Skip to content

මා ලාංකේය​ ටෙලි නාට්‍යයන් ඉතාම අතලොස්සක් නරඹා ඇති පුද්ගලයෙක් වන්නෙමි. එය​ට හේතුව අපගේ නිර්මාණ කෙරෙහි වන නොකැමැත්ත​ හෝ බටහිර නිර්මාණ පමණක් වැළඳ ගැනීම නොවන අතර සැබවින්ම ගත් විට, ශ්‍රී ලංකාවේ ගුණාත්මක නිර්මාණ බිහිවීමේ අඩුව නිසා ක්‍රමිකව ඇති වූවක් යැයි විටෙක සිතෙන කරුණකි.

කූඹියෝ, සහෝදරයා, තණමල්විල කොල්ලෙක්, සුදු ඇඳගෙන කලු ඇවිදින් වැනි ටෙලි නාට්‍යයන් අතලොස්ස අතරට අලුතින්ම එකතු වූ නාට්‍යය වන්නේ "කොඩි ගහ යට​" බවත් හසලක තුෂාර අපගේ සහෘදයාට මෙම නාට්‍යය පිළිබඳව යම් දැනුවත්භාවයක් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිය පුද කිරීමටත් මෙය අවස්ථාවක් කරගනු කැමැත්තෙමි. මක් නිසාද යත් අවුරුදු ගණනාවක් පුරාවට රූපවාහිනියෙන් ඈත් වී සිටින අප වැන්නවුන්ට වඩා හොඳ නිර්මාණයක් පිළිබඳව ඉගියක් ලැබෙනවා නම් ඒ ලැබෙනුයේ සමාජ මාධ්‍ය තුලින් හෝ මෙවන් Youtube කතාබහකින් පමණි.

කතාව පිළිබඳව කරුණු ගෙනහැර පෑමට වඩා නිර්මාණකරුවා විසින් මතු කිරීමට උත්සාහ කරණ සමාජමය කාරණාවන්, මිනිසුන්ගේ පොදු දුර්වලතාවයන් මෙන්ම භාවිතයන් සම්බන්ධයෙන් සංවාදයක් ඇති කිරීම​ වටී. පොදු සමාජය විසින් හංවඩු ගසන පාතාල කාරයා, මිනීමරුවා තුල බොහෝ විට ඒ දෙසට තල්ලු වීමට බලපාන කාරණාව වන්නේ තමාගේ දරුවන්ට සහ බිරිඳට කෙටි කාල සීමාවකට හෝ උසස් ජීවන තත්වයක් ළගා කර දීම සඳහා වන බලාපොරොත්තුව​ වන්නට පුලුවන​. නමුත් තුවක්කුවක් අතින් ගෙන පුද්ගලයෙකුට වෙඩි තබනවා යන්න පහසු නැත​. අත වෙව්ලයි, කොකා ගැස්සූවත් උණ්ඩය පිට නොවෙයි.. නමුත් ආපසු හැරීමක් නැති නිසා කෙසේ හෝ වෙර දමා වෙඩිල්ලක් පත්තු කරයි. එය මේ සෙල්ලමේ එවක පටන්ම මිනිසුන් විසින් ජීවිතයක් තොර කිරීමේ දී තම පළමු අත්දැකීම ලබා ගත් ආකාරය වන්නට ද පුලුවන​.

ග්‍රාමීය සහ නාගරික තරුණයා ගත් කල ඔවුනොවුන් ගේ සිතුම් පැතුම් විවිධාකාරය​. ප්‍රශ්ණ, පවුල් සංස්ථාවන් සහ ජීවන මට්ටම් ද එකිනෙකට වෙනස් ය​. නමුත් මුදල් යන පොදු සාධකය හමුවේ මෙම ලක්‍ෂයන් දෙක සමපාත වීම වැලැක්විය නොහැකිය​. ගමේ සිට නගරයට පැමිණ ඇගලුම් කර්මාන්ත ශාලාවක සුලු රැකියාවක නියුතු අසේලලාත් නගරයේ කෙළිදෙලෙන් දිවි ගෙවමින් ත්‍රී රෝද රථයක් පදවා එදිනෙදා ජීවනෝපාය සොයා ගන්නා පියල්ලාත් අප කොතෙකුත් දැක ඇත​.

