එක්දින ලෝක කුසලාන ද්විත්වයක් සහ t20 ලෝක කුසලාන ද්විතවයක් ජයග්‍රහණය කරන ලද, බ්‍රයන් ලාරා, ක්‍රිස් ගේල්, ශිවනරීන් චන්ද්‍රපෝල්, ඩුවයින් බ්‍රාවෝ වැනි ලෝක පූජිත ක්‍රිකට් පුරාවෘත්ත බිහි කළ බටහිර ඉන්දීය ක්‍රිකට් නම් මේ මහා ක්‍රිකට් අධිරාජ්‍යයට සැබවින්ම කුමක් ද සිදු වූයේ ? ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සියල්ලටම ඇති ප්‍රශ්නය මෙයයි.
2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ මූලික වටය මේ වන විට අවසන් වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ද අපරාජිව මූලික වටය නිමා කර super six වටය සඳහා තේරී අවසන් ය. ඒ ප්‍රසාද ලකුණු හතරක් අතැතිව සහ ඉහළ දළ ලකුණු වේගයක් ද සමඟ ය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද super six වටය සඳහා සුදුසුකම් ලැබු නමුත් ඔවුන් එකදු ප්‍රසාද ලකුණක් හෝ super six වටය සඳහා රැගෙන යන්නේ නැත.

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමටනම් ඔවුන්ට super six වටයේ සියළු තරඟ ජයග්‍රහණය කිරීමට සිදුවන අතර ඒ ඉහළ දළ ලකුණු වේගයක් ද සමඟය. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු හතරක් ද සමඟ super six හී පෙරමුණගෙන සිටින බැවින් බොහෝ විට බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන ගමන නිමාවනු ඇත.
පසුගිය t20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියෙන් ද මූලික වටයෙන්ම ඉවත් වීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිදුවිය. එක්දින ලෝක කුසලානයේ ද පෙනෙන්නට ඇත්තේ එසේ සිදුවන බවය. එම නිසා අපිට නැරඹීමට සිදුවන්නේ කොදෙව්වන් නොමැති ලෝක කුසලානයක් ය යන වග පෙනෙන්නට ඇති බැවින් මේ නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ද කිසියම් කණගාටුවට පත්ව ඇති සෙයක් පෙනෙන්නට තිබේ.

එයට හේතුව වන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම යනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් තම රටේ ක්‍රිකට් කණ්ඩායම හැරුණු විට වඩාත් ආසාකරන ක්‍රිකට් කණ්ඩායමක් වීමය. ඔවුන්ගේ නිහතමානී ක්‍රීඩා විලාශය, ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය සහ විශේෂයෙන් කොදෙව් කණ්ඩායමේ නර්තනයට, ඔවුන් පිටියෙන් එපිටට එල්ල කරන යෝධ හයේ පහරවල් වලට. ඔවුන් පිටිය තුළ පන්දුවට පහරදෙන විට පන්දුව සෑම විටම ගුවනේ රැඳී ඇති අයුරු දැකීමට ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින් බොහෝ සෙයින් කැමතිය. එබැවින් ඔවුන් නගන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ " සැබවින්ම කැරිබියන් යෝධයින්ට මොකද වුනේ "
නමුත් ඒත් සමඟම පැවසිය යුතු වෙනත් කරුණක් ඇත. එය නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද මේ වන විට ඉතා සුපිරි මට්ටමක නොපවතින බවය. අප කොදෙව් කණ්ඩායමට වඩා දශම ගණනක් ඉදිරියෙන් සිටින කණ්ඩායමක් පමණි. එම නිසා අපරාජිතව සුපිරි හය දෙනාගේ වටයට අප පිවිසුණ ද ඒ පිළිබඳව මහත් සේ උදම් විය යුතු නැත.
සැබවින්ම එම තරඟ ජයග්‍රහණය කිරීම අපට මහත් ලොකු දෙයක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් දැං පවතින තත්වය අනුව නිසාය. අප එවැනි කුඩා කණ්ඩායම් වලට ද පරාජය වුවහොත් අපගේ අතීත ක්‍රිකට් අභිමානය පලුදුවන නිසාය. විශේෂයෙන් 2007 ලෝක කුසලාන කණ්ඩායම එවකට ක්‍රීඩා කරන විට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් වශයෙන් අප කුඩා කණ්ඩායම් සමඟ පවතින තරඟ නරඹන්නේ ද නැත. මන්ද ඒ තරඟ නිසැකවම ජයග්‍රහණය කරන බව අප දන්නා නිසාවෙනි.

