මේ වනවිට අසල්වැසි ඉන්දියාව ඇතුලුව තවත් රටවල් කිහිපයක ව්‍යාප්ත වී ඇති “නිපා” වෛරසය සම්බන්ධයෙන් රටේ ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත් ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම පරීක්ෂණ කට්ටල දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත අතර “නිපා” වෛරසය පැතිරීම ඉතා අඩු වේගයක් පෙන්නුම් කරන බැවින් එය රටවල් අතර පැතිරීමේ අවදානමක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි.
“නිපා” වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නතක් ගෝලීයව මෙතෙක් නිෂ්පාදනය වී නොමැති බවද වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකි අබේනායක සදහන් කළහ.
නිපා ( Nipha ) වෛරසය මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝ වන (Zoonotic ) බවට සොයාගෙන ඇති අතර මෙය මුල්වරට හඳුනාගෙන ඇත්තේ මැලේසියාවේ ඌරු ගොවිපළ වල කටයුතු කළ පිරිසක් අතර පැතිර ගිය අවස්ථාවේදී බවයි සඳහන් වන්නේ.
මෙවර වෛරසය පැතිර යන කේරලය පසුගිය වසර පහ තුළ මෙම වසංගතයට මුහුණ දෙන්නේ හතරවෙනි වතාවට වන අතර ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම ආසාදන පැතිරයාමට හේතුව ලෙස සැලකෙන්නේ ස්වභාවික මෙම නීපා වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාධිත සතුන්ගේ මුත්‍රා සහ කෙළ තැවරුණු පළතුරු වර්ග මිනිසුන් විසින් ආහාරයට ගැනීම නිසා බවයි.
දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මුත්‍රා මගින් මෙය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝ විට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කළ අයට බවයි සඳහන් වන්නේ.
වෛරසය සිරුරට ඇතුළු වී දින හතරත් දාහතරත් අතර කලක දී උණ, හිසරදය, මස්පිඩු වේදනාව, වමනය උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇති වන බවත්, හඳුනාගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවත් සඳහන්.
මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වා ගැනීමට රෝගීන් සමඟ කටයුතු කිරීමේදී ආරක්ෂිත ක්‍රමවේද මගින් ඔවුන්ගේ ශරීර තරල වලට නිරාවරණය වීම වලක්වා ගැනෙන අතර මෙය වළක්වන එන්නතක් දැනට භාවිතයේ නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.