Skip to content

කුකුලු පැටවාගෙන් ගසා කන මධ්‍යම කුකුළු පර්යේෂණ ආයතනයේ කැකිල්ලේ තීන්දු.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය යටතේ පාලනය වන කරඳගොල්ල මධ්‍යම කුකුළු පර්යේෂණ ස්ථානයේ සිදුවූ බව කියන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු ඒ සම්බන්ධ විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට වෙනුවට මුදල් බාර ගැනීමේ කටයුතු පමණක් ගන්නෝරුවේ පිහිටි පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමෙන් කුකුළු පැටවුන් හා බිත්තර මිලට ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් දැඩි අසීරුතාවට පත්ව ඇත.

ආයතන ප්‍රධානීන්ගේ කැකිල්ලේ තීන්දු හේතුවෙන් බිත්තර හා කුකුළු පැටවුන් මිලට ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන පුද්ගලයින්ට මුලින්ම කුණ්ඩසාලේ කරඳගොල්ල මධ්‍යම කුකුළු පර්යේෂණ ස්ථානයට ගොස් තමන් ලබා ගන්නා සේවාවට අදාළව බිල් පතක් ලබා ගැනීමට සිදුව තිබේ. පසුව  එම බිල්පත රැගෙන කිලෝ මීටර් 25 ක් පමණ දුරක් ගෙවා ගන්නෝරුවේ පශු වෛද්‍ය පර්යේෂණායතනයට පැමිණ එහි සරප් වෙත ගෙවීම් කිරීමෙන් අනතුරුව කකුළු පැටවුන් හෝ බිත්තර ලබා ගැනීම සඳහා යළි කරඳගොල්ල කුකුළු පර්යේණ ස්ථානයට යායුතුය.

මෙම තීරණය හේතුවෙන් කරඳගොල්ල කුකුළු පර්යේෂණ ස්ථානයෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයෙකුට අමතරව කිලෝ මීටර් 50 ක පමණ දුරක් යාමට සිදුව තිබේ.

කරඳගොල්ල මධ්‍යම කුකුළු පර්යේෂණ ස්ථානයේ කුකුළු පැටව් රැක්කවීමේදී පොත්පත් වල සඳහන් සංඛ්‍යාවට වැඩි බිත්තර සංඛ්‍යාවක් රක්කවා හොර පාරෙන් කුකුළු පැටව් විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ලද තොරතුරු මත සිදුකළ පරීක්ෂණයකින් පසු ආයතනය ගෙන තිබෙන එකම තීරණය  මුදල් බාර ගැනීමේ ක්‍රියාවලිය එම ස්ථානයෙන් ඉවත් කර ගන්නෝරුව පශු වෛද්‍ය  පර්යේෂණ ආයතනය වෙත ගැනීම පමණක් බවත් මේ නිසා අවසානයේ පීඩාවට පත්ව සිටින්නේ සේවා ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් බවත් සේවකයෝ චෝදනා කරති.

අදාළ ස්ථානයේ බිත්තර නියමිත සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් බිත්තර රැක්කවීම නිසා ඒවායින් බිහිවන පැටවු දුර්වල වීමේ සම්භාවිතාවක් සිදුවූයේද ඒවාට සම්බන්ධ වූ පුද්ගලයින් කවුරුන්ද යන්න සොයා ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරනු වෙනුවට මුදල් අය කිරීමේ ක්‍රියාවලිය පමණක් සේවා සපයන ස්ථානයේ සිට කිලෝ මීටර් 25 ක් පමණ දුරකට ගෙන යෑම සුළුවෙන් තැකිය නොහැකි කාරණයක් බව සේවකයෝ පෙන්වා දෙති.

පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සපයන විවිධ සේවා සඳහා මුදල් අය කිරීමේ වගකීම එහි සරප් වෙත පවරා තිබිය දී පසුගියදා එහි සරප් අයකැමිය විසින් සිදුකරන ලද රුපියල් කෝටි ගණනක මුල්‍ය වංචාවක් අනාවරණය වූ අතර ඒ සම්බන්ධයෙන්ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම රාජ්‍ය ආයතනයේ කුකුළු පැටවුන් සඳහා දිවයිනේ නන් දෙසින් විශාල ඉල්ලුමක් පැවතීම හේතුවෙන් මෙම වංචනික ක්‍රියාව දිගින් දිගටම සිදුවන බවද ඊට පිළියම් වශයෙන් පාලන අධිකාරිය ගෙන ඇති පියවර ඉතාමත් හාස්‍යජනක බවද කුකුළු බිත්තර රක්කවා පැටව් බිහි කරන ක්‍රියාවලියෙදි  නීති විරෝධී අයුරින් නිසි ප්‍රමිතියෙන් පවා තොර බිත්තරද ඒ සමග රක්කවා නීත්‍යනුකූල නොවන ආකාරයට ආයතනයෙන් බැහැරව අලෙවි කිරීමේ ක්‍රියාවලිය මේ වන විටද සිදුවෙමින් පවතින බවද මධ්‍යම කුකුළු පර්යේෂණ ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඡායාරූප- බිල්පත් පමණක් නිකුත් කර මුදල් අයකර ගැනීමේ කටයුතු ගන්නෝරුවේ පශු විද්‍යා පර්යේෂණ ආයතනයෙන් සිදු කරන බව දන්නවමින් පශු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා සත්ත්ව අභිජනන අංශයේ අංශ ප්‍රධානී වෙත යොමු කළ ලිපිය

Latest