Skip to content

ජලභීතිකාවෙන් ආරක්ෂා වෙමු.

ලෝක ජල භීතිකා දිනය සැප්තැම්බර් මස 08 වෙනිදාට යෙදී තිබෙයි.මෙම සාකච්ඡාව ඒ වෙනුවෙනි.

ජලභීතිකාව හේතුවෙන් ලෝකයේ පුද්ගලයින් 59,000 ක් වත් අවම වශයෙන් මිය යයි.මෙම ප්‍රමාණයට අප රටින්ද සැළකිය යුතු ප්‍රමාණයක් ඇතුළත් වේ. ජලභීතිකාව නම්වූ මාරාන්තික රෝගයෙන් ජනතාව මුදා ගැනීම සදහා සෞඛ්‍ය අංශ විවිධ වැඩ සටහන් සංවිධානය කර පවත්වා ගෙන යයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු අධ්‍යක්ෂක වෛද්‍ය එල්.ඩී.කිත්සිරි මහතා මෙසේ අදහස් දක්වා සිටියේය.

ඖෂධ හිඟවීම් ගැන රටේම කතාබහක් ඇතිව තිබෙනවා. මේ ජලභීතිකා එන්නත්වල තත්ත්වය කුමක්ද?
ජලභීතිකාව කළමනාකරණය කිරීමෙහිලා මූලික වන්නේ සුනඛයන්ට ලබාදෙන එන්නත්. ඒ හැරුණූ විට සපා කෑමක් සිදු වූ විට අවදානමට ලක්වූ පුද්ගලයාට දෙන එන්නත්ද ඔහුගේ ජීවිතාරක්ෂාවට වැදගත් වෙනවා.

සුනඛයන්ට ලබාදෙන එන්නත් ලක්ෂ විස්සක් පසුගියදා අප ආනයනය කළා. මේ වන විටත් එයින් ලක්ෂ 18 ක් දිවයින පුරා බෙදා අවසන්. තවත් එන්නත් ලක්ෂ තුනහමාරක් විතර අපේ මධ්‍යම ගබඩාවෙත් තියෙනවා.  ඒ හැරෙන්නට ලක්ෂ දහයක වගේ එන්නත් ප්‍රමාණයක් ඉදිරියේදිත් ලැබෙන්නට නියමිතයි.  

මේ වන විට අපේ රටේ රෝග පාලනයට සතුන්ට ලබාදෙන එන්නත් වගේම සත්ත්ව සපා කෑමක් ඇතිවූ විට ලබා දෙන (PEP) එන්නත් හා විශේෂ තත්ත්වයන් යටතේ ලබාදෙන ඉමියුනොග්ලොබියුලින් එන්නත් අපට ප්‍රමාණවත්ව තිබෙනවා.

අපේ රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවය කවරාකාරද?
ජලභීතිකාව වැඩියෙන්ම ඇති වෙන්නේ සුනඛයන් හරහා. මේ අනුව සුනඛයන් එන්නත් කිරීම රෝගය පැතිරීම වැළැක්වීමට කළ යුතු ප්‍රමුඛ කාර්යයක් ලෙස සෞඛ්‍ය අංශ හඳූනාගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය කාලය තුළ සුනඛයන් හා නිවෙස් වල ඇති කරන සතුන් ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීමට විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. එහි සාර්ථකත්වය මත මේ වන විට ජලභිතිකා රෝගය නිසා මරණයට පත් වන සංඛ්‍යාව පුද්ගලයන් 25 ක් වගේ අවම අගයක් තමයි ගන්නේ.  එය අපේ රට ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් කිව යුතු වනවා.

මේ තත්ත්වය අපි සංසංදනාත්මකව විමසීමට ලක් කළොත්, 1970 දශකයේ සිට ඉදිරියට දශක කිහිපයක්ම අපේ රටේ අවුරුද්දකට සුනඛ සපා කෑම් නිසා ජලභීතිකාව වැළඳීමෙන් 400ක් විතර දෙනා මිය ගියා.

