Skip to content

කිලෝ මීටර් විස්සේ මාර්ගය හදන්න ආපු කොන්ත්‍රාත් සමාගම පැදුරටත් නොකියාම පැන ගිහින්

ජයලත් දිසානායක - බදුල්ල

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ( IRoad ) යටතේ ආරම්භ කෙරුණු බදුල්ල- ස්ප්‍රිංවැලි - දෙමෝදර මාර්ගයේ කිලෝ මීටර් 20.7ක දුරකින් යුත් මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ වූයේ වර්ෂ 2018 වසරේදීයි. ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකම් මත මෙම සංවර්ධන ව්‍යාපෘතිය දියත් කර තිබුණි. කෙසේ වෙතත් ව්‍යාපෘතිය ආරම්භ කොට වසර හතරකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇති අතර අද වන විට කොන්ත්‍රාත්කරු ද වැඩ සියල්ල අතහැර දමා ගොසිනි.

නීල් ප්‍රියන්ත දිසානායක මහතා:

මෙම මාර්ගය බදුල්ල නගරයේ සිට ඉඹුල්ගොඩ, වීරියපුර, රොක්හිල්, කඳන, බැද්දේගම, ස්ප්‍රිංවැලි, දෙමෝදර ප්‍රදේශයටත් යන අති විශාල ජනතාවක් භාවිතා කරනවා. මේ මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ දැඩි ලෙස අබලන්වයි තිබුණේ. මාර්ගය හදන්න කොන්ත්‍රාත් සමාගම තිබුණු පාර තවත් කඩලා දැම්මා. දැන් තිබුනටත් වඩා අමාරු තත්වයකයි පාර තියෙන්නේ. මාර්ග සංවර්ධන අධිකාරියේ  නිළධාරීන් මේවට වග කියන්න ඕනෑ.

නාමල් සංජීව මහතා:

අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ මේ පාර සංවර්ධනය කරන්න පටන් ගන්නකොට අපි හරි සතුටු වුණා. ඒත් සිදුවුණේ වෙන දෙයක්. තරමක් අපහසුවෙන් හෝ යා හැකිව තිබුණු පාර කඩලා කාණු බෝක්කු සේරම කඩලා විනාස කර දැමීම විතරයි සිද්දවුණේ. කඩපුවා හදන්න කලින් වැඩ අඩාල වුණා. දැන් අපිට අලුත් පාරත් නෑ. තිබුණු පාරත් නෑ. නිලධාරීන් කියන්නේ සල්ලි නැතිලු. රටේ සල්ලි පිල්ලි ගැහුවේ අපි නෙවේ.

ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩ සටහනේ පළාත් අධ්‍යක්ෂක (වැඩ බලන) ලෙස කටයුතු කරන එම්.එම්.ජී.කේ. මුහන්දිරම් මහතාගෙන් මේ පිළිබදව අප විමසීමක් කලා.

මෙම මාර්ගයේ මුල්ම කොන්ත්‍රාත් සමාගමේ ඇතිවූ ගැටලුවක් නිසා ඒ අය මාර්ගයේ වැඩ අතරමග දාලා යන්න ගියා. ඉන් පසුව නැවත වරක් දෙවන ටෙන්ඩරය ඉදිරිපත් කරමින් වෙනත් සමාගමකට මාර්ගයේ ඉදිකිරීම් කිරීමට භාර දුන්නා. ඔවුන් එහි වැඩ කටයුතු කරගෙන යන විටයි ආසියානු සංවර්ධන බැංකු ණය ලබාදීම නැවතුනේ. ඒ හේතුවත් එක්ක ඉදිකිරීම් සමාගමට ගෙවීම් කරන්න විදිහක් නැතිවුණා. ඒ හේතුවෙන් තමයි මේ මාර්ගයේ සංවර්ධනය නතර වුණේ. කොයි මොහොතේ හෝ මුදල් ලැබුනොත් අපි මාර්ගයේ වැඩ පටන් ගන්නවා. නමුත් මේ වන විට මාර්ගයේ නඩත්තු කටයුතු සදහා මාර්ග සංවර්ධන අධිකාරියට භාරදීලයි තියෙන්නේ.

ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත්භාර අධ්‍යක්ෂක ටී.කේ.එම්.ගලප්පත්ති මහතා

මාර්ගය නඩත්තු කරන්න අපිට දුන්නට එය කරන්න අමාරුයි. සංවර්ධනයයි නඩත්තුවයි කියන්නේ දෙකක්. කිලෝ මීටර් 20ක දුරක් තියෙන මාර්ගයේ කිලෝ මීටර් 4ක වගේ දුරක් විතරයි යන්තමට හෝ හදලා තියෙන්නේ. කිලෝ මීටර් 16ක දුරක් නඩත්තු කරන්න පුලුවන් මට්ටමේ නොවෙයි තියෙන්නේ. සමහර තැන්වල ඒබීසී අතුරලා. තවත් තැන්වල බෝක්කු කැඩිලා. ඒවා නඩත්තු කරන්න බැහැ. දැන් තියෙන තත්වයත් එක්ක පුලුවන් ස්ථාන ටික නඩත්තු කිරීමට අදාලව රුපියල් මිලියන හතලිහකට ආසන්න ඇස්තමේන්තුවක් අපි මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට යවලා තියෙනවා. එම මුදල් ලැබුනොත් අපිට නඩත්තු කටයුතු කල හැකියි.

Latest