Skip to content

ආකර්ෂණ නීතිය ( Law of attraction )

ස්ටොයිකවාදය සම්බන්ධයෙන් මීට පෙර ගෙන ආ ලිපිය තුළදී මා ප්‍රකාශ කරන්නට වූයේ ආකර්ෂණ නීතිය යනු ස්ටොයිකවාදයට හාත්පසින්ම පටහැණි වූ සංකල්පයක් වන බවත් සහ ආකර්ෂණ නීතිය පිළිබඳව ද වෙනම ලිපියක් මඟින් සාකච්ඡා කරන බවය. ඉදිං මේ එම ලිපියයි.

ස්ටොයිකවාදය සේම ආකර්ෂණ නීතිය යනු ද ලෝකයේ මිනිසුන් සිය ජීවිත ගමන ඉදිරියට ගෙන යෑමේදී අනුගමනය කරන හෝ අත්හදා බලන සංකල්පයකි. නැතිනම් අත්හදා බැලිය හැකි සංකල්පයකි. මෙය එක්තරා ආකාරයකට දර්ශනයක් වශයෙන් ද හඳුන්වා දීමට පුළුවන. එපමණක් නොව මෙය විශ්වයේ නීති 12 න් එක් නීතියක් ද වේ ( ඊ ළඟ ලිපිය විශ්වයේ නීති 12 පිළිබඳවය ).

කෙසේ නමුත් ආකර්ෂණ නීතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ගත්විට විශේෂයෙන් සමාජ මාධ්‍යයේ පැහැදිලි වශයෙන් සැලකියයුතු කතිකාවතක් අපට හඳුනාගත ගැනීමට හැකි අතර එලෙස මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බොහෝ ස්ථානවල දක්වා ඇත්තේ " සිතූ පැතූ සම්පත් දෙන ආකර්ෂණ නීතිය වශයෙනි ".

නමුත් සිතූ පැතූ සම්පත් ලැබේ ද යැයි, නොලැබේ ද යැයි මෙය අත්හදා බැලීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක් යැයි සිතේ. එමෙන්ම ස්ටොයිකවාදයේ සංකල්ප සේම ආකර්ෂණ නීතියේ ද සංකල්ප ඔබත් මමත් මේ වන විට ජීවිතය තුළ යොදාගෙන ඇතැයි ලිපිය පරිශීලනය කරන ඔබට යම් අවස්ථාවක වැටහෙනු ඇත. ඉදිං එසේ නම් අපට මේ වන විට සිතූ පැතූ සම්පත් ලැබී තිබේ ද යන්න ද ප්‍රශ්නකාරීය.

එම නිසා මෙමඟින් සිතූ පැතූ සම්පත් ලැබෙන්නේ යැයි කිසිවකුට හෝ වගවිය නොහැකි නමුත් ආකර්ෂණ නීතිය පිළිබඳව ද දැන සිටීම මොළයට ලාභයක් වනු නොඅනුමානය. එමෙන්ම කුමන ආකාරයේ පුද්ගලයකුට වූව ද අතුරු ආබාධයකින් තොරව මෙය අත්හදා බැලිය හැකිය.

ආකර්ෂණ නීතිය ( Law od attraction ) යනු අනෙකුත් විශ්වීය නීති 11 සේම කාලයක් තිස්සේ මිනිසාගේ අත්දැකීම් ඇසුරින් මෙය විශ්වයේ නීතියක් වශයෙන් තහවුරුකොට ගත්තක් වන අතර එම නිසා මෙයට නිශ්චිත අයිතිකරුවකු නොමැත. කෙසේ නමුත් මෙය සැලකෙන්නේ විශ්වීය නීති 12 හේ වඩාත් ජනප්‍රියම සහ ආකර්ෂණීයම නීතිය වශයෙනි.

සැබවින්ම මෙය අමුතු දෙයක් නොවේ. කාලයක් තිස්සේ ඔබත් මමත් ආකර්ෂණ නීතිය ජීවිතයට සම්බන්ධ කරගෙන කටයුතු කළ අවස්ථා ඕනෑ තරම් තිබෙන්නට පුළුවන. මෙයට ආකර්ෂණ නීතිය යැයි අප කීව ද ධනාත්මක චින්තනය යනුවෙන් කීම ද වරදක් නොවන බව වැඩි දුරටත් සිතා බලන විට හැඟී යයි.

