Skip to content

කිලෝග්රැම් 500 ක් පමණ බරැති බෝම්බයක් සොයාගනියි.

සොයාගත් බෝම්බය

ගුවන් යානා විසින් බිම හෙලන ලදැයි සැක කරන කිලෝග්රැම් 500  ක් පමණ බරැති පුපුරා නොගිය බෝම්බයක් කිලිනොච්චිය , ධර්මපුරම් මයිල්වානගම් රක්ෂිතය තුළ තිබී ඊයේ(20) සොයාගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ යුද සමයේ ත්‍රස්තවාදීන් ඉලක්කකොට ගුවන් යානා  මඟින් බිම හෙලන ලද පුපුරා නොගිය බෝම්බයක් එලෙස සොයාගත් බවයි.

ප්‍රදේශවාසියකු ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලබාදුන් තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමේදී  බෝම්බය සොයාගත් බවද පොලිසිය සඳහන් කළහ.

සොයාගත් බෝම්බය දිගින් අඩි පහක් සහ විශ්කම්භය අඩි තුනකට ආසන්න බවත්, වසර 15 ක පමණ කාලයක් බෝම්බය පොළව අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් එය  දිරිපත්ව තිබූ බවද පොලිසිය පැවසීය.

සොයාගත් බෝම්බය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කරනු ලැබීය.

ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති එම්.එම්.ඩි.එන් චතුරංග මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Latest