මේ වසරේ අගෝස්තු මාසය අගභාගය වන විට ජලභීතිකාව නිසා ජීවිතක්ෂයට පත්ව සිටින්නේ පුද්ගලයන් දොළොස් දෙනෙක් පමණයි. ඒ කියන්නේ සෞඛ්‍ය අභියෝග වඩාත්ම තිබෙන මේ කාලයේ පවා අපේ ප්‍රගති වාර්තාව හොඳයි.

වර්තමානයේ ජලභීතිකා පාලන වැඩපිළිවෙල මුහුණපාන අභියෝග මොනවාද?

මේ කාලයේ සුනඛ ගහණයේ වැඩි වීමක් දක්නට ලැබෙනවා. අපේ රටේ සුනඛයින් මිලියන තුනක් විතර ඉන්නවා. එයින් අයාලේ යන සුනඛයන් සමාජයට විශාල ගැටළුවක්ව තිබෙනවා.

සුනඛයන් එන්නත් කිරීම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ගේ හරහා තමයි ක්‍රියාත්මක වන්නේ. ඒත් තමන්ගේ ප්‍රදේශයේ පවත්නා අනතුර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ඒ පළාතේ පළාත් පාලන ආයතන වල ප්‍රමුඛ වගකීමක්. අවාසනාවකට මේ වගකීම ගැන ඇතැමෙක්ට එතරම් අවබෝධයක් නෑ. ග්‍රාම නිලධාරීන්, රජයේ ක්ෂේත්‍ර නිලධාරින් පවා මේ සම්බන්ධයෙන් අවබෝධයෙන් ක්‍රියාත්මක වෙනවා නම් එය ජලභීතිකා පාලනයට විශාල පහසුවක්. අවාසනාවන්ත සිදුවීම් වුණත් තවදුරටත් පාලනය කිරීමට එමගින් අවස්ථාව සැලසෙනවා.

සැම සුවසෙත උදෙසා එක්ව ක්‍රියා කරමු

මෙවර ලෝක ජලභීතිකා දිනයේ තේමාව “සැම සුවසෙත උදෙසා එක්ව ක්‍රියා කරමු ” යන්නයි. ජලභීතිකාව මාරාන්තික රෝගයක්. වාර්ෂිකව මේ රෝගය වැළඳීම නිසා 59,000ක් පමණ මිනිස් ජීවිත අපට අහිමි වනවා. මේ සංඛ්‍යාවෙන් වැඩි දෙනෙක් වයස අවු. 15ට අඩු දරුවන්. ජලභීතිකාව මර්ධනය කිරීමෙහිලා පොදු අරමුණකින් යුක්තව සියළු පාර්ශ්වකරුවන් මෙන්ම මහජනතාවද එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරනවා. ජනතාවගේ යහපත මෙන්ම සත්ත්වයන්ගේ ආරක්ෂාවද පරිසර පද්ධතියේ තිරසාර යහ පැවැත්මද මෙහිලා අපගේ විශේෂ අවධානයට ලක් විය යුතුයි. විශේෂයෙන්ම මාරාන්තික ජලභීතිකා අභියෝගය ජය ගැනීම සඳහා සෞඛ්‍ය, කෘෂිකර්ම, වන ජීවී අංශවල සහයෝගිතාවයද අතිශයින්ම වැදගත් වනවා.

සාර්ථක ජලභීතිකා පාලනයක් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වශයෙන් පහත ඉලක්ක හඳූනාගෙන තිබෙනවා.

ජලභීතිකා එන්නත සුනඛයන්ට ලබාදීම

  • වීදි සුනඛයන් පාලනය කිරීම
  • ජලභීතිකාව වැළැක්වීම හා පාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැණූවත් කිරීම
  • සපා කෑමකදී ජීවිත ආරක්ෂා කරන එන්නත් Post-exposure prophylaxis (PEP) පහසුවෙන් ලබා ගැනීමට ඇති අවස්ථා සුලබ කිරීම

කාලෙකට ඉස්සර අයාලේ යන සුනඛයන් මරණයට පත් කිරීමේ ක්‍රියාවලියක් සිදු වුණා. එය දැන් සිදු වන්නේ නෑ. එහෙනම් සුනඛ ගහනය පාලනය කිරීමට ඔබට විකල්ප වැඩපිළිවෙලක් තිබෙනවාද?