කෙටියෙන්ම ආකර්ෂණ නීතියෙන් කියන්නේ ඔබ ධනාත්මක සිතන්නේ නම් ඔබේ ජීවිතයට ධනාත්මක ප්‍රතිඵල ලැබෙන බවත්, ඔබ ඍණාත්මකව සිතන්නේ නම් ඍණාත්මක ප්‍රතිඵල ඔබේ ජීවිතයට ලැබෙන බවත් ය. ඉදිං මෙය දැනටමත් අපගේ ජීවිතයට සම්බන්ධ කරගත් සංකල්පයක් වන බව පැහැදිලි වන අතර ඒ අනුව Law of attraction සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අපගේ සිතුවිලි මතය.

සිතුවිල්ලක් යනු එක් අතකින් බලනවිට එක්තරා ශක්තියක් වන අතර මේ ශක්තිය අපි අපගේ ජීවිතයට ලබා ගන්නා බවත් එම නිසා ධනාත්මක සිතුවිලි අනුව කටයුතු කරන්නේ නම් ලැබෙන්නේ ධනාත්මක ශක්තියකි. කෙනෙකුගේ ධනාත්මක සිතුවිලි සෑම විටම ඔහුට ධනාත්මක ශක්තියක් වශයෙන් බලපාන බව Law of attraction මඟින් කියන අතර ධනාත්මක සිතුවිලි සහිත පුද්ගලයකු හට සෑම විටම විශ්වය මඟින් ආකර්ෂණය කර දෙනුයේ ධනාත්මක දේවල් පමණක් බව ද එමඟින් කියයි.

කෙසේ වෙතත් මේ ආකාරයට කියන විෂ්ව ආකර්ෂණ නීතිය සමහර කොට්ඨාශයක් පිළිගන්නා අතර සමහර කොට්ඨාශයක් පිළි නොගනී. පිළිනොගන්න පිරිසගේ මූලික විවේචනය වශයෙන් අපට හඳුනාගත හැක්කේ මෙමගින් මිනිසුන් ෆැන්ටසි ලෝකයක හුදෙකලා කරන බවය. එයට විරුද්ධව විෂ්ව ආකර්ෂණ නීතිය ලුහු බඳින පිරිස පවසන්නේ සෑම විටම අපව මෙහෙය වන්නේ අපගේ සිතුවිලි වන බවත් එම නිසා සිතුවිලි ධනාත්මක වන්නේ නම් එම ධනාත්මක සිතුවිලි මඟින් අපව ධනාත්මක ලෙස මෙහෙයවන බවය.

එපමණක් නොව ඔබ සෑම විටම ධනාත්මක සිතුවිල්ලක් මත සිටී නම් අනිවාරෙන්ම ඔබව එම අවසාන ඉලක්කය කරා එම සිතුවිල්ල මඟින් රැගෙන යන බව විෂ්ව ආකර්ෂණ නීතිය මඟින් කියයි. උදාහරණයක් ලෙස ගන්නේ නම් සිතමු, ඔබට කෙසේ හෝ V8 රථයක් ගැනීමට අවශ්‍යව ඇති අතර ඔබ කෙසේ හෝ V8 රථයක් ගන්නවා යැයි ධනාත්මක සිතුවිල්ලක් ඇති කර ගනී. ඉදිං ආකර්ෂණ නීතිය මඟින් කියන්නේ ඔබ එදිනෙදා කරන සෑම කටයුත්තක්ම ඔබගේ ඒ ඉලක්කයට යෑමට අනුව සිදුවන බවය.

සමහරවිට ඔබට V8 රථයක් ගැනීමට නොහැකි වූවත් ඒ ආසන්නයට හෝ යා හැකි බව ආකර්ෂණ නීතිය කියයි. එයට විරුද්ධව අනේ මට V8 රථයක් ගන්න කිසිසේත්ම බැහැ යැයි ඍණාත්මක සිතුවිල්ලකින් කටයුතු කරන්නේ නම් සැබවින්ම ඔබට ඒ ආසන්නයටවත් යා නොහැකි බව ද එමඟින් කියයි. එක්තරා ආකාරයකට ගත් විට මෙය මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙනවා යන සංකල්පය මත සමපාත වන්නකි.

