Skip to content

ලෙස්ටර් මහතාගෙන් පසු කාන් සිනමා උළෙල ජුරියකට සංජිව පුෂ්පකුමාර තෝරා ගනියි.

සංජිව පුෂ්පකුමාර

ප්‍රංශයේ කාන් සිනමා උළෙලට සමාගාමීව පැවැත්වෙන සිනමා ව්‍යාපෘතියක ජූරි සභිකයෙකු ලෙස සම්මානනීය ශ්‍රී ලාංකික සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාර තෝරාගෙන තිබේ.

කාන් සිනමා උළෙලේ ජූරි සභාවකට ආරාධනා ලැබූ දෙවන ශ්‍රී ලාංකික සිනමාකරුවා වන්නේ සංජීව පුෂ්පකුමාර මහතායි.

මීට පෙර 1992 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කාන් සිනමා උළෙලේ ප්‍රධාන කාණ්ඩයක් වන වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩයේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කොට ඇත.

කාන් සිනමා උළෙලේ ජූරි සභාවක මෙතෙක් සාමාජිකත්වය හිමි වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන්නේ,  ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සංජීව පුෂ්පකුමාර මහතායි.

කාන් සිනමා උළෙලේ එවන් ගෞරවයක් ශ්‍රී ලංකාවට මෙවර හිමි වී ඇත්තේ වසර 21කට පසුව වීම විශේෂත්වයකි.

පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂණය කළ 'ඉගිළෙන මාළුවෝ' (Flying Fish) චිත්‍රපටය  වෙනුවෙන් ජාත්‍යන්තර රොටර්ඩෑම් සිනමා උළෙලේදී හ්‍යුබර්ට් බාල්ස් මූල්‍ය ප්‍රතිපාදන ත්‍යාගය හිමි වු අතර, ඔහුගේ දෙවන සිනමා නිර්මාණය වූ 'දැවෙන විහඟුන්' (Burning Birds) චිත්‍රපටය බූසාන් සිනමා උළෙල නියෝජනය කළේ ය.

'විහඟ ප්‍රේමය' (Peacock Lament) නමින් පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණය 35 වන ටෝකියෝ සිනමා උළෙලේදී හොඳ ම කලාත්මක දායකත්වය වෙනුවෙන් සම්මාන දිනාගනු ලැබීය.

Latest