Skip to content

අපනයන රක්ෂණ සංස්ථාවේ අක්‍රමිකතා හෙළි කළා ට කෝප් කමිටුවට තුති.

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ කලක පටන් පැවති බව කියන විවිධ අක්‍රමිකතා හෙලිකිරීමට කෝප් කමිටුව කටයුතු කිරීම හේතුවෙන්, එම අක්‍රමිකතා මගහරවා ගෙන ආයතනය දියුණු කිරීමට හැකිවී තිබෙන බව  මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයා කෝප් කමිටුව හමුවේ අනාවරණය කළේය. එම අක්‍රමිකතා හෙලි කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවට තම ප්‍රසාදය පළ කරන බවද නියෝජ්‍ය ලේකම්වරයා මෙහිදී කියා සිටියේය.

මේ අදහස් පළ වූයේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව වෙත 2023 මාර්තු 07 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාලෝචනය කිරීම වෙනුවෙන් පැවති පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදීය. එම කමිටුවේ  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාරලිමේන්තුවේදී එම කමිටුව රැස් විය.

කෝප් කමිටුවේ නියෝග මත ආයතනය විසින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තා සහ ලිපි ලේඛන සලකා බැළු බවත් මේ වන විට ආයතනය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කරන බවත් කෝප් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

කාර්ය මණ්ඩල බඳවා ගැනීම් විධිමත් කිරීම
මෙහිදී මහා භාණ්ඩාගරයේ නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ කෝප් කමිටුව විසින් ලබා දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පියවර ගෙන ඇති බව සහ ඒ අනුව ආයතනයේ කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය බඳවා ගැනීමේ පටිපාටි කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කොට මේ වන විට දැන්වීම් පල කොට ඇති බවත්ය.

වාර්ෂික වාර්තා සහ සංයුක්ත සැළැස්ම ඉදිරිපත් කිරීම
එමෙන්ම ආයතනයේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමද කඩිනම් කිරීමට කටයුතු කරන බවද මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. ආයතනයේ සංයුක්ත සැළැස්ම මේ වන විටත් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇති බවත් එහි අනුමතියට යටත්ව එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත් මෙහිදී අවධාරණය විය.

සංයුක්ත සැලැස්මේ ව්‍යාපාරික අරමුණු
දැනට ඉදිරිපත් කර ඇති සංයුක්ත සැළැස්මේ අඩංගු ව්‍යාපාරික අමුණු සාක්ෂාත් කිරීමේ උපායමාර්ග පිළිබඳ කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී විමසා සිටියේය. එහිදි නිලධාරින් සඳහන් කළේ ආයතනයේ ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උපායමාර්ගික සැළැස්මක් මේ වන විට සකස් කොට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

අක්‍රමිකතා පිළිබඳ මූලික විමර්ශන
ආයතනයේ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ මූලික විමර්ශනයක් සිදු කොට අතුරු වාර්තාවක් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කොට ඇති බවද මෙහිදී ප්‍රකාශ විය. එයට අමතරව ආයතනයේ අක්‍රමිකතා රැසකට වගකිවයුතු යැයි සැළකෙන සාමාන්‍යාධිකාරීවරයා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඒ පිළිබඳ පරික්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවද පැමිණ සිටි නිලධාරිහු පෙන්වා දුන්හ.

මෙහිදී පරික්ෂණ වාර්තාව පිළිබඳ අදහස් දැක්වූ නිලධාරින් පෙන්වා දුන්නේ 2006 සිට කටයුතු කළ උක්ත සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් පරිපාලන ගැටළු රාශියක් මතුව ඇති බවයි. එයට අමතරව අක්‍රමවත් බඳවා ගැනීම්, ප්‍රතිරක්ෂණය ක්‍රියාත්මක නොකිරීම, නිලධාරින්ට රාජකාරී ලැයිස්තු ලබා නොදීම,නිලධාරීන්ට අසමාන අයුරින් සැලකීම, ආයතනයේ සුභසාධනය කපා හැරිම, ආයතනයේ කාර්ය සාධනය දිගින් දිගටම අඩුවීම ඇතුළු අනෙකුත් අක්‍රමිකතා රැසක් වාර්තාව මගින් අනාවරණය වූ බවයි.

මෙහිදී කෝප් කමිටු සාමාජිකත්වය උපදෙස් ලබා දුන්නේ සිදුකර ඇති විමර්ශණය ප්‍රමාණවත් නොවන බැවින් ආයතනයේ සිදුවී ඇති සියළුම ගණු දෙණු සම්බන්ධව වෝහාරික විගණනයක් හෝ එවැනි ගැඹුරු විමර්ශණයක් පවත්වන ලෙසයි. මාස 06කට පසු ආයතනයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව නැවත කැඳවන බවද කමිටු සභාපතිවරයා කියා සිටියේය.

එයට අමතරව ආයතනයේ සමහර ලිපිගොනු අතුරුදන් වීම සහ පැරණි ඩිජිටල් දත්ත මකා දැමීම සම්බන්ධව මෙන්ම තොරතුරු වාර්තා වන බව සඳහන් කළ කොප් කමිටු සාමාජිකයින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවට දැනුම් දුන්නේය.

Latest