Skip to content

කූඨ ලේඛන සකස් කොට ශාන්ත අන්තෝනි බාලිකාවට සිසුවියන් දැමූ ග්‍රාම නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට.

කූඨ ලේඛණ සකස් කර කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතර මැදි පංති වලට ළමුන් 29 දෙනෙකු ඇතුළත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දෙයියන්නේවෙල වසමේ ග්‍රාම නිලධාරි චමින්ද ප්‍රසන්න තෙන්නකෝන් නැමැති අයව මහනුවර පොලීසියේ විශේෂ විමර්ශන අංශය මගින් මහනුවර සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ලෙසද කටයුතු කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් සිටිය දී සැකකරු නීතීඥයෙකු මගින් පස්වරුවේ පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

බාලිකා විදුහලේ අතර මැදි පංති වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා කූඨ ලේඛණ සකස් කිරීම සහ එම වරදට ආධාර අනුබල දීම යන චෝදනා සැකකරුට එල්ල වී තිබෙන බව පොලීසිය පවසයි.

පදිංචි සහතික ලබාදීම සඳහා දෙයියන්නේවෙල ග්‍රාම නිලධාරිවරයා වෙත නිකුත් කර තිබූ පොතකින් කොලයක් ඔහු විසින් සෙංකගල ග්‍රාම නිලධාරිවරයා වෙත ලබා දී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලීසිය කූඨ ලේඛණ සකස් කර ළමුන් ඇතුළත් කිරීමේ සිද්ධියට මොහුගේ ද සම්බන්ධයක් ඇතැයි අනාවරණය කර ගත්තේය.

මේ අතරතුර දෙයියන්නේවෙල ග්‍රම නිලධාරිවරයා වසර පහක කාලයකට විදේශ ගතවීම සඳහා වැටුප් රහිත නිවාඩු ඉල්ලා ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණි.

මේ සම්බන්ධ කරුණු අනාවරණය වීමෙන් පසු පොලීසිය මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කර ඔහුට විදේශ ගත වීමට නොහැකි වන සේ තහනම් නියෝගයක් ලබා ගත්තේය.

තම ලිපි ශීර්ෂ,නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්ති වලට සිසුවියන් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන හේමන්ත ප්‍රේමතිලක මහතා මහනුවර පොලීසියේ වංචා විමර්ශන අංශයට කළ පැමිණිල්ලකින් පසු අදාළ විමර්ශන ආරම්භ විය.

මෙයට අමතරව වසර 2018-2021 අතර කාලයේදී ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ 02,03,04,07,08 හා 09 ශ්රේනි වලට තවත් ළමුන් 180 දෙනෙකු නියමිත නීතිමය ක්රමවේදයට පටහැනිව ඇතුළත් කරගෙන තිබෙන බව විගණන අංශ මගින් අනාවරණය කිරීමත් සමඟ මධ්යම පළාත් අධ්යාපන අධ්යක්ෂවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර අදාළ වාර්තාව මධ්යම පළාත් අධ්යාපන ලේකම්වරයා වෙත යොමු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛණ සකස් කළ පුද්ගලයෙකු සහ සෙන්කඩගල වසමේ ග්‍රාම නිලධාරිද ඊට ප්රථම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර මේ වන විට අතුරුදහන්ව සිටින හිටපු විදුහල්පතිනිය සොයා පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස් උවින්දසිරි මහතා ගේ උපදෙස් මත පොලිස් සැරයන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

Latest