නීතීඥයින් පිලිබඳව සම්ප්‍රදායික කියවීමෙන් එහා ගොස් ඔවුන් පිලිබඳ යම් ප්‍රශ්ණ කල යුතු වපසරියක් ප්‍රේක්‍ෂකයා වෙතට ඉතිරි කිරීම ද සාධනීය ලක්‍ෂණයකි. සාමාන්‍යයෙන් අපරාධමය කාරණා සඳහා අනුබල දෙන මෙන්ම නීතිය ඉදිරියට පැමිණවිය යුතු අපරාධමය කාරණාවන් හි සාක්‍ෂි වසන් කිරීමට කටයුතු කරනා නීතීඥ චරිත අප බහුලව දැක ඇත්තේ බටහිර සිනමාවේ සහ කතා මාලාවන් තුල​ පමණි. Better Call Saul යනු ඒ සඳහා කදිම උදාහරණයකි. නමුත් ඒ ආභාෂය ලාංකේය ටෙලි නාට්‍යය තිරය ඉදිරියට ගෙන ඒමට හැකිවීමම ජගත් මනුවර්ණයන් ලද ජයග්‍රහණයකි.

කාන්තාවගේ භූමිකාව මවක​, බිරිඳක සහ පෙම්වතියක වශයෙන් ඒ ඒ චරිත ඇසුරින් ගොඩනගා ඇති ආකාරය සැබවින්ම ප්‍රශංසනීයය​. දරුවන්ගේ කටයුතු කාරණා හමුවේ විටෙක උද්දාමයටත් තවත් විටෙක පශ්චත්තාපයටත් පත්වන මව්වරුන් මෙන්ම සැමියාගේ ක්‍රියාකාරකම් හමුවේ පීඩාවටත් අසරණකමටත් පත්වන බිරින්දෑ වරුන් ද​ රැවටීමට ලක්වන පෙම්වතියන්ගේ ඛේදනීය තත්වය ද කොඩි ගහ යට ටෙලි නාට්‍යය හරහා ඔබට නැරඹීමට පුලුවන​.

සඳහන් කල යුතු වඩා වැදගත්ම කාරණාව වනුයේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු වන කළුගේ චරිතයට පණ පොවන නලීන් ලුසේනා ගේ අග්‍රගණය වූ රංගණ දායකත්වය පිළිබඳවයි. කළුගේ චරිතයට වෙනස්ම විදිහේ පැහැයක් ආත්මාභිමානයක් ගැබ් වී ඇති බව ටෙලි නාට්‍යය නරඹා ඇති ඔබ දැනටමත් දන්නා කරුණකි. නලීන් ගේ රංගණ ඉතිහාසය ගොඩනැගුණු ආකාරය පිළිබඳව කෙටි හැඳින්වීමක් කලහොත් ඔහු මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. වේදිකා නාට්‍යය හරහා සිය රංගණ දිවියේ අඩිතාලම සකස් කරගන්නා ඔහු වේදිකා නාට්‍යය අධ්‍යක්‌ෂණයේදී ද කැපී පෙනෙන භූමිකාවක් ඉටු කල අයෙකි. "අරාජිකයා මරා" වේදිකා නාට්‍යය ඒ සඳහා වන කදිම නිදසුනකි. 2019 රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම කෙටි නාට්‍ය අධ්‍යක්‌ෂණය සහ රචනය වෙනුවෙන් සම්මානයට ද​ පාත්‍ර වූවෙකි.