සුනඛයන් වන්ධ්‍යාකරණය අද අපේ රටේ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ වන්ධ්‍යාකරණය නිසා සුනඛ ගහනයෙහි පාලනයක් ඇති වී තිබෙනවා. එය නිරායාසයෙන්ම ජලභිතිකා ව්‍යාප්තිය පාලනයකට ලක් කරවන ප්‍රබල සාධකයක් වෙනවා. සුනඛයන්ගේ සැත්කම් සිදු කරමින් උන්ගේ බෝවීම පාලනය කිරීමට ඒ අනූව සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

අපි වර්ෂයකට වන්ධ්‍යාකරණ සැත්කම් 50,000ක් විතර සිද්ධ කරනවා. එහි සුළු අඩුවක් මේ වර්ෂයේදී සිදුවන්නට ඉඩ තිබෙනවා. ඒ එම මුළු සැත්කම්
ප්‍රමාණය සිදු කරන්නට මූල්‍යමය බාධකයක් ඇතිව තිබෙන නිසයි.

මේ වන්ධ්‍යාකරන සැත්කම් අප සිදු කරන්නේ බාහිර පාර්ශ්ව වෙත ලබාදෙන ටෙන්ඩර් මගින්. ඔවුන් කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීම් වලට අනුව මේ වර්ෂයේදී වන්ධ්‍යාකරන සැත්කම් වලට දෙන මුදල වැඩි කරන්නට සිදුවී තිබෙනවා. ඒත් අපේ වාර්ෂිකව ලැබෙන ප්‍රතිපාදන වල වැඩිවීමක් සිදුව නෑ. මේ නිසා මේ වර්ෂයේ සිදු කරන සුනඛ වන්ධ්‍යාකරන සැත්කම් ප්‍රමාණය 35,000ක පමණ අගයකට පහත වැටෙන්නට ඉඩ තිබෙනවා.

ළඟට නොගොස් සතුන් එන්නත් කරන ඔටෝ ප්ලන්ජර් තාක්ෂණය
දැන් මේ සුනඛයන් එන්නත් කිරීම සඳහා නව්‍ය තාක්ෂණයක් යොදා ගන්නවා.

කුමක්ද මේ ඔටෝ ප්ලන්ජර්  තාක්ෂණය කියන්නේ?.

සතා අල්ලන්නෙවත් නැතුව ඈත ඉඳගෙන වුණත් මෙහිදී සුනඛයෙක් එන්නත් කරන්නට පුළුවන්.  දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම මේ ඔටෝ ප්ලන්ජර් ලබාදී තිබෙනවා.

ජලභීතිකා පාලන වැඩසටහන මේ වන විට මුහුණපා ඇති අභියෝග මොනවාද?

මේ වන විට අපට ඇති අභියෝග වශයෙන් මානව සම්පත් හිඟවීම සහ වාහන පහසුකම් නොමැති වීම මූලිකව පෙන්වා දෙන්න පුළුවන්. මහජන සෞඛ්‍යය පිළිබඳව අතිරේක ලේකම්තුමිය වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ කීර්ති තෙන්නකෝන් මහතා වැනි උසස් නිලධාරින්ද අපේ කටයුතු සාර්ථක කරගන්නට විශාල සහයෝගයක් ලබා දෙනවා. අප ඉලක්ක වලට යා යුතුයි. හිඟපාඩුව සිටින සේවක මණ්ඩල සම්පූර්ණ කිරීමත්, දිස්ත්‍රික්ක වල ක්ෂේත්‍ර කටයුතු සඳහා අවශ්‍ය වාහන මිලදී ගැනීමත් කඩිනමින් කළ යුතු වෙනවා.

ජගත් ජල භීතිකා මර්ධන ක්‍රියාකාරකම් අතරේ අපේ ස්ථානය කවරාකාරද?

