද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මන්ද සතියේ දින පහ තුළම නොකඩවා එය සිදුකරන බැවිනි.
එහිදී ඔවුන් බොහෝ විට උත්සාහ දරණුයේ සමාජයේ කාලීන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වන අතර එම කාලීන මාතෘකාවල වෙනස්ම පැතිකඩක් රසිකයින්ට පිරි නමමින් ඔවුන්ගේ මුව තුළ සුභාවිත සිනහවක් ඇති කිරීමටත්, බුද්ධිධාරාවන් පුළුල් කිරීමටත් දක්වන සමත්කම අති විශිෂ්ඨය.
එමෙන්ම වැඩසටහන තුළ පැවතිය හැකි ඒකාකාරී බව දුරලමින් ඔවුන් ෂර්ලොක් හෝම්ස් කතා , රොබින් හුඩ් කතා, ත්‍රීවීල් චූටියා, ලෝටස් මාමා, විද්‍යා ප්‍රබන්ධ ආදී කතා තුළින් ද ප්‍රේක්ෂකයාට වෙනස්ම රසභාවයන් තිළිණ කිරීමට උත්සාහ දරයි.
ඔවුන් දෙදෙනාගේ තවත් විශේෂත්වයක් වන්නේ සෑම නිර්මාණයකම සමාජ දේශපාලනික කාරණා සියුම් ලෙස අන්තර්ගත කොට තිබීම වන අතර ඒ සෑම කරුණකටම කිසිවකු හට ඇඟිල්ල දිගු කිරීමට තරම් හැකියාවක් නොවන සේද ඔවුන් මෙම කටයුත්ත සිදු කරයි.
ඉදිං අප සාකච්ඡා කිරීමට යන්න්නේ ඔවුන්ගේ මෙම රේඩියෝ නාට්‍ය තුළ පසුගිය දිනෙක අපිට අසන්නට ලැබුණු ඉතාම අලංකාර සහ නිර්මාණශීලී නිර්මාණයක් සම්බන්ධයෙන් වන අතර ඔවුන් එය නම්කොට තිබුණේ " AI නිසා ජොබ් නැති වුන මිනිස්සු " වශයෙනි.

AI නැතිනම් කෘතීම බුද්ධිය සහ Chat GTP සම්බන්ධයෙන් සමාජයේ ඉතා ප්‍රභල සාකච්ඡාවක් මෑත මාස කිහිපය තුළ සමාජයේ පැණ නැගෙන්නට වූ අතර එහිදී බොහෝ පිරිසක් එහි ඇති වාසිසහගත තත්වයන් සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කිරීමට පෙළඹුණ ද සැබවින්ම චුට්ටේ සහ පොඩ්ඩේ දෙදෙනා මෙහිදී සාකච්ඡා කරණුයේ AI සම්බන්ධයෙන් වෙනස්ම පැතිකඩකි. එය තවදු සිදු වී නොමැතිමුත් ඉදිරියේදී සිදුවිය හැකි බව ඔවුන් සිය නිර්මාණය තුළින් ඉදිරිපත් කර දක්වයි.
විශේෂයෙන් AI සහ Chat GTP අපගේ නොයෙකුත් වැඩ කටයුතු පහසු කරන තාක්ෂණික දායාද වූව ද එහි ඇති භයානක තත්වයන් පිළිබඳව ද මේ වන විට සමාජ කතිකාවතක් නිර්මාණය වී ඇති අතර විශේෂයෙන් AI හට ලබාදෙන දත්ත පදනම්කරගනිමින් AI වෙනත් දත්තයන් නිර්මාණය කරගත හොත් කුමක් සිදුවෙයිද ? එමන්ම Chat GTP හරහා මිනිසුන්ගේ නිර්මාණශීලී ලේඛණ කුසලතාවට කුමක් සිදුවෙයි ද? පර්යේෂණ නිබන්ධන ලිවීම අනාගතයේ කුමන තත්වයකට යයිද වැනි සමාජ කතිකාවන් නිර්මාණය වී ඇත.
එහිදී Chat GTP හරහා ඔබට ඕනෑම මාතෘකාවක් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු ලබාගත හැක. සමහරවිට අනාගතයේ යම් දවසක මෙම සටහන ලියන මට ද ඔබට නැවත සටහනක් ලිවීමට අවස්ථාව උදා නොවෙන්නට පුළුවන. Chat GTP වල නැත්තේ හැඟීම් මුසු කරමින් ලියන ශෛල්‍ය පමණි. එමෙන්ම අප පර්යේෂණ නිබන්ධනනයක් ලිවීමේදී දහසකුත් වූ මූලාශ්‍ර පිරික්සිය යුතුය. සාහිත්‍ය විමර්ෂණ යනුවෙන් සිදු කරන්නේ එම මූලාශ්‍ර පිරික්සීමය. නමුත් Chat GTP හරහා එය ද දැං පහසුවෙන් කරගත හැකිය.