සමලිංගික ප්‍රජාව කෙරෙහි වන සමාජගතව ඇති ප්‍රසිද්ධ මතයට දැඩි අතුල් පහරක් කළුගේ චරිතය විසින් ආපිට සමාජය වෙතටම එල්ල කලා යැයි කීමේ වරදක් නැත​. මානසික මෙන්ම ශාරීරික​ ව්‍යාකුලත්වයකින් පෙලෙන පිරිසක් ලෙස කලකට ඉහතදී සමාජයෙන් කොන් කර දැමූවද ඔවුන් ද මේ සමාජයේ ජීවත් විය යුතු ජීවත්වීමේ අයිතිය ඇති පිරිසක් බවට වන කියාපෑම කොඩි ගහ යට ටෙලි නාටකයෙන් ප්‍රේක්‍ෂකයා වෙත ඇගවීමට වෙහෙස දරා තිබේ.

දිල්හානි ඒකනායක​, නදීශා හේමමාලි, ජගත් මනුවර්ණ​, සම්පත් ජයවීර, සේවියර් කණිෂ්ක​, තරින්දි ප්‍රනාන්දු, රන්දික ගුණතිලක​ ආදී මෙකී නොකී නලු නිළියන් ගේ නාමාවලියෙන් කිසිවෙකු හෝ තමන් ගේ චරිතය සඳහා සාධාරණයක් ඉටු කර නැතැයි පැවසීම ඔබට අපහසු වනු ඇත. ඒ තරම්ම ඔවුන් සියලු දෙනාගේම​ පාහේ රංගණයන් ප්‍රශස්ථය​. තිර රචනය වෙනුවෙන් අරුණ ප්‍රේමරත්න මෙන්ම නිෂ්පාදනය සහ අධ්‍යක්‌ෂණයෙන් මෙම නිර්මාණය සඳහා දායක වන ජගත් මනුවර්ණයන්ද​ ඔවුනොවුන්ගේ මෙහෙය වෙනුවෙන් පැසසිය යුතුමය​. ජගත් මනුවර්ණගේ අවසාන නිර්මාණය මෙය විය හැකි බවට ඔහු යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබෙන අයුරු ඉකුත් දා ඇස ගැටුණු නමුදු සැබවින්ම එය එලෙස නම් ක්‍ෂේත්‍රයට බලවත් පාඩුවක් බව ද මෙහි ලා මතක් කල යුතුමය​. ගුණාත්මක නිර්මාණ බිහි කරන අධ්‍යක්‌ෂවරුන් සහ ඒ සඳහා දායක විය හැකි දක්‍ෂ කලාකරුවන් යන්නා වූ සුසංයෝගය ආසන්නතම කාලසීමාවේදී අප විසින් අත්දැක්කා නම් ඒ ඉතාම කලාතුරකිණි. මා මේ සටහන තබන මොහොත වන විට මෙම නිර්මාණයේ කොටස් 40ක් ප්‍රේක්‍ෂකයා වෙතට ගෙනවිත් හමාරය​. ඒවායේ නිර්මාණ රසය පිලිබඳව සැබවින්ම කීමට වරදක් හෝ අඩුපාඩුවක් නැත​. ඒ ගුණාත්මක බව ඉදිරියටම රැගෙන යාමටත් වඩා හොඳ නිර්මාණයක් ලෙස කොඩි ගහ යට ටෙලි නාට්‍ය මාලාව අවසන් කිරීමටත් ජගත් මනුවර්ණ ඇතුලු ඔහුගේ කණ්ඩායමට හැකි වේවා යන්න අපගේ ඒකායන බලාපොරොත්තුවයි.

"මහේෂ්, අරූ උඹත් එක්ක වැඩ කරන්න බෑ කිව්වට හොඳ එකෙක්. එහෙම එවුන් ගාව හිතේ හැංගිච්ච හයියක් තියෙනවා.."

නැවත ලිපියකින් හමුවෙමු!

Latest