Skip to content

කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිව මැරුවේ කව්ද?

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාව වනාතවිල්ලුවේදී ඝාතනය කර පලා ගොස් ඇති යුවලක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව පොලීසිය කියයි.මිය ගොස් ඇති අය පසුගිය පළාත් පාලන මැතිවණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කර ජයග්‍රහණය කර සිටි අයෙකි.

ඝාතනයට ලක්ව ඇත්තේ හපුආරච්චිගේ දොන් පීටර් අප්පුහාමි (අවු:74) නම් අයෙකි.ඔහුට වතාවිල්ලුව ප්‍රදේශයේ අක්කර 100 ක් පමණ ඇති බවත් එම ඉඩම් වල පොල් ඇතුළු වගාවන් සිදු කර ඇති බවත් පොලීසිය කියයි.

වනාතවිල්ලුව 12 කණුව ප්‍රදේශයේ පොල් ඉඩමක ගොඩනැගිල්ලක් තුළ මළ සිරුරක් ඇති බවට වන තොරතුරක් 28 වෙනිදා වනාතවිල්ලුව පොලීසියට ලැබී ඇත.ඒ අනුව එම ස්ථානයට ගොස් ඇති පොලීසිය මල සිරුර සොයා ගෙන ඇත.මිය ගොස් ඇති අයගේ සිරුරට පොල්ලක් තබා ගැට ගසා තිබී ඇත.ඒ අනුව සිදුවී ඇත්තේ ඝාතනයක් බවට සැකකර ඇති පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.

පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් ඉස්නි ඉක්බාල් අසීස් මහතා විසින් 28 වැනිදා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරණ ලදි.අනතුරුව ඝාතනයට ලක්ව ඇති අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.

ඒ අතර තුර පොලිස් නිල සුනඛ අංශයද කැදවා මේ සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

ඝාතනයට ලක්ව ඇති අයට අයත් වත්තක සේවය කර ඇති යුවලක් මේ වන විට අතුරුදහන්වී ඇති බව පොලීසිය කියයි.බොහෝ විට එම යුවල මෙම ඝාතනය සිදු කර පලා ගොස් ඇති බවට සැකකරන්නේ යැයි පොලීසිය කියයි.

Latest