Skip to content

"කුඩාව" ඉවත් කරන්න ඉඩ දෙන්නෙ නෑ - කන්දකුලිය ධීවරයෝ..

දේශපාලන හෝ කිසියම් ව්‍යාපාරිකයෙකුගේ අවශ්‍යතාවය මත කල්පිටිය - කන්දකුලිය, කුඩාව මුහුදු තීරයේ ඇති ධීවර තොටුපල ඉවත් කිරීමට ඉඩ නොදෙන බව සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය සදහන් කරයි.

කල්පිටිය - කන්දකුලිය, කුඩාව ප්‍රදේශයේ ධීවරයින්ගේ පාරම්පරික රැකියාව වී ඇත්තේ ධීවර කර්මාන්තයයි. වසර කීපයකට පෙර එම ප්‍රදේශයට සංචාරක ව්‍යාපාරයද එක් විය. ඩොල්ෆින් මසුන් කන්දකුලියට ඔබ්බෙන් මුහුදේ ගැවසීම හේතුවෙන් සංචාරක ව්‍යාපාරය වර්ධනය වන්නට විය. ඒ වන විටත් ධීවර කර්මාන්තයේ නිරත වෙමින් සිටි ඇතමුන් තම සුපුරුදු රැකියාව අතහැර ප්‍රදේශයට පැමිනෙන සංචාරකයින්ව ඩොල්ෆින් මසුන් නැරඹීම සදහා රැගෙන යාමට කටයුතු කළේය.නමුත් පිරිසක් සුපුරුදු තම ධීවර රැකියාව දිගටම කරගෙන ගියේය.

මෙම හේතුව නිසා එතෙක් කිසිදු කටයුත්තක් සදහා ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා තිබූ "මුඩු ඉඩම් වල මෙන්ම රජයේ ඉඩම් වලද (ව්‍යාජ ලෙස ඔප්පු සකස් කිරීමෙන් අනතුරුව) විවිධ පන්තියේ සංචාරක හෝටල් ඉදි වන්නට විය. තමන් පැමිනෙන සංචාරකයින්ව ඩොල්ෆින් මසුන් නැරඹීමට රැගෙන යාම ඇතැම් හෝටල් හිමියන් විසින්ම ආරම්භ කරන ලදි.

කන්දලිය - කුඩාව මුහුදු තීරයේ ඉදිකර ඇති එක්තරා හෝටලයකින්ද ඩොල්ෆින් සංචාර ආරම්භ කිරීමට සුදානම් වුවත්, වසර ගනනාවක් තිස්සේ පවත්වා ගෙන යන ධීවර තෙටුපල ඊට බාධාවක් බවට පත්ව ඇත.

"මේ ධීවර තොටුපල අවුරුදු 50 කටත් වඩා පැරණි එකක්. අපේ තාත්තලා පමණක් නෙමෙයි සීයලත් මේ ධීවර තොටුපල පාවිච්චි කරලා තියනවා. ධීවර තොටුපලක් තියෙන්නේ මුහුද අයිනේ මිසක ගොඩබිම නෙමෙයිනේ. ඒක තේරුම් ගන්න බැරි නිලධාරීන් සහ දේශපාලකයින් කියනවා "කුඩාව" තොටුපල අයින් කරන්න කියලා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ ඒ අයගේ රක්ෂිතයේ අපි ධීවර තොටුපල හදලා තියෙන්නේ කියලා. සාමාන්‍ය ආකාරයට මුහුදු වෙරළේ සිට මීටර් 100 ක් පමණ වෙරළ රක්ෂිතය බව ඇත්ත. එහෙම බලපුවහම මේ රටේ සෑම තැනකම තියන ධීවර තොටුපලවල්, වරායවල් අයින් කරන්න ඕනේ. මොකද ඒ සියල්ල ඉදිකරලා තියෙන්නේ මුහුදු වෙරළේ වන නිසා.

මෙතන ඇත්තම කථාව නම් අපේ තොටුපල ආසන්නයෙන්ම හෝටලයක් හදලා තියනවා. ඒ අයට අවශ්‍ය වෙලා තියනවා හෝටලයට එන සංචාරකයින්ව ඩොල්ෆීන් බලන්න එක්ක ගෙන යන්න. අපේ ධීවර තොටුපල ඒකට බාධාවක්. අන්න ඒ නිසා තමයි මේ තොටුපල අයින් කරන්න යන්නේ. කිසියම් කෙනෙක් කියනවා නම් වෙරළ රක්ෂිතයේ අපි තොටුපලක් පවත්වා ගෙන යනවා කියලා. ඔව් ඒක ඇත්ත. හැබැයි මේ කියන හෝටල් ඉදිකරලා තියෙන්නෙත් වෙරළ රක්ෂිතයේ බව අමතක කරන්න එපා කියලා අපි කියනවා.."ධීවරයෙකු කියා සිටියේය.

"දේශපාලකයින්ටයි, නිලධාරීන්ටයි ඕන ආකාරයට මේ රටේ නීතිය නමන්න ඉඩ දෙන්න බෑ. කුමන හේතුවක් නිසා හෝ කුඩාව ධීවර තොටුපල අයින් කරන්න අපි ඉඩ තියන්නේ නෑ. කව්රු හරි මේ තොටුපල ඉවත් කරන්න ආවොත් නැවත්ත ධීවරයින් මහ පාරට බහින්න පුළුවන්. එදාටත් ලොකු විනාශයක් කර ගන්නේ නැතිව මේ ප්‍රශ්ණය විසදන්න කියන එකයි දේශපාලකයින්ට සහ නිලධාරීන්ට අපි කියන්නේ...." යැයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ පුත්තලම දිස්ත්‍රික් කැදවුම්කරු අජිත් ගිහාන් මහතා පැවසීය.

Latest