එවකට අප නැරඹුවානම් නැරඹුයේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරඟයක් පමණි. ක්‍රිකට් ලෝක කුසලාන තරඟ පවා අප නැරඹුවේ නැත. මන් ද කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයට පැමිණෙන බව අප දන්නා නිසාවෙනි. එම නිසා නැරඹුයේ අවසන් මහා තරඟ පමණි. අද අපට ඇති ක්‍රිකට් වාර්තා රාශියක්ම බිහි වූයේ ද එකලය. එම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව ද අප පමණ ඉක්මවා උදම් විය යුතු නැත. සැබවින්ම කුඩා කණ්ඩායම් සමග පැවැත්වෙන මෙම තරඟ ජයග්‍රහණය කිරීම අපට මහා ආශ්වාදයක් ගෙන දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ද පසු බෑමට ලක්ව ඇති හෙයිනි. සිදුව ඇත්තේ අප කොදෙව් කණ්ඩායම මෙන් ඉතා අසීරු අඩියකට පත් නොවීම පමණි.
කෙසේ නමුත් ප්‍රධාන මාතෘකාවට ගිය විට කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් 2016 t20 ලෝක කුසලානය සිය රටට හිමිකර දුන් ඩැරන් සැමී පත්වීමත් සමග බොහෝ දෙනා විශ්වාස කරන ලද්දේ නැවතත් පෙර පැවති කොදෙව් ක්‍රිකට් අපට බලා ගැනීමට හැකි බවය. නමුත් ඒ සියලු බලාපොරොත්තු සුනු විසුණු කර දැමීමට නෙදර්ලන්ත කණ්ඩායමට මෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමට ද හැකි විය.

ලකුණු 374 ක් වැනි දැවැන්ත ඉලක්කයක් හඹා ගොස් එම ලකුණු ප්‍රමාණය සමකොට සුපිරි පන්දුවාරයේ දැවැන්ත ලකුණු 30 ක් රැස්කොට එම ලකුණු ද ආරක්ෂා කරමින් කොදෙව් කණ්ඩායම ලකුණු 08 කට සීමා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායමට හැකි වීම සැබවින්ම අදහාගත නොහැකි කරුණක් විය. 2016 වර්ෂයේ t20 ලෝක කුසලාන අවසන් මහා තරඟයේ බෙන් ස්ටෝක්ට එරෙහිව පිට පිට හයේ පහර හතරක් එල්ල කරමින් තරඟය කනපිට හැර වූ කැරබියන් යෝධයා කාලොස් බ්‍රැත්වේට් නෙදර්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් අනතුරුව ලැබු දරුණු පරාජය හේතුකොටගෙන හඬා වැටෙනු ද අප දුටිමි.

ඉන් පසුව කොදෙව් කණ්ඩායමේ මෙම වත්මන් පසු බෑමට හේතු සාධක වී ඇති කරුණු මොනවාදැයි යන්න පිළිබඳව හිටපු නායක කිරන් පොලාර්ඩ්, කාලෝස් බ්‍රැත්වේට්, කොදෙව් ජාත්‍යන්තර විස්තර විචාරක ඉයන් බිෂෝප් සහ ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් මෙන්ම ක්‍රිකට් වෙබ් අඩවි ද සිය අදහස් පලකරන්නට විය.
මෙම පසු බෑමට බලපා ඇති එක් හේතු සාධකයක් වන්නේ කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය අස්ථායී කණ්ඩායම් තේරීම සහ එකිනෙකට නොගැළපෙන කණ්ඩායම් තේරීමය. මේ නිසා ක්‍රීඩකයින් හට සිය ස්ථානවලට හැඩ ගැසීමට සහ ස්ථාවර වීමට අවස්ථාවක් නොලැබීම පමණක් නොව ක්‍රිකට් තේරිම් කමිටු හට ද අදාළ ක්‍රීඩකයා ක්‍රීඩා කරවන්නේ කුමන ස්ථානයේ දැයි තීරණය කිරීමට හැකියාවක් ලැබී නැත. කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේද මෙම ගැටළුව අපට නිරීක්ෂණය කිරීමට හැකි වූ අතර නමුත් එම ගැටළුව මේ වන විට නිරාකරණය කරගෙන ඇත.

විශේෂයෙන් පැවති නෙදර්ලන්ත තරඟයේ දී ද මෙම කණ්ඩායමේ නොගැළපීම් අපට නිරීක්ෂණය කිරීමට හැකි වූ අතර ක්‍රීඩකයින් නිතර නිතර වෙනස් කිරීම කණ්ඩායමේ සමතුලිතතාවයට බාධාවක් වී ඇත. කණ්ඩායමේ අවිනිශ්චිතබවට හේතුවක් වී ඇත. නිතර නිතර ක්‍රීඩකයින් වෙනස් කිරීම නිසා අත්දැකීම් ලබා ගැනීමටත්, තණතිලි සඳහා හුරු වීමටත්, පීඩනය පාලනය කිරීමට හුරු වීමටත් කොදෙව් ක්‍රීඩකයින් හට අවස්ථාව ලැබී නැත.
කොදෙව් ක්‍රිකට් පසු බෑමට තවත් හේතුවක් වී ඇත්තේ ඵලදායී ක්‍රීඩක සංවර්ධනයක් නොමැති වීමය. තරුණ දක්ෂතා සහිත ක්‍රීඩකින් හඳුනා ගැනීමටත් ඔවුන් පෝෂණය ක්‍රීමටත් යාන්ත්‍රණයක් කොදෙව් ක්‍රිකට් බළධාරීන්ට නොමැතිය යන්න එල්ලවන ප්‍රධාන චෝදනාවක් වේ. කෙසේ හෝ ශ්‍රී ලංකාව නම් අප රටේ නම් තරුණ ක්‍රීඩකයින් හඳුනා ගැනීමට අන්තර් පළාත් තරඟ සහ ක්‍රීඩා සංගම් අතර තරඟ මෙන්ම ලංකා ප්‍රිමියලීග් වැනි තරඟාවලි පැවතුණත් බටහිර ඉන්දීය ක්‍රිකට් දේශය තුළ සංවිධාන මට්‍ටමකින් ඇත්තේ කැරිබියන් ප්‍රිමියලීග් නම් ලීග් තරඟාවලිය පමණි.

මේ නිසා අකණ්ඩව ජාතික කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් සම්පාදනය වීමට ප්‍රවාහයක් නොමැතිකම හේතුවෙන් දක්ෂ ක්‍රීඩකින් සමුගත් විට කණ්ඩායම පහත් තත්වයකට ඇද වැටීම වැලැක්විය නොහැකි කරුණක් වී ඇත. බ්‍රයන් ලාරා, විවියන් රිචඩ්ස් වැනි පුරාවෘත්ත කලකට බිහි කිරීමට නොහැකි වී ඇත. ඔවුන් කලක් අභිමානයෙන් සුරැකිව ගෙන ආ ක්‍රිකට් යෂ්ඨිය අතදැරීමට තරම් පරපුරක් බිහි වී නැත. එම නිසා කොදෙව් ක්‍රිකට් නැවත ගොඩ නැගීමටනම් තරුණ ක්‍රිකට් දක්ෂයින් හඳුනා ගැනීමටත් ඔවුන් පෝෂණය කිරීමටත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව බොහෝ දෙනාගේ අදහසයි.
කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, ඩිල්ෂාන්, මාලිංග වැනි ක්‍රීඩකයින් ඉවත් වූ පසු ශ්‍රී ලංකා කණ්ඩායම වැටීමට තිබූ පහළම අඩියට වැටුණු බව රහසක් නොවේ. ඒ ආකාරයේ බලපෑමක් කොදෙව් කණ්ඩායමට ද සිදු වී ඇති අතර කුඩා කාල සීමාවක් තුළ ක්‍රිස් ගේල්, කිරන් පොලාඩ්, ඩුවයින් බ්‍රාවෝ, සහ සැමුවෙල් බද්‍රි වැනි කණ්ඩායමේ දැවන්තයින් කණ්ඩායමෙන් ඉවත් වීම තුළින් පැමිණි පීඩනය ද කොදෙව් ක්‍රිකට් පහළම ස්ථරයකට ඇද වැටීමට හේතුවක් වී ඇත.

එමෙන්ම තවත් හේතුවක් වී ඇත්තේ යම් යම් දේශපාලනමය මතභේද හේතුවෙන් ඇන්ඩ්‍රි රසල්, ශිමරන් හෙට්මයර් වැනි ප්‍රවේගකාරී පිතිකරුවන් හට කණ්ඩායමේ ස්ථානයක් අහිමිවි වී තිබීමය. මේ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය හට චෝදනා එල්ලකරන අතර විශේෂයෙන් 2016 කාල සීමාව තුළදී ද කොදෙව් කණ්ඩායෙමේ මෙම තත්වය අපට නිරීක්ෂණය කළ හැකි විය. 2016 t20 ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු එවකට කොදෙව් නායක ඩැරන් සැමී කුසලානය අත දරමින් ඉතා හැඟීම් බරව කියා සිටියේ ඔවුන්ට ක්‍රිකට් පාලක මණ්ඩලය එල්ල කළ යම් යම් දුෂ්කරතා හේතුවෙන් ඔවුන් ඉතා අසීරු ගමනක් පැමිණි බවය.
බටහිර ඉන්දීය ක්‍රිකට් අඩපණ වීමට ප්‍රධානතම හේතුවක් ලෙස හඳුනාගත හැක්කේ විශේෂයෙන් ඔවුන් t20 තරඟවලට හුරු වීම සහ සෑම තරඟයකම ලකුණු රැස් කිරීමට හයේ සහ හතරේ පහරවල් පිළිබඳව පමණක් විශ්වාසය තැබීමය. ඔවුන් ක්‍රීඩාකරන විට එකල සෑම විටම පන්දුව උඩු ගුවනේ තිබෙන්නේ එම නිසාය. එමෙන්ම "කොදෙව්වන් ක්‍රිකට් ගසන්නේ ඇගෙන්" යැයි ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පැවසීමට ද ක්‍රිස් ගේල් පිටියට පැමිණි විට ගේල් සුළි කුණාටුව හැමීමට සූදානම් යනුවෙන් පැවසීමට ද ප්‍රධාන හේතුවක් වූයේ ද එම එම තත්වයයි.

