Skip to content

ලංකා ඊ නිව්ස් කණගාටුව ප්‍රකාශ කරයි.

පසුගිය අප්‍රේල් මස 25 වන දින අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන අප්‍රේල් මස 26 වන දින ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය විසින් ගෝලීය ශ්‍රී ලාංකික කොන්ග්‍රසයේ නායක මංජු නිශ්ශංක අලලා කරන ලද සාවද්‍ය මඩ ප්‍රහාරය සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් වන්දි නඩුව යට ගැසීම පිණිස එංගලන්තයේ වෙසෙන චාමර ගුනසේකර නැමැත්තෙක්ගේ ගිණුමකට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දී ඇති බවට තමාට තොරතුරු වාර්තා වූ බව අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තු දී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.


එම ප්‍රකාශය පදනම් කරගෙන එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය විසින් මෙම චාමර ගුණසේකර නමැත්තා මංජු නිශ්ශංක විය හැකි බවට ප්‍රකාශ කරමින් සාවද්‍ය පුවතක් පල කරනු ලැබූ අතර එය වීඩියෝ පටයක් ආකාරයෙන්ද නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ලැබුවා. ඉන් පසුව එම සාවද්‍ය පුවත සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වුණා.

එම වෙබ් අඩවියට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් රාජධානියේ  Taylor Hampton නීති සමාගම වෙත ලබාදුන් බව ගෝලීය ශ්‍රී ලංකික කොන්ග්‍රසයේ නායක මංජු නිශ්ශංක පවසා සිටියා.

කෙසේ වෙතත් එම නීතිමය කටයුතු සිදු කරමින් තිබෙන අතරතුර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මෙලෙස සඳහන් කරමින්  මංජු නිශ්ශංක සහ නාලක ගොඩහේවා වෙත තම කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

එම ප්‍රකාශය

"ලංකා ඊ නිව්ස් අප්‍රේල් 26 දා පළ කළ "එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් කෝටි 25 ක් ගිල්ල රටම සොයන "චාමර ගුණසේකර" ගැන සීඅයිඩියට ඔත්තුවක්..!" නම් පුවතින් මංජු නිශ්ශංකට සහ නාලක ගොඩහේවාට යම් සිත් රිදවීමක්, අපහසුතාවයක් වූයේ නම් ලංකා ඊ නිව්ස් ඒ පිළිබඳව ඔවුන් දෙදෙනාට කණගාටුව ප්‍රකාශ කර සිටිමු.''

කෙසේ වෙතත් මේ පිළිබඳව ගෝලීය ශ්‍රී ලංකික කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක ප්‍රකාශ කර සිටින්නේ නීතිමය කටයුතු සිදුවන බැවින් වැඩිදුර අදහස් ප්‍රකාශ නොකරන බවත්, භාෂණයේ නිදහස වෙනුවෙන් තම සන්විධානය සියයට සියයක්ම පෙනී සිටින බවත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුවාවී කරනු ලබන ද්වේශ සහගත මඩ ප්‍රචාරයන්ට සහ අසත්‍ය පුවත්වලට පුවත්වලට විරුද්ධව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බවත් ය.

Latest