Skip to content

"ක්‍රිෂ්" ගොඩනැගිල්ල අවදානම්. ඒ ගැන හොයන්න. ඇමති නිලධාරීන්ට කියයි.

ඉදිකිරීම් කටයුතු අතහැර දමා ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල සහ අවට වැඩබිම් ප්‍රදේශය ආශ්‍රිතව මහජනතාවට අනතුරක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර කඩිනමින් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  ප්‍රසන්න රණතුංග,  අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

මෙම උපදෙස් ලබා දීම සිදු කර ඇත්තේ නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යාංශීය උපදේශක කාරක සභාව අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ සභාපතීත්වයෙන් පසුගිය 19 වෙනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

යම් ආකාරයකින් අනතුරක් සිදුවුවහොත් මෙහි වගකීම අමාත්‍යාංශය ඇතුළු රජයට පැවරෙන බැවින් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.

ක්‍රිෂ් ගොඩනැගිල්ල ඉදිකරමින් පැවති ස්ථානයේ සවිකර ඇති ඉදිකිරීම් ආධාරක ඇතුළු උපාංග සුළඟට කඩා වැටී අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවත්, ජලය එක්රැස්වීම හේතුවෙන් මදුරුවන් බෝවීමේ හැකියාව පවතින බවත් මෙහිදී සාකච්ඡා බදුන් වී ඇත. විශේෂයෙන් මෙම ගොඩනැගිල්ලේ මහල් ත්‍රිත්වයක් පොළොව මට්ටමට පහළින් පැවතීම නිසා එහි වැසි ජලය එක්රැස්ව ඩෙංගු ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් මතුව ඇති බැවින් අවට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල්වලින් පැමිණිළි ලැබී ඇති බවද නිලධාරීහු මෙහිදී අනාවරණය කලේය.

ඒ අනුව මෙම ආයෝජකයා සමඟ සාකච්ඡා කර ඉදිකිරීම් කටයුතු නිශ්චිත කාලරාමුවක් තුළ නැවත ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය. ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදාළ ආයෝජන සමාගම සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ.

මීට අමතරව, පළාත් පාලන ආයතනවල මැදිහත්වීමකින් තොරව නාගරික සංවර්ධන අධිකාරියේ අවසරයෙන් පමණක් ගම්පහ සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතිය මේ වන විට අතරමග අත්හැර දමා ඇති බව කමිටුවේ අවධානයට යොමු විය. මෙම නිවෙස්වලට මාර්ග, ජලය සැපයීම, අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු යටිතල පහසුකම් ද නිසි පරිදි ලබාදී නොමැති බවත් මෙහිදී හෙළි විය.

විශේෂ ව්‍යාපෘතියක් ලෙස අවසර ලබාදී ඇති මෙම ව්‍යාපෘතිය නියමිත ප්‍රමිතීන්ට අනුව සිදු නොකිරීම නිසා නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නිලධාරීහු පෙන්වා දුන්හ. පසුගිය මාර්තු මාසයේ පැවති අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කළේය. ඒ අනුව, මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන සති දෙකක් ඇතුළත කාරක සභාවට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නියෝග කළේය.

මෙම රැස්වීමට, කාරක සභා සාමාජිකයන් වන කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක සහ ගරු මධුර විතානගේ යන අය මෙන්ම රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්ද අමාත්‍යංශ නිලධාරීහු ද සහභාගී වූහ.

Latest