Skip to content

2022 වසරේ ලංවීම අලාභය බිලියන 167.2 ක්

පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 409 ක් ලෙස වාර්තා වූ බවත් 2022 වසරේ එම අලාභය රුපියල් බිලියන 167.2 ක් ලෙස වාර්තා වූ බවත් එම අලාභය නිසා විවිධ අපහසුකම්වලට මුහුණදීමට සිදු වූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මේ වන විට සැපයුම්කරුවන්ගේ සියලු ගෙවීම් අවසන් කර තිබෙන බවත් නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර තිබෙන බවත් ඇමැතිවරයා කීය.

විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 120 ක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතුව තිබුණත් එය රජය විසින් ශේෂ පත්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවත් එම නිසා විදුලිබල මණ්ඩලය දැන් මූල්‍ය අතින් ශක්තිමත් තැනකට පැමිණෙමින් තිබෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවැසීය.

පසුගිය වසර 03 තුළ නවතා දමා තිබූ නඩත්තු කටයුතු සහ නව සබඳතා ලබා දීමේ කටයුතු නැවත ආරම්භ කර තිබෙන බවත් මේ වන විට නව සබඳතා 36,000 සඳහා ඉල්ලුම් කර ඇති අතර ඉන් 20,000 සබඳතා ලබා දී අවසන් කර තිබෙන බවත් ඉදිරි මාස දෙක ඇතුළත ඉතිරි සබඳතා ලබාදීමට කටයුතු කරන බවත් කංචන විජේසේකර ඇමැතිවරයා සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ දැනට සේවයේ නියුතු ස්ථිර නොවූ NVQ පාඨමාලා හදාරා ඇති සේවකයින් ස්ථිර කිරීම සිදු කරන්න බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවැසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Latest