එම නිසා තව දුරටත් පර්යේෂණ නිබන්ධන ලිවීම බොරු වැඩක් වනු ඇත. AI ද එසේමය. ඔබ මම බොහෝ විට මීට පෙර කාලය, දැනුම සහ මුදල් වියදම් කරමින් ඉතා අමාරුවෙන් සිදුකරගන්නා ලද කටයුතු රාශියක් AI හරහා ඉතා පහසුවෙන් කරගත හැකිය. නමුත් ඒ හරහා පැමිණිය හැකි වෙනත් ගැටළු රාශියක් ද පවතින අතර විශේෂයෙන් එහිදී කැපී පෙනෙන්නේ බොහෝ පිරිසකට සිය රැකියා අහිමිවීමේ අවධානමය.

ඉදින් පොඩි මල්ලී සහ චූටි මල්ලී අනාගතත සම්බන්ධයෙන් වක්තෘ කෙනෙකු වශයෙන් පෙනී සිටිමින් සාකච්ඡා කරන්නේ ඒ සම්බන්ධයෙන් වන අතර එමෙන්ම ඕනෑම දෙයකින් ලැබෙනා වාසි අපි භුක්ති විඳිනවානම් ඒ හරහා ලැබෙන අවාසිද අපට භුක්ති විඳීමට සිදුවන බව ද අප මෙහිදී මතක තබාගත යුතුය.
සිය රේඩියෝ නාට්‍ය තුළ චුට්ටේ සහ පොඩ්ඩේ දෙදෙනා අනාගතයේ AI නිසා රැකියා අහිමිවන පළමු පුද්ගලයා ලෙස ගෙන එනු ලබන්නේ වෛද්‍යවරයෙකුය. සැබෑ ලෙසම AI නිසා වෛද්‍යවරුන්ගේ රැකියාව අහිමිවීම පිළිබඳව සිතාගත නොහැකි වූවත් ඔවුන් අනුමාන කර සිටින්නේ අනාගතයේ එවැනි තත්වයක් ද උදාවිය හැකි බවය. එය සිදුවන ආකාරය ද නිර්මාණශීලීව ඉදිරිපත් කරන්නේ පහත සඳහන් අයුරිනි.
" අර ආටිෆිෂල් ඉන්ටර්ලිජන්ස් කියල එකක් හදල. දැං අපෙන් බේත් ගන්න එන්නෙ නෑනේ. රිපෝට් ටික එන්ටර් කලා. ලෙඩේ රෝග ලක්ෂණ ටික කිව්වම කොම්පියුටරෙන් බේත ලියල දෙනවා. ඒක දීල ෆාමසියෙන් ගන්නවා. ඕකනේ කරන්නේ ".
ඉදින් චූටි මල්ලියි පොඩි මල්ලියි මේ ගෙනහැර දක්වන්නේ අනාගතයේ AI හේතුවෙන් වෛද්‍යවරයකු සහ සාමාන්‍යයෙන් මිනිසෙකු අතර ඇතිවිය හැකි සංවාදයකි. කෙසේ නමුත් දැනට පවතින තත්වය අනුව සහ සිදුකරගෙන යන්නා වූ වැඩිදියුණු කිරීම් අනුව අනාගතයේ එවැනි දෙබසක් නිර්මාණය නොවේ යැයි ඔබට හෝ මට කිව නොහැකිය.

AI හේතුවෙන් රැකියා අහිමිවන තවත් පිරිසක් ඇති අතර ඒ අතරින් ගෘහ නිර්මාණ ශිල්පීන් හටද රැකියා අහිමිවිය හැකි යැයි චුට්ටේ සහ පොඩ්ඩේ අනුමාන කරයි. විශේෂයෙන් ගෘහ නිර්මාණ ශිල්පයේදී ගෘහ ආකෘති නිර්මාණය කිරීම සඳහා මේ වන විටද පරිඝණක මෘදුකාංග කිහිපයක් භාවිත කරන බැවින් අනාගතයේ එම සියළුම කටයුතු පරිඝණකය නැතිනම AI භාර ගැනීමට ඉඩ ඇති බව සහ එම නිසා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රැකියා අවස්ථාවන් ද අහිමි වීමේ අවදානමක් ඇත.
