Skip to content

නීතිය යන්න සරලව හඳුනාගමු

නීතිය පිළිබඳව නොදැන සිටීම නිදහසට කරුණක් නොවුණත් සැබවින්ම එය බොහෝ විට රටේ එදිනෙදා ක්‍රියාත්මක වන සාමාන්‍යයෙන් නීතිය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය නොදැන සිටීම වේ. නමුත් මෙම ලිපිය තුළින් සකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ රටේ සමාන්‍ය නීතිය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් නොවන අතර නීතිය සම්බන්ධයෙන් වෙනස්ම වූ කරුණු කිහිපයකි.

නීතිය යන්නට මානව ඉතිහාසය තුළ ඉදිරිපත් වූ නා නා විධ දහස් ගණන් වූ අර්ථකතනයන් ඇති අතර ඒ අතරින් ප්‍රසිද්ධ අර්ථ දැක්වීමකට අනුව නීතිය යනු එය අයත් වන්නාවූ සමාජයේ ජීවත්වන්නන් කීකරු විය යුතු හෙවත් අවනත විය යුතු රීතීන් සමූහයකි. තවත් අර්ථ දැක්වීමකට අනුව එය යුක්තිය පසිඳලීමේ කාර්යයේදී රජයක් විසින් පිළිගනු ලබන්නා වූ සහ යොදාගනු ලබන්නා වූ මූලධර්ම සමුච්චයක් හෙවත් එකතුවකි.

කෙසේ නමුත් කොයි ආකාරයක හෝ අර්ථ දැක්වීම් තිබුණද ඒ සියල්ල විමසා බැලීමේදී පෙනී යන්නේ නීතිය යනු සමාජයක විනාශය හෝ පරිහානිය නොව එහි පැවැත්ම හෝ ආරක්ෂාව සඳහා සකස් වූ සහ පිළිපැදිය යුතු රීතීන් වන බවය. මෙම නීති පද්ධතීන් රටකින් රටකට, පාලන තන්ත්‍රයකින් තවත් පාලන තන්ත්‍රයකට වෙනස්විය ද හැකිය.

කෙසේ නමුත් දියුණු සමාජයක නීති පද්ධතීන්හී දක්නට ලැබෙන දියුණු ලක්ෂණ නොදියුණු සමාජයක නීති පද්ධතීන් තුළ දක්නට නොලැබිය හැකිය. පිටත සිට බැලීමේදී එකී නොදියුණු සමාජයේ නීති පද්ධතියේ අසාධාරණ සහ අමානුෂික බවක් දැකිය හැකි වූවත් ඒවා එම සමාජයේ මිම්මෙන් බලන කල සාධාරණ වා බව ද සමහරවිට පිළි ගැනීමට සිදු වේ.

උදාහරණ ලෙස උතුරු කොරියාවේ හෝ මැදපෙරදිග ඇතැම් රාජ්‍යයන් වල දක්නට ලැබෙන නීති පද්ධති පිටතින් සිට බලන අපට විටෙක ඉතා අමානුෂික යැයි සිතෙන්නට හැකි වූවත් සමහරවිට එම සමාජ පසුබිම තුළ එම නීති විටෙක සාධාරණ විය හැකිය.

කෙසේ නමුත් මිනිස් සමාජය විකාශනය වී වර්ධනය වූ දා සිටම නීතිය නැතිනම් Law යනු කුමක්දැයි හඳුනා ගැනීමට බොහෝ දෙනා උත්සාහ දරා ඇති අතර එහෙත් සෑම රටකටම සෑම ජාතියකටම පිරිමැසෙන, පිළිගැන්වෙන නිර්වචනයක් හෝ අර්ථකතනයක් මේ වන තුරු ද නැත. නමුත් ශිෂ්ඨ සම්පන්න සමාජයක් අවශ්‍යනම් නීතියක් අත්‍යාවශ්‍ය බව නම් පිළිගත යුතු අතර ලෝකයේ ගෝත්‍රික නොදියුණු සමාජයන්හී පවා නීතියක් නොමැති වූවත් රීතීන් ( Rules ) පිහිටුවාගෙන ඇති බවක් නිරීක්ෂණය කළ හැකිය.