Law of attraction හී තවත් ඉදිරියට යන්නේ නම් ආකර්ෂණ නීතියට සිද්ධාන්ත තුනක් පදනම් වන අතර ඉන් පළමුවැන්න නම් සමාන දේවල් එකට එකතුවනවා යන්නය. එනම් එකම ජාතියේ කුරුල්ලන් වසන්නේ එකම අත්තක යන්නයි. උදාහරණ ලෙස ඔබ මිතුරන් ආශ්‍රය කරන්නේ නම් සෑම විටම ඔබ ආශ්‍රය කරන්නේ ඔබගේ පුරුදු සහ ඇබ්බැහිකම් වලට සමාන වන මිතුරන් ය. ඒ අනුව එකට එකතු වන්නේ සමාන දේවල් ය.

ඉදිං ආකර්ෂණ නීතියේ ඒ අනුව අප යහපත් දේම සිතන්නේ අපට ලැබෙන්නේ යහපත් දේම පමණි. එනම් අප සමග එකතුවන්නේ යහපත් දේ පමණි. අප සතුටින් සිටිය යුතු යැයි සැම විටම සිතන විට අපට ආකර්ෂණය වන්නේ සතුටට කාරණා පමණි. මෙයට ආකර්ෂණ නීතිය කියන්නේ එම නිසා වන අතර එනම් සිතුවිල්ල අනුව විශ්වයේ හොඳ හෝ නරක ආකර්ෂණය වීමය.

ආකර්ෂණ නීතියේ දෙවන සිද්ධාන්තය නම් කිසි විටෙකත් අපගේ සිතුවිලි තුළ රික්තකයක් තිබිය නොහැකිය, යන්නයි. සිතුවිලි තුළ කිසිම විටෙකත් හිස් අවකාශයක් තිබිය නොහැක. සිතන්න. සුළඟ ගත්විට සෑම විටම සුළං හමා යන්නේ වැඩි තැනක සිට අඩු තැනකට ය. එනම් වැඩි පීඩනයේ සිට අඩු පීඩනයටය.

ඒ ආකාරයට සිතුවිලි තුළ ද හිස් අවකාශයක් පවතීනම් කෙසේ හෝ එම අඩුව පුරවාගත යුතු අතර නමුත් ධනාත්මක සිතුවිලි තුළින් එම අඩුව පුරවාගත යුතුය. අපගේ සිත ඍණාත්මක සිතුවිලි තුළින් පිරී ඇතිනම් එම ඍණාත්මක සිතුවිලි සියල්ල ඉවත් කොට එතැන හිස් අවකාශයක් ඇතිකරගත හැකි අතර පසුව එම හිස් අවකාශය ධනාත්මක සිතුවිලි තුළින් පුරවගත හැකිය. මෙම ස්ද්ධාන්තය ගත්විට " සෑම දෙයකටම සිත තමයි " යන කියමන හා සමපාත වන්නකි.

මෙහිදී අනෙක් පැත්ත ද විය හැකිය. එනම් අපි අපගේ ධනාත්මක සිතුවිලි සියල්ල ඉවත්කොට සිත තුළ හිස් අවකාශයක් ඇතිකර ගන්නේ නම් එම අඩුව පිරවීමට සමහරවිට ඍණාත්මක සිතුවිලි ඇතුල් විය හැකිය. නමුත් ගැටළුව වන්නේ එවිට විශ්වය මඟින් ඔබට ආකර්ෂණය කර දෙනුයේ ඍණාත්මක දේ පමණක් වීමය.

ආකර්ෂණ නීතියේ තෙවැනි සිද්ධාන්තය වන්නේ සෑම විටම අපි අපගේ වර්තමානය පිළිබඳව සතුටු විය යුතු බවයි. මෙම සිද්ධාන්තය ගත් විට ස්ටොයිකවාදයේ මූලික හරය සමග ගැළපෙන්නේ යැයි කිව හැකිය. මන් ද ස්ටොයිකවාදයේ දී මූලික ලෙසම කියන්නේ ද අපි මේ ජීවත්වන තත්පරය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවය.

අපි බොහෝ විට ජීවිතය තුළ හඹා යන්නේ අපට නොලැබුණු දෙයක් පිටුපස වන අතර අප සෑම විටම දුක් වන්නේ ද අපට නොලැබුණු දෙයක් සම්බන්ධයෙන් සිතා බලන විටය. අප මේ සිටින මට්ටමින් මෙසේ සිතනවා යැයි සිතමු. " අනේ මං තව ටිකක් ඉගෙනගෙන තිබ්බනම්, අනේ මට තව ටිකක් සල්ලි තිබ්බනම්, අනේ මට මීට වඩා ලස්සන ගෙයක් තිබ්බනම්, අනේ මට මේ ඇල්ටො එක නැතුව V8 ක් තිබ්බනම් " ආදී වශයෙන් සිතනවිට සෑම විටම සිදුවන්නේ කණගාටු වීමටය.