"අපි කැම්පස් ගියා ඩිග්‍රි දෙකක් ගැහුව ආකිටෙක්. එහෙම කරල අපි බැස්සෙ වැඩට. දැං ඔක්කොම ඉවරයිනේ. දැං කවුරුත් ප්ලෑන් ඇඳගන්නෙ නෑනේ අපිට කියලා. කාමර කීයද ගබඩා කීයද ඔක්කොම කිව්වම කොම්පියුටරේ ඇඳල දෙනව ප්ලෑන් එක නියමෙටම. ඒක දැං මේ කොරෝනා බෝවෙන්න වගේ හැම තැනම තියනව ආටිෆිෂල් ඉන්ටර්ලිජන්ස් ".
එමෙන්ම පිටපත් රචකයින්ට, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට ද අනාගතයේ සිය රැකියා අහිමිවිය හැකි යැයි ඔවුන් අනුමාන කරයි. විශේෂයෙන් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ දේශන පැවැත්වීම, විභාග ප්‍රශ්න පත්‍ර නිර්මාණය කිරීම, ඒවා පරීක්ෂා කිරීම, නිබන්ධන ලිවීම ආදී සියල්ලම අනාගතයේ AI භාර ගැනීමට නියමිත නොවන බව කාටනම් කිව හැකි ද?
චූටි මල්ලී සහ පොඩි මල්ලී යන දෙදෙනා සිය නිර්මාණය තුළ ගෙනහැර දක්වන සන්දර්භය තුළ එක් විශේෂ ලක්ෂණයක් හඳුනාගත හැකිය. එනම් AI නිසා අහිමිවන රැකියා බොහොමයක් සමාජයේ උසස් යැයි සම්මත රැකියා වන බව සහ සමාජයේ පහත් යැයි සම්මත පොල් කැඩීම, කෘෂිකර්මාන්තය, වෛශ්‍යා වෘත්තිය, නීති විරෝධී මත්ද්‍රව්‍ය පෙරීම ආදී රැකියාවලට AI නිසා බලපෑමක් නොවන බවය.
එක් අතකට එහි සමාජ දේශපාලනික කරුණක් යටි පෙලක් වශයෙන් අන්තර්ගත කිරීමට මෙම ශිල්පීන් දෙදෙනා වඩාත් සූක්ෂම වී ඇත. AI හේතුවෙන් සමාජයේ උසස් යැයි සම්මත රැකියාවල නිරත වූවන්ට සමාජයේ පහත් යැයි සම්මත රැකියා කිරීමට සිදුවන බවත් සහ එම නිසා උසස් හෝ පහත් යැයි කියා රැකියාවක් නොමැති බව ද ඔවුන් ව්‍යංගයෙන් ප්‍රකාශ කර සිටී.
චූටි මල්ලී සහ පොඩී මල්ලී විද්‍යා ප්‍රභන්ධයක් ලෙස ගෙන එන මෙම නිර්මාණයේ කූඨප්‍රාප්තියට පැමිණෙන්නේ අවසාන කොටසේ දීය. එය ඉතාමත් රසවත් වන අතර එම කොටස ආරම්භ වන්නේ "ඔන්න දැං මල්ලි කෙනෙක් යනකොට ඉන්නව ගමේ මංත්‍රීතුමා. ආ මංත්‍රීතුමා"
කෘතීම බුද්ධිය හේතුවෙන් සියල්ලටම රැකියා අහිමි වූවත් මංත්‍රීවරුන් හට සිය රැකියා අහිමි නොවන බව චුට්ටේ සහ පොඩ්ඩේ පවසන්නේ හාස්‍ය මුසු උපහාසයෙන් වන අතර එහිදී ඔවුන් අදහස් කරණුයේ මංත්‍රීවරුන් දෙන පොරොන්දු කෘතීම බුද්ධියට දිය නොහැකි බවත් සහ ඔවුන් සිදුකරණ කොම්පියුටර් ජිල්මාට් කෘතීම බුද්ධියට හෝ සිදුකල නොහැකි බවය. එපමණක් නොව එවැනි රසවත් දෙබස් කිහිපයක් එහි මීට වඩා අඩංගුවන බැවින් එය සඳහන් කිරීමට වඩා එය අසා එහි රසය විඳ ගැනීමට ඔබට ආරාධානා කරමි.
කෙසේ නමුත් මෙම වැඩසටහනින් අනතුරුව පැවති වෙනත් වැඩසටහනකදී චූටි මල්ලී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ AI තාක්ෂණය කෙතරම් දියුණු වූවත් එය ශ්‍රී ලංකාවට පැමිණීමට බොහෝ කලක් ගතවන බව සහ සමහරවිට 2048 දී එය ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවය. මන් ද එවිට අප සංවර්ධිත රාජ්‍යයක් වන බැවිනි. සැබවින්ම එහිදී ද හාස්‍ය මුසු උපහාසයක් රසිකයාට පිරි නැමීමට ඔවුන් සූක්ෂම වී තිබීම විශිෂ්ඨය.