මෙතුවක් වේලා සඳහන් කළ පරිදි නීතිය නිර්වචන ආශ්‍රයෙන් හඳුනා ගැනීමේ අසීරුතාව නිසා කළ යුතු එකම දෙය වන්නේ ප්‍රායෝගිකව අත්දකින්නට ලැබෙන නීති කොට්ඨාශයන් අධ්‍යයනයට හසු කිරීමය. සම්පාදනය කර ඇති සෑම නීති කොට්ඨාශයක් ම නොව දිනෙන් දින අපට අසන්නට, අත්දකින්නට, අත් විඳින්නට ලැබෙන නීතීන් විචාරයකින් යුතුව සලකා බැලීමෙන් නීතිය යන්න බොහෝ දුරට ඵලදායී ලෙස හඳුනා ගත හැකිය.

සැබවින්ම සාමාන්‍ය මහ ජනතාව වන අප කිසියම් පාලක පක්ෂයකින් පාලනය වන පාලිතයන් වෙමු. හොඳින් දන්නා පරිදි නීති පැනවෙන්නේ අපගේ වරණයෙන් හෙවත් කැමැත්තෙන් අප පාලනය කිරීමට වරම් ලබන පාලන කොට්ඨාශයකිනි. ශ්‍රී ලංකාවේ නම් පාර්ලිමේන්තුව මඟින් නීති සම්පාදනය කෙරෙන අතර පාලකයන් වූ පමණින් තනි කැමැත්තට ද නීතියක් සම්පාදනය කිරීමට අවස්ථාව නැත.

මේ නිසාම ඇතැම් මතධාරීහූ නීතිය පාලකයන් විසින් පාලිතයන් තම අභිප්‍රායන් සඳහා හික්මවා ගැනීම පිණිස පනවා භාවිතාවේ යෙදවීමට ගෙන එන ලෝගුවකින් වැසූ කැපෙන ආයුධයක් හෝ උරුක් කල දබර ඇඟිල්ලක් ලෙස විග්‍රහ කරති.

මෙම විග්‍රහයන් කෙසේ වූව ද මිනිස් වර්ගයා පවතින තාක් කල් නීති පැනවීම සෑම පාලන ක්‍රමයක් මඟින්ම සිදුවීම නොනවතින බව අප විසින් අවබෝධකරගත යුතු අතර එසේ නම් පැනවිය යුතු සහ පැනවිය හැකි නීතියට අවනත විය යුතු බැවින් අප ඒ පිළිබඳව යම් තරමක හෝ දැනුමක් ලබා සිටීම අත්‍යාවශ්‍ය වන බැවින් නීතිය සම්බන්ධයෙන් තව දුරටත් සොයා බලමු.

නීතිය භාවිතයෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී පිළිගැනෙන යම් යම් මූලික පිළිගැනීම් ද වේ. නීතිය නොදැනීම වරදට සමාව ලැබෙන කාරණයක් නොවේය යන්න ඉන් එකක් වන අතර මේ අනුව නීතිය අනුව වරදක් විය හැකි ක්‍රියාවක් හෝ අත්හැරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයකු විසින් තමා එම වරද කලේ එවැනි නීතියක් පවත්නා බව නොදැන බව ප්‍රකාශ කර සහනයක් ඉල්ලා සිටිය නොහැකිය.

මෙය නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යෑමට අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස ද සැලකෙන අතර එසේ නොවිණි නම් එම විත්ති වාචකයෙන්ම සියළුම අධිකරණ පද්ධතීන් බිඳ වැටෙන බව ද සඳහන් කළ යුතුය. යුක්තිය පසිඳලීමේදී අධිකරණ මූලික වශයෙන් පිළි ගන්නා තවත් සිද්ධාන්තයක් වන්නේ " දෙපැත්තම අසනු " යන්නය.

" අවුඩි අල්ටරමේ පාටෙම් " යන ලතින් වහරින් කියැවෙන මෙම සිද්ධාන්තය අද ලොව සියළු අධිකරණයන් විසින් උසස් ලෙස පිළිගනු ලබන අතර ඕනෑම වරදක් සම්බන්ධව දෙපත්තක් පවතින බව ඉන් වැඩි දුරටත් අදහස් වේ. පැමිණිල්ල සහ චෝදනා ලබන පක්ෂය යනු එම දෙපැත්තයි. පැමිණිල්ල විභාග කරනවා යනුවෙන් අදහස් කරන්නේ මෙම දෙපත්තෙහිම කරුණු කෙරෙහි සවන්දීම වන අතර නඩුවේ තීන්දුව ලැබෙන්නේ ඒ අයුරිනි.