එබැවින් Law of attraction මඟින් කියන්නේ එසේ නොමැතිව දැනට අපට ඇති දේ සම්බන්ධයෙන් අප සතුටු විය යුතු බවය. නොලැබුණු දෙයක් සම්බන්ධව දුකට පත් නොවිය යුතුය. ආකර්ෂණ නීතියෙන් සෑම විටම කියන්නේ අපගේ සිතුවිලි අපගේ ජීවිතය තුළ ශක්තියක් ලෙස ක්‍රියා කරන බවත් සහ ඒ අනුව දැනට අපිට ඇති දේ සම්බන්ධයෙන් අප සතුටු වන්නේ එම සතුට ද අපට ශක්තියක් ලෙස ක්‍රියා කරන බවයි. ඉදිං එම ශක්තිය තව තවත් අපව සාර්ථකත්වය කරා මෙහෙයවන බව ආකර්ෂණ නීතිය මඟින් කියයි.

මේ ආකාරයට ආකර්ෂණ නීතිය අපට හඳුනාගත හැකි අතර මූලාශ්‍ර පිරික්සා බැලීමේදී පෙනී යන්නේ මෙම නීතිය අනුව ක්‍රියා කිරීම තුළින් සාර්ථකත්වයට පැමිණීම හෝ නොවීම නිශ්චිතවම කිව නොහැකි බවය. නමුත් ලෝකයේ ඕනෑම කෙනෙකුහට අතුරු ආබාධයකින් තොරව මෙය අත්හදා බැලිය හැකි බව ද විශේෂයෙන් මානසික වෛද්‍යවරුන් සහ විද්වතුන් පවසයි. ඒ සඳහා ඔවුන් මඟ පෙන්වීමක් ද ලබා දේ.

ඔවුන් පවසන්නේ මූලිකවම අපට මේ වනවිට විශ්වය වෙතින් ලැබී ඇති දේවල් සම්බන්ධයෙන් සතුටු විය යුතු බවය. අප ඒ සියල්ලටම ස්තූතිවන්ත විය යුතුය. එමෙන්ම සෑම කළු වලාවකම රිදී රේකාවක් දැකීමට උත්සාහ කළ යුතු බව ද ඔවුන් කියයි. එනම් ජීවිතය තුළ අපට සිදුවිය හැකි නරකම දේ සිදු වුන ද එහිද යම් ධනාත්මක දෙයක් දැකීමට අප උත්සාහවන්ත විය යුතුය. එය සාමාන්‍යයෙන් " හැමදේම වන්නේ හොඳට " යන කියමන හා සමපාත වේ.

ඉදිං getpeakonline අපගේ වෙබ් අඩවියේ මීට පෙර ගෙන ආ සොක්‍රටීස් කියා දුන් සාර්ථකත්වයේ මඟ, මෝඩකමේ උපමාවක්, සතුට ගැන කියන සුන්දරියන් තිදෙනා, මේ ඉකරස්ගේ කතාවයි. ෆෙඩ්‍රික් නීට්ෂේගේ සුපිරි මිනිසා, මනෝවිශ්ලේෂණවාදය සම්බන්ධ ලිපි පෙළ  සහ ස්ටොයිකවාදය මෙන්ම මේ ලිපිය මඟින් ගෙන ආ ආකර්ෂණ නීතිය ආදී ඕනෑම ක්‍රමයක් මඟින් සුළු ප්‍රමාණයකට හෝ ඔබගේ ජීවිතය පහසු කරණු ඇතැයි අප විශ්වාස කරමු. එමෙන්ම ලෝක ඉතිහාසයේ වර්ෂ ගණනක සහ පරම්පරා රාශියක දැනුම ඇසුරින් බිහි වී ඇති මෙම වටිනා සංකල්පයන් සිංහලෙන් කියවීමට ඔබට පිරි නැමීම ඉදිරියට ද අප සිදු කරමු.

විශ්වීය නීති 12 න් නැවත හමුවෙමු.

Latest