අපේ ජලභීතිකා එන්නත් වැඩසටහන සාපේක්ෂව ඉහළ ජයග්‍රහණ ලැබූ වැඩසටහනක්. අසල්වැසි ඉන්දියාවේ විශාල මරණ සංඛ්‍යාවක් වාර්ෂිකව සිදුවෙන පසුබිමක අපේ රටට ඉක්මණින් මේ රෝග ව්‍යාප්තිය සහමුලින්ම පාලනයට ලක් කිරීමේ ශක්තියක් ඇති වැඩපිළිවෙලක් පවත්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා විශ්වාස කරනවා.

2025 වන විට ජලභීතිකාව මේ රටින් මුලිණූපුටා දැමීමේ අරමුණක් ඇත්තෙන්ම අපට තිබුණා. නමුත් පසුගිය කාලයේ රටක් වශයෙන් අපට මුහුණ පාන්නට සිදු වූ අභියෝග නිසා එවන් කඩිනම් මුලිණූපුටා දැමීමකට බාධා තියෙනවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය 2030 දී ජලභීතිකාව මුලිණූපුටා දැමීමේ වැඩසටහනට අපත් අනුගත වී එය අපේ රටෙන් කඩිනමින් මුලිණූපුටා දැමීමට ක්‍රියාත්මක වෙන්න අපේ කැපවීම තිබෙනවා.

වෙසෙසින් ඔබේ අවධානයට ලක් විය යුතු කරුණූ කිහිපයක්

සාමාන්‍යයෙන් මිනිසුන් අටකට එක් බල්ලෙක් සිටිනවා. වසර කිහිපයක් තුළ මේ ජලභිතිකා අභියෝගය සාර්ථකව ජය ගන්නට නම්, ඇත්තෙන්ම ජලභීතිකාව මුලිණුපුටා දමන්නට නම් ජනගහනය 50,000 කට එක් සුනඛ එන්නත් කරුවෙක් වත් සිටිය යුතුයි. එහෙම වුණා නම් වසරක් තුළ රටේම එන්නත්කරණය සාර්ථක වෙනවා. රංචු ප්‍රතිශක්තියේද වාසිය ලබමින් මේ ගැටළුවෙන් සදහටම මිදීමේ දැඩි ඕනෑකමක් අපට තියෙනවා.

මේ රෝගය මර්ධනය කිරීමෙහිලා අපට තවත් අභියෝගයක් තිබෙනවා. එයට අපට අනන්‍ය වූ පරිසර පද්ධතියේ දායකත්වයක් තියෙනවා. බලලුන්, උගුඩුවො, කලවැද්දො, දඬු ලේනුන් වගේ සතුන් ගෘහාශ්‍රිතව වෙසෙනවා. මේ සතුන් පාලනයද මේ රෝගයට එරෙහිව ක්‍රියාත්මක වීමේදී අප වෙසෙසින්ම සළකා බැලිය යුතු වනවා.

පසුගිය කාලයේ සිද්ධින් සමාලෝචනයේදී බල්ලන් වගේම බලු පැටවුන්ද ජලභීතිකා මරණ වලට ලොකු දායකත්වයක් දක්වනවා. එන්නත් කරන වයසට එළඹෙන්නටත් පෙර බලු පැටවුන් ජලභීතිකා ආසාදිතයන් බවට පත් වෙනවා. බලු පැටවුන් ගෘහාශ්‍රිතව දැඩි ඇල්මකින් තමයි හදා වඩා ගන්නේ. මේ නිසා අවාසනාව බලු පැටවුන් හරහාත් එන්න පුලුවනි.

ගැහැණු සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීම සුනඛ ගහනය වැඩිවීම පාලනය කිරීමට හොඳ විකල්පයක්. අප ගෙවල්වල සුරතලයට ඇති කරන සතුන්  වන්ධ්‍යාකරණයට ලක් කරනවා. නමුත් සාර්ථක පාලනයක් උදෙසා වීදි සුනඛයන් වන්ද්‍යාකරණය සිදු කළ යුතුයි. ස්වේච්ඡා සංවිධාන විසින්ද වර්ෂයකට සුනඛයන් 15,000කට ආසන්න සංඛ්‍යාවක් වන්ධ්‍යාකරණයට ලක් කරවන අතර ඇත්තෙන්ම එය ප්‍රශංසා කටයුතු සේවයක්.

Latest