මේ ආකාරයට දක්වන ලද්දේ නීතිය සම්බන්ධයෙන් පොදුවේ සාමාන්‍යයෙන් දැනගතයුතු සරල හැඳින්වීමක් පමණි. සැබවින්ම නීතිය සම්බන්ධයෙන් මෙපමණකට වඩා ඉතා ගැඹුරු අර්ථකතනයන් ලබා දිය හැකි මුත් සාමාන්‍ය මහජනතාව වශයෙන් අපට මෙම හඳුනා ගැනීම ප්‍රමාණවත් යැයි සිතේ.

නීතිය සමාජයේ ජීවත්වන සෑම පුරවැසියකුගේම ජීවිතය හා බැඳී පවතින්නක් වන අතර කෙනෙකුගේ උපතේ සිට මරණය දක්වා වූ ජීවිතයේ සෑම අවස්ථාවකදීම නීතියේ අවශ්‍යතාව මතුව පෙනේ. එය සාමාන්‍ය පිළි ගැනීමයි. කෙසේ නමුත් මෙයට තරමක් ගැඹුරට ගොස් පුළුල්ව සලකා බලන්නේ නම් උපතටත් පෙර එනම් මව් කුස තුළ කලල අවස්ථාවේ සිට මරණින් පසු කාල සීමාව දක්වාත් නීතියේ බලපෑම මිනිසෙකුට උරුම වේ.

උදාහරණ ලෙස පවසන්නේ නම් මව් කුස තුළ කළල අවස්ථාවේ එම කළලය විනාශ කර දැමීම නැතිනම් ගබ්සා කිරීම හෝ එවැනි ක්‍රියාවකට අනුබල දීම අපගේ නීති පද්ධතිය තුළ දණ්ඩනීය වරදකි. එය සාපරාධී ක්‍රියාවකි. අපරාධ සම්බන්ධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි. දණ්ඩ නීති සංග්‍රහයේ 303 සහ 304 වගන්ති මගින් එයට ප්‍රතිපාදන ද වෙන්කර ඇත.

එමෙන්ම කෙනෙකුගේ මරණින් මතු යම් කාලයක් දක්වාද එම පුද්ගලයාගේ දේහය සහ දේපළ පිළිබඳව ද නීතියේ බලපෑමක් ඇත. ජීවත් සිටියදී ඔබ හෝ මම යම් දේපළක් අත්කරගෙන සිටියේ නම් අපගේ මරණින් පසු එම දේපළ අයත් වන්නේ ප්‍රධාන වශයෙන් අපගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් කර ඇති අයෙකු හට වන අතර එමෙන්ම දේහයක් භූමදානය කළ පසු එය නැවත ගොඩ ගැනීම සඳහා  ද අධිකරණ නියෝගයක් අවශ්‍ය වේ.

නීති පද්ධතියක් සැබවින්ම සමාජයට අයත් වන්නේ සමාජය ශිෂ්ඨසම්පන්නව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා වන අතර නමුත් නීතියට පමණක් සමාජයක් එසේ ශිෂ්ඨසම්පන්නව ඉදිරියට පවත්වාගෙන යෑම ඉතාමත් අසීරුය. මන්ද සමාජයේ සෑම පුද්ගලයකුම නීති වලට අවනත නොවන බැවිනි. එම නිසා නීතියට සිදු කිරීමට නොහැකි එම කටයුතු සිදු කිරීම පැවරෙන්නේ ලෝකයේ පවතින එක් එක් ආගම්වලට බව ද අමතර කරුණක් ලෙස දක්වමි.

මේ ආකාරයට මව් කුසේ සිට මරණින් පසුව ද සමාජයේ ඕනෑම අයකු හට නීතියේ බලපෑමෙන් මිදීමය ඉඩක් නැති බැවින් සැබවින්ම දැනුම සිංහලෙන් ගෙන එන getpeakonline  අපට අවශ්‍ය වූයේ නීතිය සම්බන්ධයෙන් මූලික අවබෝධයක් ඔබට ලබා දීමටය. මන්ද එය සමාජ මෙහෙවරක් ලෙස අප සලකන බැවිනි. මෙම මූලික අවබෝධය එදිනෙදා ජීවිතයේදී ඔබට නීතිය සම්බන්ධ ගැටළු විසඳා ගැනීමට සහ ශිෂ්ඨසම්පන්නව ජීවත්වීම සඳහා ඉතාම සුළු වශයෙන් හෝ උපස්ථම්භක වේ යැයිද අප බලාපොරොත්තු වෙමු.

Latest