ඊජිප්තුව ( Egypt ) ලෝකයේ පුරාතන ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් හිමි රටකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ජනාවාසකරණය වූ නයිල් නිම්නය ( Nile Valley ) ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම නිර්මාණයන්ට නිජබිමක් විය.
අහස උසට නැගි දැවැන්ත පිරමීඩ, සුවිසල් මාලිගා, ආරාම හා දේවස්ථාන මෙන්ම රන, රිදී හා ලෝහ යනාදියෙන් කළ අති සියුම් කලා නිර්මාණ ඔවුහු ලොවට තිළිණ කළහ.
භෞතික වස්තූන් දේවත්වයට පරිවර්තනය කොට වැදුම්-පිදුම් කළ ඊජිප්තු වාසිහු තම මරණයෙන් ඉක්බිතිව සුගතිගාමී ආත්මයක් පිළිබඳව තරයේ විශ්වාස කළහ.ඒ නිසාම මළ මීනී සංරක්ෂණය කිරීම් වැනි ( මෙහිලා විශේෂයෙන්ම රජවරුන්ගේ මළ මීනිවලට සුවිශේෂී අවධානයක් යොමු කරන ලදි. )

ඉතා ඉහළ ක්‍රමවේද ඔවුන්නේ සංස්කෘතියේ ඉහළ අංගයක් බවට පත්ව තිබුණි. ඊජිප්තු වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි-කර්මාන්තය විය. ආර්ථික හා දේශපාලන වශයෙන් ද ඔවුහු උසස් හා ක්‍රමවත් වූහ. එපමණක්ද නොව ඔවුහු සාක්ෂරතාවයෙන්ද තම දක්ෂතා දැක්වූහ.
ඔවුන්ගේ භාෂා වූයේ "හියරටික්" ( Hieratic ) ය. මෙය ලෝකයේ ඉපැරණිතම භාෂාවලින් එකක් ද වන්නේ ය. මීට අමතරව හයරොග්ලිෆික් (Hieroglyphic), ඩෙමොටික් ( Demortic ) යන භාෂාවලින් ද ලේඛන කලාවේ නිරතව ඇත. එසේම මැටි පුවරුවල, පැෆිරස් කොළවල ඔවුන් ලියා තැබූහ. එය එක අතකින් ශිෂ්ට ගණයේ පෞඩත්වය කියා පාන්නක් වූ අතර තවත් අතකින් මෙම ශිෂ්ටාචරය පිළිබඳව ශවේෂනය කරන්නන්ට හා අනාගතයට ඉතිරිකරන ලද මහඟු දායාදයක් වූයේය.
සමස්තයක් වශයෙන් ගත් කල්හි පුරාතන ඊජිප්තු ශිෂ්ටාචාරය වූ කලී රජවරුන්ගේ කාලාකාමීත්වය හා මගපෙන්වීමත් වහලුන්ගේ අපිරිමිත ශ්‍රමයත් මතින් ගොඩනැගුණු ලොව ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් වන්නේ ය.

මුල් කාලවකවානුව තුළ දී රන්, රිදී හා පබළු යනාදිය ආභරණ නිර්මාණකරණය පිණිස ඊජිප්තු ආභරණ නිර්මාණකරුවන් විසින් යොදාගෙන ඇතිබව පෙනේ. මීට අමතරව ලෝහ තහඩු හා තුනී ලෝහ පත්‍ර යොදාගෙන ඇතිබව පෙනේ.
බොහෝවිට ඔවුන් ප්‍රතිමා යනාදිය ආවරණ කරන ලද්දේ තඹ හා ලෝහ තහඩු වලින් වුවද, ටුටන්කාමන් රජුගේ මමිය වැනි ඉතා සුවිශේෂී මමියක් වෙනුවෙන් රන් තහඩු භාවිතා කර ඇති බව පෙනේ. මේ මමිය සදහා භාවිතා කර ඇති රන් තහඩු ප්‍රමාණයේ බර කිලෝ 113 ක් බව කියැවේ. මමී වලට අමතරව ඊජිප්තු නිර්මාණකරුවන් විසින් රනින් නිර්මාණය කරන ලද සෙසු රන් භාණ්ඩ අතර ආභරණ හා පූජනීය නොඑසේනම් දේවත්වය ආරූඪ කරන ලද සත්ව රූප ද වේ.

හිස් පළඳනා, කාර්ණාභරණ, අත් පළඳනා, තෝඩු, පබළු, වළලු, ග්‍රීවාභරණ, අත් මුදු හා පාවහන් යනාදිය පුරාණ ඊජිප්තු ආභරණ අතර බෙහෙවින් දකින්නට ලැබේ. එදිනෙදා ජීවිතයේ දී අවශ්‍යතාවයන් වෙනුවෙන් ආභරණ නිෂ්පාදනය කරනවා මෙන්ම අවමංගල්‍ය ආභරණ වශයෙන් ද යම් යම් ආභරණ නිර්මාණය කර ඇති බව පුරාද්‍යාත්මක කැණීම්වලින් සොයාගෙන ඇත.
රජු ප්‍රමුඛ රාජකීය පවුල්වලට අමතරව වෙනත් පුද්ගලයන් සඳහා කරන ලද ආභරණවල තද වර්ණවත් ගල් හෝ ලෝහ වර්ග තිබූ බව පෙනේ. තවද ක්නීලියන්, ලැෆිස්, ලැසූලි, ටර්කොයිස්, පෙල්ස්පා, ෆැස්පර්, ඇමතෙස්, ක්වාට්ස්, ඇගේට්, ගානට්, ස්ටීටයිට් යනාදියද ආභාරණ සදහා භාවිතා කර ඇති බව පෙනේ. මේවායින් සාදන ලද බොහොමයක් ආභරණ සොහොන් කැනීම්වලින් හමුවී ඇත.
ඊජිප්තු රාජවංශයේ වූ අද්විතීය රජකෙනෙකි ටුටන්කාමන් රජු (King Tutankhamun 1343 - 1333 BC ). ඔහු විසින් භාවිතා කරන ලදැයි සැක කරන ඔහුගේ මමියේ තිබී සොයාගන්නා ලද රන් පාවහන් යුගලයි මේ.
හොදින් පරීක්‍ෂා කර බලන්න.. වර්තමානයේ මෙන් අති-නවීන යන්ත්‍ර සූත්‍ර නොමැති එකල මුලුමනින්ම ඊජිප්තු නිර්මාණකරුවාගේ ශිල්පීය නිපුණතාවයේ මහිමය මතින්ම මෙම රාජකීය පාවහන් යුගල නිර්මාණය වී ඇති අපූරුව කොතරම්ද යන්න.

1922 වර්ෂයේ ටුටන්කාමන් සොහොන් ගැබ සොයාගත් අතර, ඒ තුළ රනින් නිපදපු පාහවන් යුගල සොයාගෙන ඇත.
වර්තමානයේ ඊජිප්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ අදාළ පාවහන සංරක්ෂණය කොට ඇති අතර, එවක පාවහන් වෙනුවෙන් යොදාගෙන ඇති කැටයම් විශ්මිත නිර්මාණයකි.