Skip to content

කාලා - බීලා - සූර් වෙලා.හෝටලයේ යකා නටලා.

කන්දකුලිය - තුඩාව ප්‍රදේශයේ පවත්වා ගෙන යන සංචාරක හෝටලයකදී බීමතින් කලහකාරී ලෙස හැසිරී එහි සේවකයින්ට පහර දී මුදල් සහ දේපල කොල්ලකෑ බව කියන කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව කල්පිටිය පොලීසිය කියයි.

පසුගිය 16 වෙනිදා දහවල් කාලයේ මෙම සිද්ධිය සිදුවී ඇත.

කන්දකුලිය - තුඩාව ප්‍රදේශයේ පවත්වා ගෙන යන සංචාරක හෝටලයකට 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 16 වෙනිදා දහවල් බස් රථයකින් පැමිණ ඇත.එම පිරිසට කාන්තාවන් 06 ක්,පිරිමි 06 ක් සහ කුඩා දරුවන් 04 දෙනෙකු ඇතුළත්ව සිට ඇත.ඔවුන් නවාතැන් ගැනීම සදහා කාමර 05 ක් වෙන් කර ඇති අතර,ඒ සදහ වන මුදල ණය කාඩ් පතක් උපයෝගී කර ගෙන ගෙවීම් කිරීමටද පැමිණි පිරිස කටයුතු කර ඇත.අනතුරුව ඔවුන් හෝටලයේ සේවකයින්ගෙන් ඉල්ලා ඇත්තේ තමන්ට මත්පැන් පානය කිරීමට අවශ්‍ය බවත්,ඒ සදහා ස්ථානයක් සුදානම් කර දෙන ලෙසත්ය.ඒ අනුව සේවකයින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර දී ඇත.

මත්පැන් පානය කිරීමෙන් අනතුරුව  තමන්ට ලබා දුන් පහසුකම් මදි බව පවසමින් ඔවුන් හෝටලය තුළ කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇත. එම අවස්ථාවේදී ඔවුන් හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට පහර දී ඇති බවත්,රුපියල් 85,300 ක මුදලක්ද,රුපියල් 15,000 ක් වටිනා තුවා 06 ක් සහ රුපියල් 3000 ක් වටිනා රූපවාහිණී දුරස්ථ පාලකයක්ද රැගෙන පැමිණි බස් රථයේම නැගී පලා ගොස් ඇත.

හෝටලේදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස කුමන ප්‍රදේශයක සිට පැමිණි අයවළුන්ද යන්න තමන් නොදන්නා බව හෝටල් සේවකයින් පොලීසිය හමුවේ පවසා ඇත.නමුත් ඔවුන් පැමිණි බව කියන බස් රථයේ ලියාපදිංචි අංකය හෝටල් සේවකයින් විසින් පොලීසියට ලබා දී ඇත.එම ලියාපදිංචි අංකය අනුව පැමිණි පිරිස හදුනා ගැනීමට කටයුතු කරන බව පොලීසිය කියයි.

කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Latest