Skip to content

කරන්නාගොඩට ඇමරිකාවට ඇතුල්වීම් තහනම් කරයි.

වයඹ  පළාත් අණ්ඩුකාර අදිමිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමති අශෝකා කරන්නාගොඩ යන දෙදෙනාට ඇමරිකාවට ඇතුල්වීම තහනම් කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියක්  මගින් අනාවරණය කොට තිබෙනවා.
වසන්ත කරන්නාගොඩ ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ දී දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට සම්බන්ධ වී ඇති බවට  කරුණු අනාවරනය වීම සලකා බලා  විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් සම්බන්ධ පනතේ 7031(ඇ) වගන්තිය  ප්‍රකාරව මෙම තීරණය ගත් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනි ජේ. බ්ලින්කන්  උපුටා දක්වමින්  එම වෙබ් අඩවියෙහි වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා.

https://www.state.gov/designation-of-sri-lankan-governor-due-to-involvement-in-a-gross-violation-of-human-rights/


වසන්ත කරන්නාගොඩට  එල්ල වී තිබූ මානව හිමිකම් කඩ කිරීමේ සිදුවීම් ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් ලේඛන ගත කිරීමෙන් අනතුරුව මෙම චෝදනා බරපතළ සහ විශ්වාසනිය බව තහවුරු කරගැනීමෙන් පසුව එවැනි තීරණයක් ගැනීමට තම රජයට සිදුව තිබෙන බවත් එහි සදහන්.
"එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රජය අතර වසර 75 ක පැරණි ද්වීපාර්ශික සබඳතාවය පදනම්ව ඇත්තේ,  ඉතිහාසය  සාරධර්ම සහ නිදහස් හා විවෘත ඉන්දු පැසිපික් කලාපයක් සදහාවූ කැපවීම මතය. ඒ අනුව අප අපගේ  ද්වීපාර්ශික සබඳතාවය අඛණ්ඩව ගොඩනගා ගන්නා අතරම, ශ්‍රී ලංකාවට නිසි ලෙස සම්පත් හා පුහුණුව ඇති බව සහතික කරමින් මානව හිමිකම් ප්‍රමුඛස්ථානයේ තබාගන්නා ආරක්ෂක ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම ඇතුළු,  යුක්තිය වගවීම සහ ප්‍රතිසන්ධානය ඉදිරියට  ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට අපි කැපවී සිටිමු" යනුවෙන්ද එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest