Skip to content

කොටින්, ව්‍යාඝ්‍රයින් සහ දිවියන්

ශ්‍රී ලංකාවේ ජනතාව අතර මුල් බැස ගෙන පවතින තවත් එක් මිත්‍යා මතයක් නම් ශ්‍රී ලංකාවේ කොටින් නොමැති බවත් මෙරට සිටින්නේ දිවියන් බවත්ය. නමුත් සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවේ කොටි ජීවත් වෙති. මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ tigers එසේත් නැත්නම් ව්‍යාඝ්‍රයින් නොමැති බවත් කොටින් සඳහා නිවැරැදි ඉංග්‍රීසි භාවිතය leopard යන්න බවත්ය.

බිළාල පවුලට අයත් ලංකාවේ වාසය කරන විශාලතම මාංශ භක්ෂක බිළාලයන් අතර ප්‍රමුඛයා තමයි කොටියා කියන්නේ. Panthera pardus (පැන්තරා පාඩුස් ) කියන විද්‍යාත්මක නාමකරණයෙන් හදුන්වාදෙනු ලබන කොටි පවුලට අයත්, ලංකාවේ ඉන්න කොටියා හදුන්වාදෙනු ලබන්නේ Penthara pardus kotiya (පැන්තරා පාඩුස් කොටියා) ලෙසයි.මෙම විශේෂය ලංකාවට ආවේණික උප විශේෂයක් ලෙස හැදින්වේ. ලෝකය පුරා මේ වන විට උප විශේෂ රැසක් හදුනාගෙන ඇති නමුත් තහවුරු කර ඇත්තේ උප විශේෂ 09 ක් පමණයි. දකුණු අප්‍රිකානු කලාපයේ මෙන්ම ආසියානු මහද්වීපයේ චීනය ,කොරියාව හා රුසියාවේ දේශ සීමා දක්වා මෙම සතුන්ගේ ව්‍යාපෘතිය දැකගත හැකිය.

ශ්‍රී ලංකාවේ කොටියා හා දිවියා යන ව්‍යාවහාර  අතර ඇත්තේ පරස්පරතාවයකි. වෙනස ඇතිවන්නේ මෙම ලෙපර්ඩ් යන්න භාවිතයෙදී දිවියා ලෙස භාවිතා කිරීමයි. නමුත් සත්‍ය ලෙසම ලංකාවේ වාසය කරනුයේ Penthara pardus kotiya (පැන්තරා පාඩුස් කොටියා ) වන අතර එම බිළාලයා දිවියා නොවන අතර ඒ නියම කොටියා වේ. කොටියාට පසු ලංකාවේ ජිවත්වන බිළාලයන් දිවියන් ලෙසත් ඉන් පහල බිළාල සමාජිකයන් බළලුන් ලෙසත් හදුන්වනු ලබයි.

කොටි දෙනක් සහ පැටවුන්

ශ්‍රී ලංකාවේ ජීවත් වන මෙම Panthara padus kotiya හෙවත් ශ්‍රී ලංකා කොටියා ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ මෙන්ම තෙත් කලාපයේද දැක ගැනීමට හැකියාව ඇති අතර හෝර්ටන් තැන්න ආශ්‍රිතව ජීවත් වන කොටින් ශරීර ප්‍රමාණයෙන් තරමක් විශාල බවක් පෙනෙන්නට තිබුණද මෙතෙක් කරන ලද පරීක්ෂණ වලට අනුව ඔවුන් වෙනත් උපවිශේෂයක් ලෙස හඳුනාගෙන නොමැත. හෝර්ටන් තැන්න ආශ්‍රිතව පවතින දැඩි ශීත කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීම සඳහා ඔවුන්ගේ හමේ විශාල මේද ස්ථරයක් පැවැතීම මෙම ශරීරයේ විශාලත්වයට හේතු වේ.

හෝර්ටන් තැන්න ආශ්‍රිතව ජීවත් වන කොටියෙක්

තවද විටින්විට මෙරට නොයෙක් ප්‍රදේශ වලින් කළු කොටින් ද වාර්ථා වී තිබේ. ඔවුන්ද මෙම Panethara padus විශේෂයටම අයත් සතුන් වන අතර ඔවුන්ගේ නිලීන ජානයක් ඉස්මතු වීම නිසා ඔවුන්ට මෙම කළු වර්ණය ලැබී ඇත. කළු කොටින් කිහිප අවස්ථාවකදීම තෙත් කලාපයෙන් වාර්තා වුවද පසුගිය දිනෙක මුල්වරට ලංකවේ වියළි කලාපයෙන් කළු කොටියකු වාර්තා විය. ඒ මෙරට කොටින්ගේ පාරාදීසය වන යාල ජාතික වනෝද්‍යානයෙනි. ලොව වැඩිම කොටි ඝනත්වයක් ඇති වනෝද්‍යානය ලෙසද යාල දෙස් විදෙස් සංචාරකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.

පසුගියදා යාල ජතික වනෝද්‍යානය අශ්‍රිතව වාර්තා වූ කළු කොටියා

ශ්‍රී ලංකාවේදී අපට tigers එසේත් නැත්නම් ව්‍යාඝ්‍රයින් ස්වභාවික පරිසරයේදී දැක ගැනීමට හැකියාව නොමැත. බිළලා පවුලේ විශාලතම සාමාජිකයින් වන්නේ ව්‍යාඝ්‍රයින්ය. ඔවුන් ශරීර ප්‍රමාණයෙන් සිංහයන්ටත් වඩා විශාල වේ. Panthera tigris යන විද්‍යාත්මක නාමකරණයෙන් හඳුන්වනු ලබන ව්‍යාඝ්‍රයින් ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, චීනය, රුසියාව, කොරියාව, මැලේසියාව යන රටවල් වලදී දැක ගැනීමට හැකියාව ඇත.

බෙංගාල ව්‍යාඝ්‍රයෙක්

ශ්‍රී ලංකාවේ කොටියාට පහළින් සිටින බිළාල පවුලේ සාමාජිකයන් තිදෙනකු දැකිය හැකිය. එනම් හඳුන් දිවියා (Fishing Cat - Prionailurus viverrinus), කොළ දිවියා (Rusty-spotted Cat - Prionailurus rubiginous) සහ කැළෑ බළලා (Jungle Cat - Felis chaus) වේ. හඳුන් දිවියන් හා කොළ දිවියන් ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තර, පහත රට වියළි කලාප වනාන්තර මෙන්ම නාගරික ප්‍රදේශවලද සුලබව දැකිය හැකිය. කැළෑ බළලුන් බොහෝ විට මෙරට වියළි කලාපයේ දැකගත හැකි අතර ගෘහස්ථ බළලුන්ට වඩා තරමක් විශාල ශරීරයකින් සහ සාපේක්ෂව කෙටි වළිගයකින් යුක්ත වේ.

හඳුන් දිවියා (Fishing Cat - Prionailurus viverrinus)
කොළ දිවියා (Rusty-spotted Cat - Prionailurus rubiginous)
කැළෑ බළලා (Jungle Cat - Felis chaus)

ශ්‍රී ලංකාවේ වෙසෙන මෙම බිළාල පවුලට අයත් සියළු සාමාජිකයන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර කොටියා ගෝලීය වශයෙන් තර්ජනයට ලක්ව ඇති විශේෂයක් වන අතර අනෙක් සාමාජිකයින් දේශීය වශයෙන් තර්ජනයට මුහුණ පා ඇත. අද වන තෙක් මෙරට කොටි පිළිබඳව නිවැරැදි සංගණනයක් පවත්වා නොමැති අතර 1000 කට අඩු කොටින් සංඛ්‍යාවක් මෙරට ජීවත් වෙතැයි අපේක්ෂා කෙරේ. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වසරකට මෙරට සිටින් කොටින් සැලකියයුතු ප්‍රමාණයක් මිය යයි. එවැනි මරණ බොහෝ විට වාර්ථා වන්නේ තේ වතු ආශ්‍රිතවය. මෙරට ආහාර දාමයේ ඉහළින්ම සිටින කොටියා ආරක්ෂා කර ගැනීම පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.

මද්දකට හසු වී මියගිය කළු කොටියෙක්

Latest