මෙම හේතුව නිසා ක්‍රීඩාකරන ක්‍රීඩා පිටි තරමක් විශාලවන විට සහ එක්දින මෙන්ම ටෙස් තරඟ ක්‍රීඩා කරන විට ඔවුන් කලක් පුරුදුව සිටි රිද්මය පවතින තත්වයන් අනුව වෙනස් කර ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත. ඔවුන් එක ලකුණ, ලකුණු දෙක පිළිබඳ විශ්වාසය අත් හරින්නට වූ අතර එම නිසා තරඟයක් ඉදිරියට පවත්වාගෙන යෑමට ඔවුන්‍ට බොහෝ අසීරු වී ඇත. මෙම තත්වය වලක්වා ගන්නේ කෙසේදැයි යන්නට හොඳම උදාහරණය වන්නේ ශ්‍රී ලංකාවයි.
ඔබ හොඳින් පසුගිය සුදුසුකම් ලැබීමේ පළමු වටයේ තරඟ නැරඹුවානම් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම ගොඩනගන්නේ එක ලකුණ, ලකුණු දෙක උපයෝගීකොටගෙන බව දකින ලද කරුණක් වන්නට ඇත. එමෙන්ම සදීර සමරවික්‍රම සිය ඉනිම ගොඩනගන්නේ ප්‍රධාන වශයෙන් මෙම එක ලකුණ උපයෝගීකොටගෙනය. එපමණක් නොවෙ පැවති තරඟ සියල්ලෙහි පවා හයේ පහරක් ප්‍රධාන වශයෙන්ම එල්ල කරන ලද්දේ චරිත් අසලංකය. නමුත් බොහෝ තරඟවල ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු තුන්සියය පසු කිරීමට සමත් වූ අතර පැවති ස්කොට්ලන්ත තරඟය අවසානයේ ස්කොට්ලන්ත නායකයා ද ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම අඩපණ කිරීමට ඔවුන් යෙදූ එකම උපක්‍රමය මෙම එක ලකුණ කපා හැරීම බවය.
කොදෙව් ක්‍රිකට් අභාවයට බලපා ඇති ප්‍රධානතම හේතුව ලෙස බොහෝ දෙනා දක්වන්නේ ලීග් ක්‍රිකට් තරඟය. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් යනු ඉන්දීය ප්‍රිමියර්ලීග්, කැරිබියන් ප්‍රිමියර් ලීග්, පාකිස්තාන් සුපර් ලීග්, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග්, බිග්බෑෂ් ලීග් වැනි ලෝකය පුරා පවතින ලීග් ක්‍රිකට් තරඟ ප්‍රධාන වශයෙන් නියෝජනය ක්‍රීඩකයින් වන අතර ඔවුන් මෙම ලීග් තරඟ සඳහා ඉතා ඉහළ මිළකට අලෙවි වේ. එම නිසා බොහෝ දෙනා චෝදනා කරන්නේ කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පසෙකලා මුදලට ක්‍රීඩා කිරීමට පෙළඹී ඇති බවය.

මේ අතර කොදෙව් ක්‍රීඩකයින් හට පන්දුවේ වේගය අඩාලවන විට පන්දුවට පහරදීමේ අපහසුතාවයක් දක්වන බවත් සහ එයට ද හේතුව ඔවුන් කලක් තිස්සේ පුරුදු පුහුණු වූ තරඟ රටාව බවත් සහ කණ්ඩායමේ වත්මන් පන්දු යැවීම ද ඉතා පහළ මට්ටමක පවතින බවත් එය පසුගිය නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරඟයේ දී ජේසන් හෝල්ඩර්ගේ පන්දු යැවීමෙන් මනාව ඔප්පු වූ බවත් විචාරකයින්ගේ අදහසයි.
ඉදින් කැරිබියන් යෝධයින් බිමට සමතලා වීම පසුපස ඇති සැඟ වූ කතාන්දරය ලෙස හඳුනාගත හැක්කේ මෙම කතාන්දරයයි. කෙසේ නමුත් ක්‍රිකට් ආගමක් වශයෙන් අදහන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට ද කොදෙව් කණ්ඩායමේ මෙම පසු බැසීම පිළිබඳව විශාල කණ්ගාටුවක් ඇති බව රහසක් නොවේ. එබැවින් කැරිබියන් යෝධයින් නැවත හිස ඔසවනු දැකීම කාගේත් බලාපොරොත්තුව වී ඇත. ඔවුන්ට හිස එසවීමට හැකිවේදා යැයි ද අපි පතමු. මන්ද ශ්‍රී ලාංකිකයින් යනු රට කුමක් වූවත් ක්‍රිකට්වලට ආදරය කරන පිරිසක් වන බැවිනි.